Home » ලෝක මල්ලවපොර පිටියේ ලංකාවේ නම රැන්ඳූ වෙල්පල්ල ගමේ යකඩ කෙල්ල

ලෝක මල්ලවපොර පිටියේ ලංකාවේ නම රැන්ඳූ වෙල්පල්ල ගමේ යකඩ කෙල්ල

by gayan
September 14, 2024 12:30 am 0 comment

රගයකට යනකොට අනිවාර්යෙන්ම ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා ඉලක්කයක් හිතේ තියාගෙනමයි මම පුහුණුවීම් කරන්නෙ. මම කැමතියි හැම වෙලාවෙම ඒ ඉලක්කය මගේ ඇස්වලට පේන්න තියාගන්න. ඒකෙන් මම තව තවත් ඒ ඉලක්කය වෙත යොමු වෙනවා. මේ තරගයට යද්දිත් මම ලෝක ශූරතා රන් පදක්කම ගන්නවා කියන බලාපොරොත්තුවෙන් ඒක මගේ කාමරේ ඇඳ ඉස්සරහ බිත්තියේ අලවලා තියාගත්තා. රන් පදක්කම ගන්න බැරි වුණත් ලෝකඩ පදක්කම හරි ගන්න පුළුවන් වුණ එක ගැන මට සතුටුයි. ඒ වගේ ජාත්‍යන්තර තරගයකට ගොඩක් රටවල් සහභාගි වුණත් ඒ අතරින් කොඩි හතරක් විතරයි එසවෙන්නේ. මගේ ජයග්‍රහණය නිසා ඒ ජාත්‍යන්තර පිටියේ ලංකාවේ කොඩිය එසවෙනවා දකිද්දි කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා.”සතුටත් අභිමානයත් එකට කැටිවූ ඒ වදන් ලක්මවට අභිමානය ගෙනා ලාංකේය දියණියකගේය. ඇය, නෙත්මි අහිංසා පෝරුතොටගේ ය.

ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්‍රා නුවරදී ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා පැවැති ලෝක මල්ලවපොර ක්‍රීඩා ශූරතාවලියේ වයස 20න් පහළ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ තරගය අතිශය තීරණාත්මක විය. එම තරගයට මුහුණ දුන් විසි හැවිරිදි ලාංකේය ක්‍රීඩිකා නෙත්මි අහිංසා සහ රුසියානු ජාතික වැලේරියා මිකිටිෂ් අතර තරගයේ අවසන් විනාඩි 2 ඉතා තියුණු වූ අතර, ප්‍රතිවාදී ක්‍රීඩිකාව බිම හෙළමින් නෙත්මි ජය හිමිකර ගත්තාය. නෙත්මි දිනා ගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ මෙරට ක්‍රීඩිකාවක් දිනාගත් ඉහළම ජයග්‍රහණය ලෙස සැලකේ. එහිදී ඇය විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙස ද සැලකේ. ලෝක මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ සහභාගි වී සිටි අතර, මෙම ඉසව්වේ මූලික වටවලදී නෙත්මි ඇය සමඟ තරග වැදුණු කසකස්තාන ක්‍රීඩිකාව 10-0කින්, බල්ගේරියානු ක්‍රීඩිකාව 10-0කින්, හංගේරියා ක්‍රීඩිකාව 14 – 4කින් පරාජයට පත් කළ අතර, චීන ක්‍රීඩිකාව හමුවේ පරාජය වී අවසන් පූර්ව වටය දක්වා පැමිණ රුසියානු ක්‍රීඩිකාව පරාජය කරමින් දිනාගත් ලෝකඩ පදක්කමත් සමඟ ඇය ශ්‍රී ලාංකේය මල්ලවපොර ක්‍රීඩා ඉතිහාසයේ රන් සලකුණ බවට පත්වූවාය.

නෙත්මි අහිංසා මෙරට මල්ලවපොර ක්‍රීඩා ඉතිහාස පොත අලුතින් ලියන්නටම උපන් ක්‍රීඩිකාවක් බඳුය. 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මල්ලවපොර තරගයේදී කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ තරග කරමින් ඇය ලෝකඩ පදක්කම දිනාගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ලබාගත් පළමු පදක්කම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී පදක්කමක් දිනාගත් ළාබාලතම ලාංකේය ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙමිනි. වයස අවුරුදු 20න් පහළ ආසියානු මල්ලවපොර තරගාවලියේදී ද ඇය ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

2004 වසරේ ජුනි 17 වැනිදා උපන් නෙත්මි අහිංසා ජීවත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ගම්මානයේය. වෘත්තියෙන් පෙදරේරුවකු වූ නිශාන්ත පුෂ්පකුමාරගේ හා රන්මලී වසුන්දරාගේ දරුවන් සිවු දෙනාගෙන් දෙවැන්නා ඇයය. නෙත්මිගේ බාල සහෝදරිය සහ සහෝදරයා තවමත් පාසල් අධ්‍යාපනය ලබන අතර, වැඩිමහල් සහෝදරිය විවාහකය. ලෝකයක් දිනූ සිය දියණිය පිළිබඳ නෙත්මිගේ මව වසුන්දරා හඬ අවදි කළේ සතුට දෝරගලා යන හදවතිනි.

“පුංචි කාලේ ඉඳලම දුව ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් දක්ෂයි වගේම හරි එඩිතරයි. කිසිම දේකට බය නැහැ. දුවගේ හොඳම යාළුවෙක් වන ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් වන චමෝද්‍යා කේෂාණි දුව නිසයි මේ ක්‍රීඩාවට යොමු වුණේ. ඒ දවස්වල දුව තරමක් මහතයි. බර කිලෝග්‍රෑම් 68ක්. බර අඩු කරගන්නයි දුව මුලින්ම චමෝද්‍යා එක්ක එයාට පුහුණුවීම් කරන මාස්ටර් ළඟට ගියේ. ඒ වෙද්දි චමෝද්‍යා දුව මාස්ටර්ගෙන් මල්ලවපොර ඉගෙන ගනිමින් හිටියා. මාස දෙකකට විතර පස්සේ අපේ දුව මගෙන් රෙස්ලින් කරන්නද කියල ඇහුවම මම කිව්වා තාත්තාගෙන් අහන්න කියලා. තාත්තා මාස්ටර් එක්ක කතාබහ කරලා දුවට රෙස්ලින් කරන්න ඉඩ දුන්නා”.

ඒ තීරණය දියණියත් රටත් දිනවන සුබ තීරණයක් වනු ඇතැයි එදා ඒ මවුපියෝ කිසිසේත් නොසිතන්නට ඇත.

“ඇත්තටම අද අපට දැනෙන සතුට වචනවලින් කියන්න බැරි තරම්. දුව මේ ගමන ආවේ ගොඩක් බාධක එක්ක. විශේෂයෙන් ආර්ථික අපහසුතා මැද දුව මෙහෙම පදක්කම් දිනාගෙන එනකොට අපිට දැනෙන සතුට කියාගන්න බැරි තරම්. දුව මේ තැනට ගේන්න උදව් කළ හැම දෙනාටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”

ඒ කෘතවේදීත්වයේ මුල් තැනක ඉන්නේ නෙත්මි අහිංසාගේ පුහුණුකරු වන සුරංග පුෂ්පකුමාර ය. සිය දක්ෂතම සිසුවියගේ ජයග්‍රහණය පිළිබඳ ඔහු කතා කළේ නිහතමානී ආඩම්බරයකිනි.

“මට නෙත්මි හමුවුණේ 2018දී. නෙත්මි මුලින්ම ආවේ බර අඩු කරගන්න වුණත් මාසයක් දෙකක් යනකොට මට හිතුණා එයා ගොඩක් දක්ෂ ළමයෙක් කියලා. ඒ නිසා මම ඇහුවා පුතේ ඔයා රෙස්ලින් කරන්න කැමතිද කියලා. පුළුවන් මාස්ටර් කිව්වා. ඊටපස්සේ මම නෙත්මිගෙ ගෙදර ගිහින් තාත්තා හමුවෙලා අවසර අරගෙන පුහුණුවීම් පටන් ගත්තා. 2019 වෙද්දි ලංකාවේ හිටපු හැම රෙස්ලින් ක්‍රීඩිකාවක් එක්කම වගේ තරග කරලා එයා දිනුවා. මුල් කාලේ අපිට පුහුණුවීම් කරන්න හරියට තැනක්වත් තිබුණේ නැහැ. ගෙවල් ළඟ පොඩි මඩුවක, කාලයක් පිරිවෙනක සහ කාලයක් කමතක, මාස හතරක් පහක් චමෝද්‍යාගෙ ගෙදර ඉස්තෝප්පුවෙත් පුහුණුවීම් කළා. ඊට පස්සෙයි මගෙ ගෙදරම පුහුණුවීම් කරන්න තැනක් හදා ගත්‍තෙ. ජාතික මට්ටමේ තරගවලට වගේම ජාත්‍යන්තර මට්ටමේ තරගවලටත් පුහුණුවීම් කළේ එතැන. පොදු රාජ්‍ය මණ්ඩලීය තරගය දිනුවට පස්සේ ක්‍රීඩා අමාත්‍යාශයෙන් නෙත්මිට තරග රැසකට සහභාගි වෙන්න අවස්ථාව ලබා දුන්නා. 2022 සිට 2024 දක්වා එක දිගට ජාත්‍යන්තර තරග 10කට සහභාගි වුණා. ඒ තරගවලදි නෙත්මි තරග කළේ එයාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ අත්දැකීම්වලින් වැඩි ක්‍රීඩිකාවන් එක්ක. ඒ තරගවලින් පදක්කමක් ගන්න බැරි වුණත් එයා එක තරගයකදිවත් ෆේල් වුණේ නැහැ. කරට කර හොඳ සටනක් දුන්නා.

නෙත්මි කියන්නේ විශිෂ්ට දරුවෙක්. එයා කවදාවත් පස්සට යන්නෙ නැහැ. පුහුණුවීම් කරද්දි මොන තරම් අමාරු වුණත් එයා ඒක කරනවා. එයාගේ ජයග්‍රහණයට මුල ඒකයි. තරගයක් තියෙද්දි අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දානවා, මාස්ටර් හෙට නම් මම ඔයාගෙ කරට මෙඩ්ල් එකක් දානවා කියලා. ඒ වගේ පුදුමාකාර ධෛර්යවන්ත හිතක් තියෙන දරුවෙක්. අවුරුදු හයකදි අඩු පහසුකම් යටතේ පුහුණුවීම් කරලා වාර්තා තුනක් තියන්න පුළුවන් වුණා නම් ඉතුරු අවුරුදු හතර තුළ මට නෙත්මි ඔලිම්පික් පදක්කම දක්වා ගෙනියන එක අමාරු දෙයක් නෙවෙයි. නෙත්මිගෙ කැපකිරීම හැමදේටම වැඩිය ඉහළයි. නෙත්මි පොදු රාජ්‍ය මණ්ඩල තරගයෙන් දිනුවට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය නෙත්මි ගැන හොඳින් හොයා බැලුවා. මේ තරගයට යන්න හැම වියදමක්ම දැරුවෙ ක්‍රීඩා අමාත්‍යාංශ්‍යයි. ඇය මේ ජයග්‍රහණය දක්වා ගෙනාවෙත් ක්‍රීඩා අමාත්‍යාංශයයි. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ ඇතුළු සියලු දෙනාටත් ජාතික ඔලිමිපික් කමිටුවේ සියලු දෙනාටත් අපේ ස්තුතිය පුද කරනවා. ”

ඒ කෘතවේදීත්වය නෙත්මිගේ හදවතේ ද ඇත. ඒ ගැන ඇය මෙසේ කීවාය.

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි වුණාට පසුව මම සහභාගි වූ ජාත්‍යන්තර තරගවලින් දිනුවේ නැති වුණත් මම ඒවා පරාජයන් විදිහට සලකන්නෙ නැහැ. ඒ තරගවලදි මම තරග වැදුණේ මට වඩා වයසින් සහ අත්දැකීම්වලින් වැඩි ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩිකාවෝ සමඟයි. ඒ ලැබූ අත්දැකීම් මගේ මේ ජයග්‍රහණයටත් ඉවහල් වුණා. ඒ විදිහට විදෙස් තරග අත්දැකීම් ලබා ගන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු සර් ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයත් ජාතික ඔලිම්පික් කමිටුවත් මල්ලවපොර සංගමයත් මට උදව් කළා.

ඒ වගේම මගේ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර සහ ඔහුගේ බිරිය විශේෂයෙන් මතක් කළ යුතුයි. මාස්ටර්ගෙන් මට ලැබෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. අපි පුහුණුවීම් කරන්නේ ගමේ මාස්ටර්ගේ ගෙදර හදපු ට්‍රේනින් සෙන්ටර් එකේ. එතැන මට ෆයිට් කරන්න වැඩිය කට්ටිය නැති නිසා මාස්ටර් මාව එක්කගෙන සතියට දවස් දෙකක් පුහුණුවීම්වලට කොළඹ එනවා. අපේ කෑමබීම පවා මාස්ටර්මයි හදන්නෙ. උදේට කඩල, කවුපි තම්බලා දෙනවා. රෑට සුප් එකක් දෙනවා. දවල් කෑම මගේ අම්මා හදලා දෙනවා. බර පාලනය කරගන්න ඕන නිසා අපිට ඕන ඕන කෑමබීම ගන්න බැහැ. මාස්ටර් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් නිර්දේශ කරන කෑමබීම පමණයි ගන්නෙ. තරගයක් ඉවර වෙලා දවස් 3ක් මාස්ටර් අපිට කැමති කෑම කන්න අවසර දෙනවා. මම පැණි රස කෑම කන්නෙම නැති තරම්. පුහුණුවීම් කරද්දි වැඩිපුර බත් කන්නෙ නැති නිසා මම ඒ දවස්වලට බත් තමයි වැඩිපුර කන්නෙ. දවස් තුනෙන් පස්සෙ ආයෙ පුහුණවීම් පටන් ගන්නවා.”

නෙත්මිගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ පාර්ශ්වයන් අතර, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වෛද්‍ය ආයතනය පිළිබඳ ද සඳහන් කළ යුතුය. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායකගේ අධීක්ෂණය යටතේ උසස් කාර්ය සාධන සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය ඉහළ දැමීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණ සහ රසායනාගාර පරීක්ෂණ නෙත්මිගේ ශරීර සුවතාව රැක ගැනීමට උපාකාරී විය. පෝෂණවේදී උපුලි දහනායක විසින් නෙත්මිගේ ශරීර සංයුතිය හා ශක්ති අවශ්‍යතාව නිරීක්ෂණය කර ඇයට සුදුසු ආහාර වට්ටෝරු නිර්දේශ කළ අතර, භෞත චිකිත්සක හා සම්බාකවරුන් විසින් ඇයගේ ක්‍රීඩා ආබාධ කළමනාකරණය කිරීමත් මානසික සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍යවරු විසින් මානසික සුවතාව සම්බන්ධ උපදෙස් ලබාදීමත් සිදු කෙරිණි. මේ සියලු කාර්යයන් නෙත්මිගේ ජයග්‍රහණයට හේතු විය.

නෙත්මි පන්නල වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන අතර සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වී උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබුවද උසස් පෙළ විභාගයට පෙර ඇය අධ්‍යාපනයට සමු දෙන්නේ මල්ලවපොර ක්‍රීඩාව කෙරෙහි බැඳුණු සිත නිසාය.

“පාසලේදී ක්‍රීඩා කරලා තිබුණට මම මේ ක්‍රීඩාවට යොමු වුණේ අහම්බෙන්. මම මාස්ටර් ළඟට ආවේ බර අඩුකර ගන්නයි. ඒත් ටික දවසකින් මේ ක්‍රීඩාව මගේ ජීවිතේම වුණා. මගේ අනාගත බලාපොරොත්තුව 20228 ඔලිම්පික් උලෙළෙදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගේන එක. මාස්ටර් කියනවා ඒක කරන්න පුළුවන් කියලා. දැන් මම අමාරු ටික පහුකරලා තියෙන්නෙ. පොඩි පොඩි අඩුපාඩු හදාගනිමින් ඔලිම්පික් පදක්කම කරා ළඟා වීම තමයි දැන් මගේ එකම අරමුණ” නෙත්මි අහිංසා පැවසුවේ තිර හඬිනි. ඉලක්ක ජයගැනීමට තමාට ශක්තියක් සහ ආශීර්වාදයක් වූ කරුණු ගැන ද අපි ඇය විමසුවෙමු.

“බුදු දහම එක්ක මගේ ලොකු බැඳීමක් තියෙනවා. සතියකට දවසක් ගමේ විහාරයට ගොස් විහාර මළුව අතු ගා පිරිසිදු කර මල් ආසන සෝදා පිරිසිදු කරනවා. හැමදාම දවස පටන් ගන්නෙ බුදු පහන තියලා පිරිත් කියලා. ඒ වගේම අපි යන හැම තරග සංචාරයකදීම බුද්ධ ප්‍රතිමාවක් ගෙනියනවා. ඒ ආගමික පසුබිමත් මගේ ජීවිතේට ආශීර්වාදයක් කියලා මම විශ්වාස කරනවා.” නෙත්මිගේ එවදන් ඇයගේ පුහුණුකරු වන සුරංග පුෂ්පකුමාර ද සනාථ කළේය.

“අපි සතියකට දවස් 3ක් විතර වෙල්පල්ලෙ අතුගාලා පිරිසිදු කරලයි පුහුණුවීම් කරන්නෙ. ඒක එදා ඉඳන්ම තියෙන සිරිතක්. ඒ වගේම තරගයකට යද්දි අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයට, ජය ශ්‍රී මහා බෝධියට, කැලණිය විහාරයට හෝ මහනුවර දළදා මාලිගයට ගිහින් අටපිරිකරක් පූජා කරලා භාර වෙලයි යන්නෙ. ගියපාර පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියෙන් පදක්කම ලැබූ අවස්ථාවේ කුරුණෑගල සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයට පා ගමනින් ගොස් වැදුම් පිදුම් කරන්න නෙත්මි භාරයක් වුණා. අපි ඒක ඉටු කළා වගේම මේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරියේ කප්රුක පූජාවක් පවත්වන්න වුණු භාරයත් ඔප්පු කරනවා. මේ පාර තරගයට යන්න හරියටම සතියකට කලින් නෙත්මිගේ අත ආබාධයකට ලක්වුණා. අපි මෙහෙදි බෙහෙත් බැන්දා වගේම එහෙ ගිහිල්ලත් බෙහෙත් බැන්දා. ඒ වෙලාවෙත් මගෙ හිත කිව්වෙ බුදුන්ගේ ආශීර්වාදයෙන් තරගයට මුහුණ දෙන්න පුළුවන් විදිහට අත සනීප වෙයි කියලා. නෙත්මි අතට බෙහෙත් බැඳගෙන තරගයට මුහුණ දුන්නත් ජයග්‍රහණය ලැබුණා. ඒක දෙවියන්ගෙ ආශීර්වාදයක් කියල මම විශ්වාස කරනවා.”

අත ආබාධයට ලක්වීම සහ ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩිකාවන් යොදා ගන්නා නවීන තාක්ෂණ පහසුකම් ද තමාට අභියෝගයක් වූ බවත් ඒ සියල්ල ජයගෙන ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳ නෙත්මි පසුවන්නේ දැඩි සතුටකිනි. ඒ සතුට පිටුපස ඇත්තේ තිර අදිටනක් හඹා ගිය ඇයගේ දැඩි ආත්ම ශක්තියයි. එය ජීවිතය ජයගන්නට උත්සාහ කරන තරුණ තරුණියන්ට අපූරු ආදර්ශයකි.

“ගැහැනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ඕනෑම කෙනෙක් එකම ඉලක්කයක් ඔස්සේ යනවා නම් ඒ අරමුණ ජයගන්න පුළුවන්. ඒ වෙනුවෙන් හැමදේම කැප කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මොන තරම් බාධා ආවත්, කවුරු අකැමැති වුණත් අපි නිවැරැදි දේ කරනවා නම්, අපේ ගමන පැහැදිලි නම් අපි පසුබට විය යුතු නැහැ. දවසක හැම දෙනාම දැනගනී අපි හරි දෙයක් කළ බව. ඒ දවස වෙනුවෙන් තමන්ගේ ඉලක්කය, අරමුණ අතනොහැර ඒ ගමන යන එකයි වැදගත්ම දේ.” නෙත්මි පැවසුවේ තිර හඬිනි. නව යෞවනයේ පසුවන යුවතියක වන ඇයට යෞවනයේ සොඳුරු හැඟීම් ආගන්තුක විය නොහැකිය. ඒ ගැන නෙත්මි මෙසේ පැවසුවාය.

“මම මේ ගමන යන්නේ ලොකු විනයක් එක්කයි. මාස්ටර් අපිට දුරකතනය පාවිච්චි කරන්න දෙන්නෙත් රෙස්ලින් වීඩියෝ බලන්න විතරයි. මාස්ටර් හැම වෙලාවෙම කියන්නේ, ඉලක්කයට ගියාට පස්සේ අනිත් හැමදේම ඔයාලට ලැබෙයි, ඒ නිසා ඒ වෙනකම් ක්‍රීඩාව වෙනුවෙන් අනිත් හැමදේම කැප කරන්න කියලා. ඒ නිසා ඔලිම්පික් රන් පදක්කමක් ලංකාවට ගේන තුරු අනිත් හැම දෙයක්ම ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්න මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ කැපකිරීම මම කරන්නෙ ගොඩක් සතුටින්.” යුවතියකගේ මෘදු හදවත පුරා වැටුණු ආත්ම ශක්තියේ දැවැන්ත සෙවණැල්ල ඒ වදන් තුළින් දුටුවෙමි. හෙට දවසේ ලෝකයම දිනන්නට ඇයට ඊට වඩා ශක්තියක් ඇවැසි නොවනු ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division