Home » නිවී ගිය ගුරු තරුව පියදාස රත්නසිංහ

නිවී ගිය ගුරු තරුව පියදාස රත්නසිංහ

by Mahesh Lakehouse
September 14, 2024 12:29 am 0 comment

කීර්තිමත් විද්‍යුත් මාධ්‍යවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය පරිපාලකවරයකු මෙන්ම ගත්කතුවරයකු වූ පියදාස රත්නසිංහයන් වසර 82ක් ආයුවින්දනය කොට, 2024 සැප්තැම්බර් මස 05 වන දින සිය දිවිසැරිය නිම කළේ ය. මේ එතුමන් වෙනුවෙන් තබන සටහනකි.

ඔහු මෙලොව එළිය දුටුවේ වර්ෂ 1942 දීය. ඒ නුවර සිට සැතපුම් තිහක පමණ දුරින් නකල්ස් කඳු පාමුල බද්දේගම නම් අති දුෂ්කර ගමකය. අවට ලෝකය සමඟ එතරම් සබඳතාවක් නොතිබුණු, එම ගම්මානයේ වාසය කළේ, රේඩියෝවක් පාවිච්චි කිරීමට තරම්වත් වත්කමක් නැති ගැමියෝය. තම නිවස්නයෙහිද රේඩියෝවක් නොමැති නිසා ඔහුට සිදු වූයේ, රේඩියෝවක් තිබෙන තැනකට ගොස්, ඊට සවන් දීමටය. එකල රේඩියෝවකට සවන් දීම වූ කලී ඉතාම අසීරු කර්තව්‍යයක් වී තිබිණි.

එනමුදු කාලයාගේ අවෑමෙන් ඔහු, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වූවා සේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වීමට තරම් භාග්‍යවන්තයකු වීම ද විශේෂත්වයකි. එපමණක් නොව ඔහු මෙරට විද්‍යුත් මාධ්‍ය පෝෂණයට අපමණ මෙහෙවරක් සිදුකළ, කීර්තිමත් විද්‍යුත් මාධ්‍යවේදියකු බවට ද පත් විය.

පියදාස රත්නසිංහයන් මුලින්ම සිප්සතර හැදෑරූයේ ගමේ පාසලෙනි. ගමේ පන්සලේ චන්ද්‍රානන්ද හිමියන්ගේ අනුශාසනාවෙන්, ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගැනීමටද සමත් විය. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට රත්නසිංහයන් පැමිණෙන්නේ ගම්පහ විද්‍යාදීප පිරිවෙනට ය. ඒ වර්ෂ 1956 දී ය. ඒ සඳහා රත්නසිංහයන්ට උපකාර ලැ‍‍බෙන්නේ, ගමේ පාසලේ දී හමුවූ ජයන්ත අල්විස් නම් ගුරුතුමාගෙනි. එහිදී සාර්ථකව විභාගය සමත් වන රත්නසිංහයන්, විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් ඉහළින්ම සූදානම් වේ. සිය ගම්මානයෙන් මුල්වරට විශ්ව විද්‍යාලයකට තේරීපත් වූ තරුණයා වන්නේ පියදාස රත්නසිංහයන් ය. ඒ වර්ෂ 1959 දී ය.

රත්නසිංහයන්ට තම දැනුම හා අවබෝධය වඩවා ගැනීමට විද්‍යා්දය විශ්වවිද්‍යාලයෙන් ලැබුණු පිටිවහල ඉමහත් වේ. විශ්වවිද්‍යාල සමයේදී නාට්‍ය සංගමයක් ආරම්භ කිරීමට මූලික වී තිබෙන්නෙත්, රත්නසිංහයන් විසිනි. එවක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ එම්. එස්. ගුණතිලක මහතාගේ මඟපෙන්වීමෙන්, රත්නසිංහයන් විසින් ජනකලා විෂය පිළිබඳ පර්යේෂණ ගණනාවක්ම සිදු කර තිබේ. රත්නසිංහයන් හෙළබිම, සවස වැනි පුවත්පත්වලට ලිපි සපයා ලියූවේද මේ කාලයේය.

පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කරන රත්නසිංහයන් මෙරට මුලින්ම ගුවන්විදුලි මාධ්‍යට සම්බන්ධ වන්නේ, වර්ෂ 1969 දී ය. ඒ පුවත්පතක පළවූ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ක්‍රියාකාරී සහ­ායකයකු ලෙස සම්බන්ධ වීමෙනි. ගුවන්විදුලියේදී රත්නසිංහයන් සම්බන්ධ වූ මුල්ම වැඩ සටහන වන්නේ, වර්ෂ 1969 ජූලි 21 දී විකාශය වූ “හඳ ගමන” වාර්තාමය වැඩසටහනය. . එවකට එම වැඩසටහන මෙහෙයවා තිබෙන්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් දෙපොළක් වූ එච්. එම් ගුණසේකරයන් සහ ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස සූරීන් විසිනි. “හඳ ගමන” සජීවී වැඩසටහනක් වූ අතර, එහි ක්‍රියාකාරී සහායක ලෙස කටයුතු කළේ රත්නසිංහයන්ය.

රත්නසිංහයන් උසස් වීමක් ද සමඟ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයට සම්බන්ධ වීමත් සමඟ එහි ව්‍යුහයෙහි බොහෝ වෙනස්කම් සිදු කර තිබේ. කාලයට ගැළපෙන වැඩසටහන් ගණනාවක් හඳුන්වා දීමට පුරෝගාමීවී ඇත්තේත්, රත්නසිංහයන් විසිනි. පසුව එවක සභාපති ධුරය හෙබවූ රිජ්වේ තිලකරත්න මහතාගේ ඉල්ලීමට අනුව ගුවන්විදුලියේ පළමුවන සේවයට සම්බන්ධ වූ රත්නසිංහයන්, ළමා වැඩසටහන් නිෂ්පාදනය කිරීම අරඹන්නේය. ඒ අතුරින් රත්නසිංහයන් හඳුන්වාදෙනු ලැබූ “ගුරුකුල” නිර්මාණාත්මක අතින් ඉතාම පොහොසත් ළමා වැඩසටහනක් විය. බොහෝ ළමා නිර්මාණකරුවන්ට ගුවන්විදුලියේ දොරගුළු විවර වන්නේ ඉන් අනතුරුවය.

රූපවාහිනී මාධ්‍යය මෙරටට පැමිණීමත් සමඟ රත්නසිංහයන්ට පැවරුණේ, ඉතාම භාරදූර කාර්යයන් සමුදායකි. ඒ වන විටත්, රත්නසිංහයන් විද්‍යුත් මාධ්‍ය විෂය සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමින් අධ්‍යයන කටයුතුවල නිරත වී සිටි බැවින්, රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ වී, ඵලදායී මෙහෙවරක් සිදු කිරීමට හැකියාව තිබිණි.

රත්නසිංහයන්ගේ නිර්මාණ හැකියාවන් හඳුනාගෙන, එම හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමේ අරමුණින් එවක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය හෙබවූ, ඇම්. ජේ පෙරේරා විසින් සහකාර අධ්‍යක්ෂ (වැඩසටහන්, සැලසුම් හා ඉදිරිපත් කිරීම්) යන තනතුරු භාර දී තිබේ. එය එම සංස්ථාවට නව තනතුරක් වීමද විශේෂයකි. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ එම තනතුරු හෙබවූ මුල්ම නිලධාරියා වන්නේ, පියදාස රත්නසිංහයන් ය.

පසුකාලීනව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශය වූ සති අග උදෑසන වැඩසටහන් බොහොමයක් නිෂ්පාදනය කළේ, රත්නසිංහයන් විසිනි. එමෙන්ම මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ “ආයුබෝවන්” වැඩසටහන ද එතුමන්ගේ නිර්මාණ සංකල්පයකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ආලෝකයක් ගෙන දුන්, Discovery චැනලයත්, Eye නාළිකාවත් හඳුන්වාදීමට පුරෝගාමී වූයෙත්, රත්නසිංහයන් විසිනි. ඒ අනුව රත්නසිංහයන් රූපවාහිනී මාධ්‍ය නව මානයකට රැගෙන ගිය නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වා දීමට පුළුවන.

නිර්මාණශීලී ලේඛකයකු, පරිවර්තකයකු, ගීත රචකයකු වන රත්නසිංහයන් කෘති ගණනාවක්ම පළ කර තිබේ. ඒ අතුරින් ‘ඇසි දිසි මායාව‘ කෘතියට රාජ්‍ය සම්මානය ද හිමි විය. ‘සපුමල් නෙළුවා, දුම්බර ලන්දේ‘ ගීතය ද රත්නසිංහයන් විසින් නිර්මාණය කළ ලයාන්විත පබැඳුමකි.

දැනුමින් පිරිපුන් පියදාස රත්නසිංහයන් අභියෝග භාරගෙන, නිපුණතා ප්‍රකට කළ වෘත්තීය මාධ්‍යවේදියෙකුවේ. මාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඉවසීමේ ගුණාංග ද මැනවින් ඉස්මතු කළ පියදාස රත්නසිංහයන්, වර්තමානයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවූ සැමට ප්‍රදීපස්තම්භයක් වූයේය.

අනුෂාද් වෙදගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division