Home » ගුවන් ගමන් වෙනස්කර අක්කා – මලෝ ගහපු ගේම

ගුවන් ගමන් වෙනස්කර අක්කා – මලෝ ගහපු ගේම

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

– ගමන් මල්ලේ තිබී සැත්කම් පිහි 1100කුත් සොයා ගනී
– රුපියල් කෝටි හතරක බඩු රේගු බදු නොගෙවා ගුවන් තොටෙන් පිටකරන්න හැදූ අක්කයි මල්ලියි
– ඩුබායි සිට ඉන්දියාවට ගිහින් මෙරටට එන්නේ ඉන්දියාවේ ඉඳන් ආවා වගේ

මේ කියන්නට යන කතාවේ සිටින කාන්තාව සහ පිරිමියා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඥාතීත්වයෙන් ඔවුන් අක්කා සහ මල්ලීය.

අක්කා 57 හැවිරිදිය. මල්ලී 55 හැවිරිදිය. ඔවුන් බොහෝ කාලයක සිට නිතර ගුවන් ගමන්වල නිරත වෙමින්, විවිධ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදේශීය නිෂ්පාදිත භාණ්ඩ ගුවන් මඟින් ගෙනැවිත් දීම සිය ව්‍යපාරය බවට පත්කර ගෙන තිබුණි. ඔවුන් සුළු ලාභ ප්‍රතිශතයක් තබාගෙන මෙම ව්‍යාපාරය සිදු කරගෙන ගියේ කාලයක සිටය.

ඔවුන් මෙවර ඩුබායි වෙත ගොස් ‘භාණ්ඩ’ තොගයක් මිලදී ගෙන, ඉන් පසුව ඉන්දියාවට පැමිණීම සිදු කරන්නේ කටුනායක ගුවන් තොටුපොළ රේගු සහ අනෙකුත් නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමේ අභිප්‍රායෙනි.

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වුවද ඔවුන් එම ගුවන් ගමන මඟ හැර ඉන්දියාවට පැමිණීමට පියවර ගන්නේ දින කීපයක් ඉන්දියාවේ ගත කර, ඉන්දීය සංචාරයක නිරත වූ ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණීමටය.

ඒ අනුව මේ අක්කා මලෝ ඉකුත් දින උදෑසන 06.51ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළෙන් වහාම පිටතට යාමට තැත් කරමින් සිටියේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මඟ හරිමිනි.

එහෙත් මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටි කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පිටවීමේ දොරටුව සමීපයෙහි ආවේක්ෂණ රාජකාරීවල නිරත වී සිටියහ.

එම නිලධාරීන් මෙම ව්‍යාපාරික අක්කා මලෝ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයීය පරිශ්‍රය වෙත කැඳවාගෙන යාමට පියවර ගෙන තිබුණි.

ඉන් පසුව මොවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු සියල්ල එකිනෙක දැඩි පරීක්ෂාවට ලක් කෙළේ සී.අයි.ඩී. නිලධාරින් විසිනි.

මෙම නිලධාරීන්ගේ අනුමාන කිරීම 100%ක් ම නිවැරැදි බව සනාථ කරමින් අක්කා සහ මල්ලිගේ ගමන් මලුවලින් එළියට ආවේ මෙරටට ආනයනය කිරීම නීති විරෝධී භාණ්ඩ, මෙරටට ආනයනය කිරීම, අවසර ගැනීමකින් කළ යුතු භාණ්ඩ තොගයක් සහ ඒවා තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාම සිදු කර තිබූ භාණ්ඩ තොගයකි.

එම ගමන් මලු තුළ මෝටර් රථ අමතර කොටස්, චන්ද්‍රිකා රූපවාහිනී සන්නිවේදන උපකරණ තොගයක්, වැට් – 69 විස්කි බෝතල් 18 ක්, ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29 ක් ද තිබුණි.

මීට අමතරව විදේශයක නිෂ්පාදිත මැන්චෙස්ටර්, එසේ බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක් ද එම ගමන් මලුවල තිබියදී සී.අයි.ඩී. නිලධාරින්ට සොයා ගැනීමට හැකිවිය.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් තිබූ සැත්කම් සඳහා භාවිත කරන පිහි 1,100 ක්ද තිබුණි. එමෙන්ම ඉන්දීය කෝපි පැකට් 2,200 ක්, ඔලිනොයිස් රාත්‍රී ආලේපණ ක්‍රීම් පෙට්ටි 100ක්ද සොයා ගන්නා ලදි.

මේ සියල්ලෙහි වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වූ අතර මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන ලදි.

ඉන් අනතුරුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම භාණ්ඩ තොගය සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනා ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට සී.අයි.ඩී. නිලධරයෝ පියවර ගනු ලැබූහ.

කටුනායක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division