Home » රාජාංගණයේ දෙසොහොයුරෝ කෝටිපතියන් වෙන්න ගහපු ප්ලෑන් ඒක

රාජාංගණයේ දෙසොහොයුරෝ කෝටිපතියන් වෙන්න ගහපු ප්ලෑන් ඒක

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
අත්අඩංගුවට ගත් කේරළ ගංජා

– අයියා පැනලා මල්ලි කොටුවෙලා
– රාජාංගණය යාය 14 හුදෙකලා නි‍ෙවසකින් රුපියල් කෝටි 5ක කේරළ ගංජා අල්ලන්න එස්ටීඑෆ් කළ මෙහෙයුම
– සැකකරු සිටියේ සුඛෝපභෝගී නි‍ෙවසක
– විමර්ශන සීඅයිඩීයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන්

ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන ජාවාරම් හෙළිකර ගැනීම සඳහා ආරක්ෂක අංශ, බුද්ධි අංශ මෙන්ම වෙනත් ආයතන විසින් සිදුකරන විමර්ශන මෙන්ම අමතරව ජනතාව ද ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ද ජාවාරමුන්ට එල්ල කරන්නේ ලොකුම අභියෝගයකි. මහජනතාවගෙන් ලැබෙන තොරතුරු සත්‍ය මෙන්ම වැටලීම් සිදු කරන ආරක්ෂක අංශවලට ද ලොකු පහසුවකි. මේ එවැනි කතාවකි. මේ කතාවට අදාළ ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයටය. ඉන් කියැවෙන්නේ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමකි. ඒ අනුරාධපුර දිසාවේ රාජාංගණය, යාය 14 ප්‍රදේශයේය.

ඒ අනුව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අදාළ තොරතුර සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර දැනුම්වත් කිරීමට කටයුතු කරන්නේ ක්ෂණිකවය.

ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව වැටලීම සිදු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව මහනුවර කලාප භාර එස්ටීඑෆ් අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශේධ ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් කුරුණෑගල වැඩබලන සහකාර පොලිස් අධිකාරි ඒ.පී. සිල්වාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරින්ගේ මැදිහත් වීමෙන් මෙහෙයුම් ආරම්භ කෙරිණි.

මුලින්ම ලැබුණු තොරතුරේ සඳහන් වූ අන්දමට රාජාංගණය, යාය 14 ප්‍රදේශයේ කේරළ ගංජා ගබඩා කර ඇති බව කියන ස්ථානයට වාහන තුනක් පැමිණ ඒවා රැගෙන යාමට සැලසුම් කර ඇති බවකි. ජාවාරමට අදාළ නි‍ෙවස පිහිටා ඇත්තේ රාජාංගණය, යාය14 හුදෙකලා ස්ථානයකය. එම නි‍ෙවස පිහිටා ඇත්තේ ලඳු කැලෑ බහුලව පවතින ස්ථානයකය. අන් අයට මේ ජාවාරම් ගැන ඉව නොවැටී රිසිසේ ජාවාරම පවත්වා ගැනීමට අවශ්‍ය වටපිටාව මින් නිර්මාණය වී තිබිණි. සියලු සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව 13 වැනි දින අලුයම අදාළ ස්ථානයට එස්ටීඑෆ් නිලධාරීන් පැමිණෙන්නේ රහසිගතවය. කිසිවකුටත් සැක නොසි­‍ෙතන අයුරින් කණ්ඩායම් වශයෙන් අදාළ නිවස අවට ලඳු කැලෑවල ඔවුහු ස්ථානගත වූහ. මේ අතර පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සහ අවට අතුරු මාර්ගවල ද නිලධාරීන් රහසිගතව ස්ථානගත වීය.

එහෙත් තොරතුරේ සඳහන් වේලාවට වැටලීම සිදු කිරීමට අවශ්‍ය කිසිවක් සිදු නොවීය. එක් අවස්ථාවක ලොරියක් පැමිණ මඳ වේලාවක් එම නි‍ෙවසේ රැඳී සිට පිටව ගියේය. එම ලොරියට ගංජා පැටවීමක් ද ලොරියෙන් රැගෙන ඒමක් ද සිදු නොවීය. හිස් ලොරිය නැවත ආපසු යන අයුරු නිලධාරීන් සැඟව සිට බලා සිටියේය. පැය ගණනාවක් ගත කළ එස්ටීඑෆ් නිලධරීන්ට රාත්‍රී හත පමණ වන විට ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු පණිවිඩයක් අනුව අදාළ නි‍ෙවස වැටලීමට අවශ්‍ය පියවර ගැනිණි.

ඒ අනුව රාත්‍රී හතට පමණ නිලධරයෝ එක්වරම නි‍ෙවසට කඩා වැදුණහ. එම අවස්ථාවේ එක් පුද්ගලයෙක් තොග වශයෙන් ගබඩාකර ඇති ගංජා කිරා මනිමින් පැකට් සකස් කරමින් සිටියේය. නි‍ෙවසේ යකඩ දොරවල්වලින් සැකසූ ගබඩාවල උරවල බහා තිබුණේ ගංජා තොගයකි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක් බර පැකට් අනූ හතරක් එම තොගයේ අඩංගුය. එම පැකට් ආරක්ෂිතව හොඳින් අසුරා තිබේ. එක් පැකට්ටුවක් රුපියල් පන්ලක්ෂ විසිදහසකට අලෙවි කරන බව ද විමර්ශනවලදී හෙළි විය. ඇතැම් විට මෙම පුද්ගලයින් සිල්ලර වශයෙන් ග්‍රෑම් 50ක් අඩංගු පැකට් එකක් රුපියල් විසිදහසකටද අලෙවි කිරීමට කටයුතු කරන බවද අනාවරණය විය. මෙසේ රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමින් යුත් ගංජා තොගයක් එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට පත් පුද්ගලයාගේ වයස අවුරුදු 45 කි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ මීට අදාළ ප්‍රධාන සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. එම පුද්ගලයා ඔහුගේ වැඩිමල් සොහොයුරාය. දීර්ඝ කාලයක සිට මෙලෙස ඉන්දියාවෙන් රැගෙන එන කේරළ ගංජා බෙදාහැරීමේ කටයුතුවල නිරත වී ඇති බවත් එයින් මේ වන විට රුපියල් කෝටි ගණනක් ඔවුන් උපයාගෙන ඇති බවත් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ලැබී තිබූ බව කියයි.

මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ නි‍ෙවස කාමර තුනකින් සමන්විතය. එම කාමර සියල්ලම වායු සමීකරණය කර ඇත. ඊට යාබදව තවත් සුඛෝපභෝගී නි‍ෙවසක් තනා තිබේ. කේරළ ගංජා තොගය සඟවා තිබූ නි‍ෙවස වටා විශාල තාප්පයක් ගසා ආවරණය කර ඇති අතර සීසීටීවී කැමරා පද්ධතිවලින් නි‍ෙවසට විශේෂ ආරක්ෂාවක් සපයාගෙන තිබිණි. වැටලීම් අතරතුරදී පලා ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මහනුවර කලාප අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශේධ ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් කුරුණෑගල වැඩබලන සහකාර පොලිස් අධිකාරි ඒ.පී.සිල්වාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.පුෂ්පකුමාර සමඟ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඒ.එම්.ඒ.විජේරත්නගේ පූර්ණ මැදිහත් වීමෙන් සැරයන්වරුන් වන 39890 කුමාර, 903 අබේසිංහ, කොස්තාපල්වරුන් වන 90719 විජේසිරි, 93093 සෝමරත්න, 3037 සමන් ඇතුළු නිලධාරීන් වැටලීමට එක්ව සිටියහ.

වැට­ලීම සිදු­කළ එස්ටී­එෆ් නිල­ධාරි කණ්ඩා­යම

වැට­ලීම සිදු­කළ එස්ටී­එෆ් නිල­ධාරි කණ්ඩා­යම

මිහිර විජේසේකර - මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division