කල්අඩියේ ගජමුතු ජාවාරමුන්ට වැඩ වැරදුණු එස්.ටී.එෆ්. වනජීවී මෙහෙයුම
ගජමුතු තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට; විල්පත්තුවේ දළ ඇතුන් මරා ගත් ගජමුතු යැයි සැක
පුත්තලම දිසාවේ එක්තරා සංවිධානාත්මක ජාවාරමුන් පිරිසක් මුහුණුපොතේ දැන්වීමක් පළ කර තිබුණි.
“නිවසට සිරිකත කැන්දන ගජමුතු තුනක් ඉක්මනින් අලෙවි කිරීමට තිබේ. ගැනුම්කරුවන් පමණක් විමසන්න. මිල ගණන් සාකච්ඡා කළ හැක” යනුවෙන් පළකර තිබිණි. මෙම දැන්වීම සිය මුහුණුපොතේ පළකර තප්පර කිහිපයක් ගතවීමටත් මත්තෙන් මීරිගම ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙක් මේ පිළිබඳව සිය අවධානය යොමු කරන්නේ ඔවුන් ගැන තොරතුරු සොයාගැනීමේ අරමුණින් වන්නට විය.
මීරිගම ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ ජාවාරමුන් පිළිබඳව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුරේ උසස් නිලධාරියකු දැනුම්වත් කරන්නට වන්නේ ඔය අතරය. ඒ පිළිබඳව දැනුම්වත් වූ පුත්තලම විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මේ සංවිධානාත්මක ජාවාරමුන් පසුපස ලුහුබඳින්නට පටන්ගන්නේ සැලසුමක් ද සකස් කරමිනි. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා පුත්තලම කඳවුරේ නිලධරයන් කඳවුරේ උපාය දූතයකු ලෙස යොදවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට කටයුතු කෙරිණි.
“හලෝ මහත්තයා… මම අර බිස්නස් එක ගැන කතා කරන්න…“ යැයි උපාය දූතයා කීය. සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයා පවසා සිටියේ “අපි බෝධිරාජපුර” යනුවෙනි.
“මහත්තයා මම ෆේස්බුක් එකේ දැන්වීමකට කතා කරන්නෙ… අර ගජමුතු තුනක් විකුණන්න තියෙනවා කියලා තිබ්බා… ඒක විකුණලද නැද්ද?” යනුවෙන් උපාය දූතයා විමසන්නේ අනතුරුවය. “නෑ … නෑ… මහත්තයා බඩු තියෙනවා… තවම විකුණලා නෑ.” යැයි ඔහු පැවසුවේය. උපාය දූතයාට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගන්නාතුරු ඉවසිල්ලක් නොවීය. කෙමෙන් කෙමෙන් සම්පූර්ණ විස්තරය අසා දැනගත් උපාය දූතයා සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයාගෙන් ගජමුතුවල මිල ගණන් ඇසුවේය. ඔහු එකහෙළාම කියා සිටියේ ගජමුතු තුනම කෝටි පහකට අලෙවි කරන බවය. පසුව තවත් තොරතුරු රැසක් අනාවරණය කරගත් උපාය දූතයා ‘මෙහෙයුම’ සැලසුම් කිරීමට තීරණය කරන්නේ ඔය අතරය. එහිදී කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගේ සහාය ද වැටලීම සඳහා යොදා ගැනිණි.
පසුව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී. රාමසිංහගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණි. අනතුරුව ඔහුගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උපාය දූතයා තවත් තොරතුරු රැසක් සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයාගෙන් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් වරට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ මෙලෙසිනි.
“පසුදින හවස හතත් අටත් අතර මේ බිස්නස් එක හරියටම කෙරෙනවා” යැයි කියාය. ඊට එකවරම කැමැත්ත පළ කළ සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයා “හරි .. හරි.. මහත්තයා ඔයාලා කෙළින්ම අපේ ගෙදරටම එන්න… මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් ඒක මම බලාගන්නම්” යනුවෙන් පවසන්නේ රුපියල් කෝටි පහම අතටම ගැනීමේ අදහසිනි.
වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් මෙන්ම මීරිගම ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ජාවාරමුන්ගේ නිෙවස සොයා සුඛෝපභෝගී කාර් රථයකින් ගැනුම්කරුවන්ගේ වෙස්ගෙන එහි යාමට පිටත් විය. ටික දුරක් යද්දී සංවිධානාත්මක ජාවාරම් කල්ලි නායකයාගෙන් පොලිස් උපාය දූතයාගේ දුරකතනයට ඇමතුමක් ලැබුණි. ‘පොට් එකටම එන්න’ යැයි ජාවාරමා කීවේය. ඇමතුම විසන්ධි වනවාත් සමඟම කාරය ජාවාරමුන්ගේ මිදුලේ නැවතිණි. ජාවාරමුන්ද එහි රැඳී සිටිනු දක්නට ලැබුණි.
නඩේ ගුරා වූ වනජීවී අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ ඔය අතරේ කතාවට මුලපුරන්නට විය.
“මේකයි මල්ලි විස්තරේ අපි දන්නෙ නෑ. ඔව්වා ඇත්ත ගජමුතු ද බොරු එව්වද කියලා… මොකද අපි මේ පළාතේ කට්ටිය නෙවෙයි. අපිව රවට්ටවනවා එහෙම නෙවෙයි. අපිත් අර ආශාවට කරන දෙයක් මේක” යනුවෙනි. “අයියෝ… පිස්සුද මහත්තයා… අපි කාවවත් අන්දලා මේ බිස්නස් එක කරන්නේ නෑ. මේවා සුපිරි බඩු විල්පත්තුවේ ඇත්තුන්ගෙන්මයි ගත්තෙ. ආයෙ කතා දෙකක් නෑ. ඔරිජිනල් බඩු මෙව්වා” කෙටි වේලාවක් නිරුත්තර වූ නිලධාරීන්ගෙන් එක් අයකු හඬ අවදි කළේය. “හරි එහෙමනම් අපිටත් යන්න පරක්කුයි. හොඳටම පරක්කු වුණා. කෝ බලන්න ඔය කියන ගජමුතු ටික මෙහාට ගේන්නකො” යනුවෙන් කියන්නට විය. පසුව කල්ලියේ නායකයා විසින් සුදු රෙදිකඩක ඔතා තිබූ ගජමුතු තුනක් ගෙන අතේ තැබුවේය. ඒ තබනවාත් සමඟම එක් පසෙකින් අත්විලංගුද තවත් පසෙකින් ගිනිඅවියක් ද කල්ලියේ පිරිස වෙත දිගු වන්නට විය. එය දුටු සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයා මේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් හඳුනාගෙන බැගෑපත් විය.
පසුව ඔවුන් සිවුදෙනාම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන් වෙත භාර දෙන ලදි. මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සිවුදෙනා කල්අඩිය, බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු 27, 30, 35, 37 හැවිරිදි වියේ අයයි. මොවුන් අත්අඩංගුවට ගෙන වනජීවි ඒකකය වෙත රැගෙන යාමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. එහිදී සංවිධානාත්මක ජාවාරම් කල්ලියේ නායකයා පාපෝච්චාරණය කර ඇත්තේ මේවා තමන්ගේ ගජ මිතුරකු වූ වනාතවිල්ලුව විජයපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සහ අවට පරිවාරක රක්ෂිත තුළ සැරිසැරූ ඇතුන් මරා ඔවුන්ගෙන් ලබාගත් ගජමුතු බවත්, ඒවා තමන්ට ලබා දී ඉක්මනින් අලෙවිකර දෙන ලෙස උපදෙස් දී තිබූ බවයි. එහිදී තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, තමන් ගජමුතු අලෙවි කිරීමේ ජාවාරම දින කිහිපයක සිට මෙහෙය වූ බවයි. අනතුරුව ජාවාරමුන් වනජීවී නිලධාරීන් විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර සිවුදෙනාට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඉදිරි නඩු කටයුතු ලබන වසරේ 11 වන මස 18 වන දිනට දින නියම කෙරිණි.
වනජීවී අඩවි ආරක්ෂක ඩී. රාමසිංහගේ මෙහෙයවීමෙන් වනජීවී අඩවි සහකාර ජී. ජේ. වී. එන්. එස්. වික්‍රමරත්න, වන සත්ත්ව නියාමක ජේ.ඩී.එම්. වනසිංහ, අඩවි ආරක්ෂක භාතිය බණ්ඩාර, ක්ෂේත්‍ර සහායක අනුරාධ චින්තක දිසානායක, වනජීවී රියැදුරු සුජිත් දිසානායක යන නිලධාරීන් විමර්ශන සිදු කරන අතර පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු, කුරුණෑගල ප්‍රාදේශීය අණදෙන සහකාර පොලිස් අධිකාරී අබේරත්න, පුත්තලම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. පුෂ්පකුමාරගේ උපදෙස් පරිදි දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්. කේ. එම්. ඒ. විජේරත්නගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (39898) කුමාර, (66552) රොෂාන්, කොස්තාපල්වරුන් වන (75936) ප්‍රනාන්දු, (90719) විජේසිරි, (3037) කුමාර යන නිලධාරීන් සහ මීරිගම ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ද මෙම වැටලීමට එක්ව සිටියහ.
කේ. ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ