Home » ගල්කටස් උණ්ඩයෙන් අවසන් වූ අනියම් ප්‍රේමය

ගල්කටස් උණ්ඩයෙන් අවසන් වූ අනියම් ප්‍රේමය

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

– කාර්යාලයේ වැඩට ආ විවාහක කතක් තමන්ගේ කර ගන්න ගිය කළමනාකරුට වෙච්ච දෙයක්
– පෙම් හබය විසඳගන්න හදද්දි පෙම්වතියට තැබූ වෙඩිල්ල වැදුණේ ගැබිනි බිරියට
– බිරිය එපා කියලා අනියම් පෙම්වතිය ගෙදර එක්ක යන්න හදලා

අනියම් ප්‍රේම සබඳතා නිසා පවුල් ජීවිත අවුල් වී වටිනා මිනිස් ජීවිත ද අකාලයේ අහිමි වී යන අයුරු දිනපතාම රටතොටේදී මෙන්ම මාධ්‍ය මඟින් ද දැක දැන ගැනීමට පුළුවන. මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළදී පටන්ගත් එවැනි අනියම් පෙම් සබඳතාවක් ගල්කටස් ගිනිඅවියකින් පුපුරා ගිය උණ්ඩයකින් සුනු විසුනු වී ගිය පුවතක් බදුල්ල පොලිස් වසමේ හිඳගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූයේ පසුගියදාය. මේ කතාවේ මුල මැද අග සටහන් වන්නේ මෙසේ ය.

වැලිමඩ ඌව පරණගම, හද්දත්තාව කරගහඋල්පත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු වන මොහු කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී දැනට බදුල්ල නගරයේ පස්සර පාර හිඳගොඩ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතනයක (කුරියර්) ප්‍රාදේශීය කළමනාකරුවෙකු ලෙස රැකියාව කරන අතර, ඔහුගේ බිරිය 33 වියේ පසු වන ග්‍රාමසේවා නිලධාරිනියකි. අවුරුදු පහක සහ අවුරුදු එකහමාරක දැරියන් දෙදෙනකු සිටින මේ පුද්ගලයාගේ බිරිය මාස 8ක ගැබිනියකි. මේ තැනැත්තා වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට දිනපතාම බදුල්ල නගරයේ රැකියාවට ආවේ ගියේ තමාගේම වාහනයෙනි.

බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවුරුදු තුනක පමණ වයසේ පසුවන සිඟිති දියණියක සිටින තරුණ මවක හිඳගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතනයේ (කුරියර්) රැකියාවට එන්නේ මීට මාස හතරකට පමණ ඉහතදීය.

ඇගේ තරුණ සැමියා බදුල්ල නගරයේ බාබර් සාප්පුවක රැකියාව කළේය. පවුලේ අගහිඟකම් නිසා මෙම භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතනයේ රැකියාවක් සොයාගෙන පැමිණි මෙම තරුණ මව සම්මුඛ පරීක්ෂණයට ලක්කළේ එහි ප්‍රාදේශීය කළමනාකරු වන මෙම 35 හැවිරිදි පුද්ගලයාය. ඇයට රැකියාව ලැබිණි. රූමතියක වූ මේ තරුණ කාන්තාව පිළිබඳ ප්‍රාදේශීය කළමනාකරුගේ සිත ඇදී යන්නේ මේ අතරේදීය.

කාර්යාලයේ දී නිරතුරුවම මොහුගේ නෙතට හසුවෙන මෙම තරුණ මව කෙරෙහි සිතේ උපන් ආදරය ඔහු ඇයට පැවසුවේ තමාගේ බිරියට වෙනත් සබඳතා තිබෙන බවත් මේ නිසා තමා සිතේ කලකිරීමෙන් සිටින බව කියා ඇගේ අනුකම්පාව දිනාගැනීම සඳහාය.

කෙසේ හෝ මේ කළමනාකරු සහ තරුණ මව අතර ආදරයක්, අනියම් සබඳතාවක් හටගත්තේ කාටත් හොරෙනි. කළමනාකරු මෙම කාන්තාව සිය මෝටර් රථයේ නංවාගෙන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හල්, හෝටල්වලට රැගෙන ගොස් කාලය ගත කළේ කාටත් හොරාය.

මේ කාන්තාව නොමැතිව සිටීමට බැරි තත්ත්වයට දැන් කළමනාකරු පත්වීය. ඔහු ඇයගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කළේ ඉක්මනින් ඇය තමාගේ කරගන්නා සිතුවිල්ලෙනි.

“මම මගේ ළමයිනුයි නෝනයි අතහැරලා ඔයාව බඳිනවා. මට ඔයා ළඟට එන්න ඕනි. අපි දෙන්නා කාටත් හොරා පැනලා ගිහින් බණ්ඩාරවෙල පදිංචි වෙමු. මම ඔයාව එක්ක යන්න බණ්ඩාරවෙලින් ඇනෙක්ස් එකක් හොයා ගත්තා“යැයිද මොහු ඇය සමඟ ආදරෙන් වෙළී සිටින මොහොතේ පැවැසුවේය.

මෙම අනියම් සබඳතාවට යන්තම් මාස දෙකක් ගත වූවා පමණි. කළමනාකරුගේ නීත්‍යනුකූල බිරියට සැමියාගේ හැසිරීම් රටාව කෙරෙහි කිසියම් සැකයක් හටගත්තාය. වෙනදා කල්වේලා ඇතිව නිවසට පැමිණෙන සැමියා දැන් එන්න එන්නම රෑ බෝවී නිවසට පැමිණීම නිසා බිරියගේ සැකය තවත් වැඩි විය.

මෙම යුවළ අතර ක්‍රමයෙන් ආරවුල් හටගන්නට වූයේ කළමනාකරුගේ අනියම් සබඳතාව පිළිබඳව තොරතුරු බිරියට සැලවීමත් සමඟය.

මෙසේ දෙදෙනා අතර ආරවුල් හටගෙන තිබෙන මොහොතේ ඔහු මේ පිළිබඳව කතාබස් කර විසඳුමක් ලබාගැනීමට සිය නීත්‍යනුකූල බිරිය, සිඟිති දැරියන් දෙදෙනාත් වාහනයේ දමාගෙන බදුල්ල, පස්සර පාර, හිඳගොඩ පිහිටි සිය අනියම් තරුණ බිරියගේ නිවසට පැමිණියේ පසුගිය දිනෙක පස්වරුවේය. ඒ එන අතරතුරේ යුද හමුදාවේ සේවය කරන සමයේ හොරෙන් ගෙනැවිත් නිවසේ සඟවා තිබූ අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, එස්.ජී. වර්ගයේ උණ්ඩ 5ක්, කෙටේරියක් ද මෝටර් රථය තුළට දමාගෙන රැගෙන ආවේ දෙකෙන් එකක් විසඳා ගන්නා අටියෙනි.

කළමනාකරුගේ මේ හදිසි හැසිරීම, වෙනස් ඉරියව් පිළිබඳව කල්පනාකාරීව සිටි සහෝදරයාත් වැලිමඩ ඌව පරණගම සිට සිය සහෝදරයාගේ මෝටර් රථය පිටුපසින් යතුරුපැදියක නැඟ බදුල්ලට පැමිණ අනියම් පෙම්වතියගේ නිවසට යන්නේ සෙසු පිරිස ද සමඟය.

එම නිවසේ මොහුගේ කාර්යාලයේ සේවය කරන අනියම් පෙම්වතිය, සිය සැමියා සහ තුන් හැවිරිදි සිඟිති දියණිය සමඟ සිටියෝය.

දෙපිරිස මෙහිදී අනියම් සබඳතාව ගැන කතා කරමින් කිසියම් විසඳුමකට ඒමට සූදානම් වෙමින් සිටියදී භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතනයේ කළමනාකරු නැඟිට මට මගේ ගෑනි එපා. මට මෙයා ඕනි කියා අනියම් පෙම්වතිය කැටුව යාමට සූදානම් වීමත් සමඟ ඇය එයට අකමැති වූවාය. ඇගේ සැමියා ද එයට විරෝධය පළ කිරීමත් සමඟ කළමනාකරු ඉණේ සඟවාගෙන සිටි ගල්කටස් ගිනිඅවිය අතට ගෙන අනියම් පෙම්වතියගේ සැමියාට වෙඩි තැබීමට සූදානම් වීමත් සමඟ සහෝදරයා පැන පොර බදා ගිනිඅවිය ගැනීමට උත්සාහ දැරීමේදී මෙසේ කළමනාකරුගේ බිරියට වෙඩි පහර වැදී ඇතැයි පොලිසිය කීය.

ගිනිඅවියෙන් වෙඩි තුනක් පිටවී ඇති අතර, ඉන් නිවසේ බිත්තියට අලාභහානි වී තිබේ. පසුව මොහු පෙම්වතියගේ අවුරුදු තුනක් වයස සිඟිති දියණියත්, තුවාල ලත් බිරියත් මෝටර් රථයට දමා ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ බිරිය රෝහල්ගත කළේය. මේ අතර බදුල්ල පොලිසියට 119 පණිවුඩයක් මඟින් මෙම සිද්ධිය සැලවීමත් සමඟ ක්‍රියාත්මක බදුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී සැකකරු මෝටර් රථය සමඟ ක්ෂණිකව බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ සමඟම මෝටර් රථය තුළ තිබූ අත්බෝම්බයක්, වෙඩි තැබීමට යොදාගත් ගල්කටස් ගිනිඅවිය, එස්.ජී.උණ්ඩ 5ක්, කෙටේරියක් ද පොලිසිය විසින් හොයාගන්නා ලදි.

සැකකරු පුපුරන ද්‍රව්‍ය සහ තහනම් අවි සමඟ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. වෙඩි පහර වැදීමෙන් තුවාල ලැබු සැකකරුගේ ගැබිනි බිරිය බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවාය. මාස දෙකක අනියම් පෙම මෙසේ අවසන් වූයේ ගල්කටස් උණ්ඩයකිනි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායකගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එම්. අබේපාල, උපපොලිස් පරීක්ෂක කුමාරරත්න, උපපොලිස් පරීක්ෂක ලලිත්, සැරයන්වරුන් වන (6742) ප්‍රභාකරන්, (17352) වසන්ත, (20821) රත්නායක, (54248) ගාමිණි, (33778) ජයසිංහ, (25941) රෝහණ, (74449) ගයාන්, (53613) සුමනපාල, (80054) විජේරත්න, (16047) ලාලිත, (82635) රත්නායක, (56557) ලක්ෂ්මන්, කාන්තා සැරයන් (1747) දීපා, 10916 දේශානි යන නිලධාරීන් පරීක්ෂණ පැව­ැත්වූහ.

සී. ගමගේ - සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division