Home » කුඩු ගහලා බස් එළවන රියැදුරන් අල්ලන්න දාපු දැල

කුඩු ගහලා බස් එළවන රියැදුරන් අල්ලන්න දාපු දැල

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

– බස්නාහිර පළාතේ එවැනි රියැදුරන් 120ක් ගැන තොරතුරු හෙළිවේ
– දකුණු පළාතේ රියැදුරන් 117ක් ගැනත් හෙළිදරව්වක්
– මෙහෙයුම් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින්

රට පුරා සිදුවන මාරක රිය අනතුරුවල ප්‍රවණතාවක් ඇත්තේ අද ඊයෙක සිට නොවේ. මත්පැන් මත්ද්‍රව්‍ය ද ඊට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇත.

මේ වසරේ මේ වනවිට සිදුවී ඇති රිය අනතුරුවලින් මිය ගොස් ඇති සංඛ්‍යාව ආසන්න වශයෙන් 1417 කි. 2023 වසරේ පාසල් සිසුහු 328 දෙනෙකු පමණ රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වූහ. මේ සංඛ්‍යාලේඛන අනාවරණය කරන්නේ රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයි.

වසරකට සිදුවන රිය අනතුරු ප්‍රමාණය ආසන්න වශයෙන් 3000 ඉක්මවයි. මෝටර් බයිසිකල් අනතුරු ඒ අතරින් මුල් තැනක් ගනී. 2022 වසරේදී මෝටර් බයිසිකල් ඇතුළු රිය අනතුරුවලින් පුද්ගලයෝ 232 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 2024 ගතවූ මාස 08 දී මාරක රිය අනතුරු 1352කදී පුද්ගලයන් 1417ක් ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් කරන්නේ රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩය. 2023 වසරේදී පමණක් සිදුවූ මාරක රිය අනතුරුවලින් පාසල් සිසුන් පමණක් 328 දෙනෙකු මරණයට පත්වී ඇති බව ඇසීමත් කනගාටුවට කාරණයකි.

මාරක රිය අනතුරු බහුල වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපරික්ෂාකාරි රිය ධාවනය, බීමත්ව රිය ධාවනය සහ අධික වේගයයි. මේ අතරිනුත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර වාහන ධාවනය කරන රියැදුරන් සිදුකරන අනතුරු නිසා අකාලයේ මරු තුරුලට යන, එසේම සදාකාලික අබ්බාගතයන් බවට පත්වන අයගේ සංඛ්‍යාව ද සැලකිය යුතු තරම්ය.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චි කර රථ ධාවනය කරන පුද්ගලයන් අනුන්ගේ ජීවිත ද අනතුරේ හෙළමින් සමහරවිට තමන්ගේ ජීවිතයෙන් ද ඒ සඳහා වන්දි ගෙවූ අවස්ථා ඕනෑවටත් වඩා ඇත. ඒ අතරින් පොදු මගී ප්‍රවාහන සේවාවල සමහර රියැදුරන් ද මේ වරද දිගින් දිගටම සිදුකිරීම ඉතා භයානක මෙන්ම ඛේදජනක තත්ත්වයකි.

මීට සැලකිය යුතු කාලයකට පෙර කොළඹ පොලිස් ස්ථානයකට අයත් නිලධාරීන් පිටකොටුව, ගුණසිංහපුර බස් නැවතුම ආශ්‍රිතව අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සතු අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පැකට් සොයාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මේ පුද්ගලයා එහි සිටින්නේ තමන්ගෙන් මත්ද්‍රව්‍ය ඇණවුම් කරන ලද පෞද්ගලික බස් රියැදුරන් කිහිපදෙනෙකු බලාපොරොත්තුවෙන් බවයි. එම බස්රථ රියැදුරන් ඒ වනවිටත් සිටියේ අතරමඟය. ඔවුන් මේ පුද්ගලයාට දුරකතන ඇමතුම් දී මත්ද්‍රව්‍ය පැකට් ගුණසිංහපුර බස් පොළට ගෙන්වාගෙන ඇති බව ද හෙළි විය. එලෙස මත්ද්‍රව්‍ය ඇණවුම් කළ බස් රියැදුරන් හයදෙනෙකුගේ තොරතුරු පොලිසිය සොයාගෙන තිබිණි.

එහි ප්‍රතිඵලයක් වන්නේ එලෙස මත්ද්‍රව්‍ය ගෙන මගී බස් ධාවනය කළ බස් රියැදුරන් 120 දෙනකු පමණ බස්නාහිර පළාතේදී හඳුනා ගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට හැකිවීමයි. මේ බව සඳහන් කර ඇත්තේ එහි සභාපති අජිත් ගුණරත්නය. දකුණු පළාතෙන් ද එවැනි රියැදුන් පිළිබඳව තොරතුරු හෙළිකර ගෙන ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින එවැනි රියැදුරන් 117 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇත්තේ දකුණු පළාතෙනි. මෙම රියැදුරන් 237 දෙනාට විරුද්ධව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක එකමුතුවෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර පොදු වාහන ධාවනය කරන රියැදුරන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහාය. එහෙත් එහි නෛතිකභාවය සම්බන්ධව ඇතිවූ ගැටලු නිසා එය තාවකාලිකව නවත්වනු ලැබිණි. මේ සම්බන්ධව උපදෙස් ලබා ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නීතිපති උපදෙස් පතා ඇති බව ද දැනගන්නට ඇත.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කරන රියැදුරන් සිවුදෙනෙකු මාතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධරයන් විසින් පසුගියදා අල්ලා ගනු ලැබුවේ මාතර පොල්හේන ප්‍රදේශයේ බෝඩිමකිනි. මේ රියැදුරන් සිවුදෙනා මාතර – කොළඹ බස් ධාවනය කරන අය බව ද හෙළි විය.

දාහත් හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක හප්පා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබී සිටි රියැදුරකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබුවේ ද පසුගියදාය.

චුදිත රියැදුරාගේ රියැදුරු බලපත්‍රය අවලංගු කෙරිණි. රුපියල් තුන්ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද රියැදුරුට නියම කෙරිණි. මේ රියැදුරුට චෝදනා කිහිපයක්ම එල්ලවූ අතර මත්පැන් පානය කර රිය පැදවීම ද ඉන් එකකි. 2019 වසරේ ජූනි මාසයේ 2 දින හොරණ, කනන්විල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් එවකට උසස් පෙළ විභාගයට සූදානමින් සිටි 17 හැවිරිදි සිසුවකු මරුමුවට පත්විය.

ඇතැම් රියැදුරන් විසින් සිදුකරන අපරික්ෂාකාරි රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අධික වේගය වැනි මාර්ග වැරදි නිසා රිය අනතුරු බහුල වන බව පොලිස් රථවාහන කොට්ඨාසයේ නිලධරයන්ගේ අදහසයි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division