Home » කොට්ටාවේ කාන්තා ඝාතකයා අල්ලා දුන් සීසීටීවී කැමරා ඔත්තුව

කොට්ටාවේ කාන්තා ඝාතකයා අල්ලා දුන් සීසීටීවී කැමරා ඔත්තුව

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
ඇල්ලූ හැටි අමිල මලවිසූරිය

– දෝන ලීලා මාතාව මරා දැමූ පාපතරයා ගෙන ගියේ ඇගේ කරාබු ජෝඩුව පමණයි
– කොට්ටාව මාලබේ පාරේ නිවසක තනිවම සිටි වයෝවෘද්ධ කාන්තාවගේ මාරයා සීසීටීවී හෝඩුවාවෙන්

නිවෙස්වල තනිවම ජීවත්වන එසේ නැතිනම් නිවැසියන් බැහැරට ගිය පසු දහවල් කාලයේ තනි වන වැඩිහිටි කාන්තාවන් ඝාතනය කිරීමේ සිදුවීම් පසුගිය කාලයේ බොහෝ වාර්තා විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මත්ලෝලීන් එම ඝාතන සිදුකර ඇති බව එම ඝාතන පිළිබඳ විමර්ශන සිදු කරන පොලිස් නිලධාරින් අනාවරණය කරගෙන තිබිණි. මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහි වූ පුද්ගලයන් එම ඝාතන සිදු කරන්නේ මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරමිනි. නිවසේ තනිව සිටි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් කඩුවෙල පොලිසියෙන් පසුගියදා වාර්තා විය.

ඒ ආකාරයෙන් දිවා කාලයේ සිය නිවසේ තනිව සිටි කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියක් කොට්ටාව පොලිස් වසමෙන් ද වාර්තා විය. ඒ, ඉකුත් සැප්තැම්බර් 9 වැනිදාය. කොට්ටාව පොලිස් වසමේ මාලබේ පාරේ, නොම්මර 720 ලිපිනයේ පිහිටි නිවසේ වාසය කළ වයෝවෘද්ධ කාන්තාවක එලෙස ඝාතනය කර තිබිණි. 79 හැවිරිදි දෝන ලීලා අබේරත්න නමැති එම කාන්තාව නිවසේ තනිව සිටියදී නිදන කාමරය තුළදී ඝාතනය කර තිබුණේ ඇගේ ප්‍රාණය නිරුද්ධ වනතුරුම කොට්ටයක් මුහුණට තද කරගෙන සිටීම නිසාය.

එක් දරු මවක වන දෝන ලීලා මාතාවගේ ඝාතනය අදාළ පොලිස් වසම වන කොට්ටාව පොලිසියට වාර්තා වීමත් සමඟ එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චිගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. බී. චතුරංග ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයකින් පසු ඝාතකයා කොටුකර ගැනීමට සමත් වූයේ පසුගියදාය.

ලීලා මාතාව ඝාතනයෙන් දින දෙකකට පසු ඝාතකයා ප්‍රදේශයෙන් පලාගොස් ආණමඩුව, නවගත්තේගම, මොරගහවැව ප්‍රදේශයේ සිය නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසියේ විමර්ශන නිලධාරින්ට හැකි වූයේ එම නිලධාරින් සිදුකරන ලද පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. කිසිම බාහිර තුවාලයක් සිදු නොකොට කොට්ටයකින් මුව සිරකොට දෝන ලීලා මාතාව ඝාතනය කර තිබූ 28 හැවිරිදි සැකකරු කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකි.

ඝාතනය සිදුවූ කොට්ටාව, මාලබේ පාරේ එම නිවස අවට සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් සිදුකළ පුළුල් විමර්ශනය ඔස්සේ කොට්ටාව පොලිසියේ නිලධාරින් සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින්ගේද සහාය ඇතිව ලීලා මාතාවගේ ඝාතකයා දින දෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් නීතියේ රැහැනට කොටුකර ගත් ආකාරය කොට්ටාව පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.

79 හැවිරිදි දෝන ලීලා අබේරත්න මාතාව එක් දියණියකගේ මවකි. ඕ සිය දියණිය සහ දියණියගේ සැමියා සමඟ කොට්ටාවේ, මාලබේ පාරේ, නොම්මර 720 නිවසේ වාසය කළාය. ඇගේ දියණියගේ සැමියා ව්‍යාපාරිකයෙකි. ඔහු කොට්ටාවේ, රුක්මලේ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය (හාඩ්වේයාර්) අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. සෑම දිනෙකම පෙරවරුවේ ලීලා මාතාවගේ දියණිය සහ බෑනනුවන් එම වෙළෙඳසලට ගොස් ව්‍යාපාර කටයුතුවල නිරත විය. දෙදෙනා නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රී අඳුර වැටෙද්දීය. එම නිසා ලීලා මාතාව දහවල් කාලය පුරා එම නිවසේ ගත කරන්නේ තනිවමය. එහෙත් දියණිය සහ බෑනා නිවසින් බැහැරව සිටියද ලීලා මාතාව ගැන විටින්විට දුරකතන ඇමතුම් දෙමින් ඇය ගැන සොයා බැලීය.

මෙලෙස ඇගේ දියණිය සහ බෑනා නිවසින් බැහැරව දහවල් කාලයේ වෙළෙඳසලේ ගත කරන බවත් දෝන ලීලා මාතාව තනිව නිවසේ සිටින බවත් මේ තිදෙනාට හොර රහසේ පුද්ගලයකු දැනගෙන සිටියේය. එය ලීලා මවගේ ශෝචනීය ඉරණම් ගමනට මූලික වේයැයි කිසිවකු සිහිනෙන්වන් නොසිතන්නට ඇත. ඒ ඉකුත් සැප්තැම්බර් 2 වැනිදාය. එදින ද සුපුරුදු පරිදි ලීලා මාතාවගේ දියණිය සහ බෑනා පෙරවරුවේම නිවසින් පිටත්ව වෙළෙඳසලට ගියේ එහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහාය. ඇගේ දියණිය වෙළෙඳසලට ගොස් එහි සිටියදී සුපුරුදු පරිදි එදිනද විටන් විට මවට දුරකතන ඇමතුම් දෙමින් ඇය ගැන සෝදිසි කරන්නට වූවාය. එහෙත් ඇය එදින ලබාදුන් කිසිම දුරකතන ඇමතුමකට ලීලා මාතාව ප්‍රතිචාර නොදැක්වූවාය.

ඉන් කලබලයට පත් දියණිය දහවල් කාලයේම නිවසට පැමිණියේ දුරකතන ඇමතුම්වලට මවගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලද හෙයිනි. නිවසට පැමිණි දියණිය නිවසට ගොඩවත්ම මවට කතා කරමින් ඇය ගැන සෝදිසි කළාය. එහිදී මවගේ නිදන කාමරයට එබුණු දියණිය දුටු දෙයින් විලාප තබන්නට වූයේ මව නිදන කාමරයේ ඇඳ ඉදිරිපිට ඇද දමන ලද රෙදි ගොඩක් අසල වැටි සිටි ආකාරය දුටු හෙයිනි. දියණිය මව ගැන සොයා බැලීය. ලීලා මාතාව ඒ වන විටත් මිය ගොස් සිටියාය. බාහිරින් කිසිම තුවාලයක් නොවීය. මවට සිදුවී ඇත්තේ කුමක් ද යන්න දියණියට සොයා ගැනීමට ගත වූයේ නිමේෂයකි. මවගේ කාමරයේ තිබූ අල්මාරියේ රෙදි-පෙහෙළි ඇතුළු සියල්ල ඇද දමා තිබිණි. ක්ෂණයෙන් ඇය සිය සැමියාට ද මවට අත්වී ඇති ඉරණම ගැන සැල කළාය. ලීලා මාතාවගේ මරණය බැලූ බැල්මටම ඝාතනයක් බවට ද සැක කළ දියණිය සහ සැමියා ක්ෂණයෙන් තම නිවස පිහිටි ප්‍රදේශය අයත් අදාළ පොලිස් වසම වන කොට්ටාව පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුම්වත් කරන්නට වූයේ කොට්ටාව පොලිසියේ දුරකතනයට ඇමතුමක් ලබා දෙමිනි. ඒ එදින සවස 3.25ට පමණය.

“මහත්මයා… අපේ ගෙදරට හොරෙක් පැනලා… ගෙදර තනියම හිටිය අපේ අම්මා මරලා දාලා… ගේ හැමතැනම ඇදලා…“ යැයි පවසමින් ලීලා මාතාවගේ දියණිය සහ බෑනනුවන් විසින් කොට්ටාව පොලිස් ස්ථානය දැනුම්වත් කරන්නේ හඬා වැටෙමිනි.

එලෙස ලීලා මාතාවගේ ඝාතනය ගැන කොට්ටාව පොලිසිය දැනුම්වත් වීමත් සමඟ කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චිගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම ඝාතනය සිදුවූ කොට්ටාව, මාලබේ පාරේ, නොම්මර 720 ලිපිනයෙහි පිහිටි අදාළ නිවස සොයා ගියේ විනාඩි 10ක් වැනි කෙටි කාලයකදීය.

නිවසට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායම දුටුවේ ලීලා මාතාව ඇගේ කාමරයේ නිදන ඇඳ අසල බිම වැටී සිටින ආකාරයයි. ඇය ඒ වන විටත් මිය ගොස් සිටියාය. ඇගේ කාමරය පුරාවටම අල්මාරියේ තිබූ ඇඳුම් ඇතුළු බඩු භාණ්ඩ ඇද දමා තිබිණි. පොලිස් නිලධාරි කණ්ඩායම මූලික විමර්ශන අරඹමින් සෝදිසි කර බලමින් මළසිරුර පරීක්ෂා කළ පොලිස් නිලධාරින් සැක කරන්නේ ඇය ඝාතනය කර ඇත්තේ නිවසට පැමිණි සොරකු හෝ සොර කණ්ඩායමක් විසින් බවය. එම ඝාතනය ගැන කොට්ටාව අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි දැනුවත් කළේ ඇගේ මරණය ඝාතනයක් බවට සැක බව පවසමිනි. ඒ අනුව කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිය පොලිස් වසම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ………… ජයමහ දැනුම්වත් කෙළේය. අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ලගේ අධීක්ෂණයෙන් එම ඝාතනයේ සැකකරු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ තවත් විනාඩි කීපයක් ඇතුළතදීය.

එහිදී එම ඝාතනයේ විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (soco) පොලිස් පරීක්ෂක චානක සඳරුවන් ඇතුළු කණ්ඩායමක්ද ඇඟිලි සලකුණු නිලධාරින් ද එහි කැඳවීය.

එසේම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට මේ සිද්ධිය වාර්තා කිරීමත් සමඟ වැඩබලන මහේස්ත්‍රාත් අනුර හෙට්ටිආරච්චි පැමිණ මළසිරුර සහ ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කරන ලදි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මළසිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි බී.සී.එම්. රොද්‍රිගු සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ලීලා මාතාවගේ ඝාතනය සිදුවී ඇත්තේ ඇගේ ගෙලට සහ මුවට යොදන ලද පීඩනයක් හේතුවෙන් හුස්ම සිර කිරීම නිසා බව අධිකරණ වෛද්‍යවරයා තීන්දු කර තිබිණි.

එලෙස ලීලා මාතාවගේ මරණය කිසියම් පුද්ගලයකු විසින් සිදුකළ ඝාතනයක් බව සනාථ වීමත් සමඟ පොලිසිය ඝාතකයා සොයා විමර්ශන පුළුල් කරන්නට විය. එහිදී කොට්ටාව පොලිසියේ විමර්ශන නිලධාරින් ලීලා මාතාවගේ නිවස අවට සීසීටීවී කැමරා පරීක්ෂා කරන ලදි. එම පරීක්ෂාවේදී පොලිස් නිලධරයෝ අදාළ දින පුද්ගලයකු එම නිවසට ඇතුළුවන ආකාරය හඳුනා ගැනීමට සමත් වූහ. ඒ සමඟම එලෙස නිවසට ඇතුළුවන පුද්ගලයාගේ ඡායාරූප ගෙන ලීලා මාතාවගේ දියණියට සහ බෑනනුවන්ට පෙන්වීය.

“ඔබතුමා මේ පොටෝ එකේ ඉන්න කෙනා දැකලා තියෙනවද?“ යැයි අසමින් එම ඡායාරූපය පොලිස් නිලධාරින් ලීලා මාතාවගේ බෑනාට පෙන්වීය.

“මහත්මයා… මේ පොටෝ එකේ ඉන්න පුද්ගලයා… ඒ මගේ හාඩ්වේයාර් එකේ වැඩ කළ කෙනෙක්… හැබැයි ඒකා දැන්නම් වැඩ කරන්නේ නෑ…“ යැයි බෑනා පැවැසීය.

පොලිස් නිලධාරින් එම පුද්ගලයා ගැන විමර්ශන ඇරැඹීය. හාඩ්වෙයාර් හිමිකරු සතුව ඔහුගේ නම, ගම, ලිපින ඇතුළු සියලු විස්තර තිබිණි. පොලිස් නිලධාරින් ඔහු සොයා විමර්ශන ඇරැඹීමත් සමඟ අනාවරණය වූයේ එම පුද්ගලයා ඒ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය.

සීසීටීවී කැමරාවෙන් හඳුනාගත් එම පුද්ගලයා නොම්මර 4, මොරගහවැව, නවගත්තේගම අයෙක් බවත් ඔහුගේ නම මංජුල බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. අනතුරුව කොට්ටාව අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම නවගත්තේගම අදාළ ලිපිනයේ නිවස සොයා ගියේය. ඒ වන විට එම නිවසේ එකී පුද්ගලයා නොවිය. පොලිසිය අනතුරුව එම ප්‍රදේශයේ කරක් ගසමින් මංජුල සොයද්දී පෞද්ගලික තොරතුරුකරුවකු ද හඳුනා ගත්තේය. ඔහුට උපපොලිස් පරීක්ෂක චතුරංග කීවේ මංජුල නිවසට පැමිණියහොත් හැකි ඉක්මනින් දුරකතන ඇමතුමක් දෙන ලෙසටය.

එම තොරතුරුකරුගෙන් පොලිස් නිලධාරින්ට තොරතුරක් ලැබෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඒ ඝාතනයෙන් පසු දින එනම් ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා දින මංජුල නවගත්තේගම ඔහුගේ නිවසට පැමිණ තිබිණි.

“සර්… සර්ලා හොයන කෙනා අද ගෙදර ආවා… සර්ලට ආවනම් ඒකාව අල්ලගන්න පුළුවන්…“ යැයි තොරතුරුකරු කොට්ටාව පොලිස් නිලධාරින් කණ්ඩායමට කීවේය.

ඒ සමඟම කොට්ටාව පොලිස් නිලධාරින් 3 වැනිදා රාත්‍රියේම නැවත නවගත්තේගමට ගියේය. 4 වැනිදා අලුයම තුන පමණ වෙද්දී අදාළ නිවසට ගිය පොලිස් නිලධාරි කණ්ඩායම නිවස වැටලුවේ සැකකරුට පැන යාමට කිසිම ඉඩක් නොතබමිනි. ඒ මොහොතේ නිවසේ නිදා සිටි එම පුද්ගලයා අත්අඩංගුවට ගැනිණි. ඔහු 30 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ මංජුල මධුෂංක දිසානායකය. මංජුල කලින් යුද හමුදාවේ සිටි අයෙකි. ඉන් ඉවත්වූ පසු හරිහමන් රැකියාවක් නොකළ මංජුල මේ වසරේ මුල් කාලයේ ලීලා මාතාවගේ බෑනනුවන්ගේ වෙළෙඳසලේ රැකියාව සඳහා පැමිණ තිබිණි. එලෙස නවගත්තේගම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් මංජුල කොට්ටාව පොලිසියට රැගෙන ආ පොලිස් නිලධරයෝ ඔහුගෙන් ප්‍රශ්න කළහ.

“ඇයි තමුන් ඒ වයසක අම්මව මැරුවේ…?“ යැයි පොලිස් නිලධාරියෙක් සැකකාර මංජුලගෙන් ප්‍රශ්න කළේය.

“සර්… මං මේ දවස්වල සල්ලි නැතිව අමාරුවේ වැටිලා ඉන්නේ… ඒක නිසා මට මතක් වුණා මං හිටිය කඩේ මහත්තයගේ ගෙදර… දවල්ට තනියම මහත්තයගේ නෝනා අම්මා විතරක් ඉන්න බව මට මතක් වුණා… ඒක නිසා මං ඒ ගෙදරට ගියේ සල්ලි තියෙනවද බලන්න… ඊට පස්සේ තමයි මේ දේ වුණේ…“ යැයි කියමින් සැකකාර මංජුල දීර්ඝ පාපෝච්චාරණයක් කෙළේ ලීලා මාතාවගේ ඝාතනය ගැන සියලු තොරතුරු හෙළි කරමිනි.

එලෙස එදින නිවසට රිංගූ මංජුල ලීලා මාතාව විසින් හඳුනා ගැනීමත් සමඟ ඔහු ඇය මරා දමන්නේ ඇය බිම පෙරළා ඇගේ ගෙල තදකොට කොට්ටය මුහුණට තබා පාගාගෙන සිටීමෙනි.

අනතුරුව ඇගේ මුළු කාමරයම අවුස්සා මුදල් සෙව්වද ඔහුට කිසිවක් හමුවී නැත.

“සර්… මං කාමරේම පීරලා සල්ලි හෙව්වා… ඒත් හම්බ වුණේ නෑ… පස්සේ ලීලා නෝනාගේ කරාබු දෙක ගලවගෙන ඒකත් අරගෙන පැනලා ගියා…“ යැයි මංජුල පැවැසීය. එම කරාබු ජෝඩුව රැගෙන පිටකොටුව, හෙට්ටිවීදියට පැමිණි මංජුල එය උකස් කර ඇත්තේ රුපියල් පන්දහසකටය. කරාබු දෙක උකස්කර ඔහු පසුදා නවගත්තේගමට ගොස් තිබිණි. මංජුල මේ වසරේ මුල් කාලයේ කොට්ටාවේ, රුක්මලේ පිහිටි ලීලා මාතාවගේ බෑනාගේ ගොඩනැඟිලි ද්‍රව්‍ය විකිණීමේ වෙළෙඳසලට රැකියාවට පැමිණ ටික කලක් එහි සේවයෙන් පසු ඉන් ඉවත්ව ගොස් තිබිණි.

අනතුරුව මුදල් හිඟතාව නිසා ඔහු පසුගිය පළමු වැනිදා කොළඹ පැමිණ සිය පෙම්වතිය සමඟ පිටකොටුව බස් නැවතුමේද කාලය ගතකර ඇති බව ද හෙළි විය. අනතුරුව දෙවැනිදා පෙරවරුවේ කොට්ටාවේ, මාලබේ පාරේ ලීලා මාතාව පදිංචිව සිටි නිවසට රිංගූ ඔහු එදින පෙරවරු 9.45ට පමණ ඇය ඝාතනය කර තිබුණේ හිත්පිත් නැත්තකු විලසිනි. අත්අඩංගුවට ගත් මංජුල හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බස්නාහිර දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපන සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ලගේ අධීක්ෂණයෙන් කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.බී. චතුරංග, කොස්තාපල්වරුන් වන 92852 නන්දන, 94036 විජේසිංහ, 99136 රංජිත්, 99619 දිසානායක, 101997 රත්නායක, 32060 රණසිංහ, 9968 සේනාරත්න, 21340 පුෂ්පකුමාර සහ කොස්තාපල් රියැදුරු 89877 මධුෂංක යන නිලධාරිහු විමර්ශන සඳහා එක්වූහ.

සැකකරු සොයා විමර්ශන සිදුකළ පොලිස් නිලධාරි කණ්ඩායම

සැකකරු සොයා විමර්ශන සිදුකළ පොලිස් නිලධාරි කණ්ඩායම

 

කොට්ටාව – ශාන්ත ප්‍රදිප්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division