Home » රු. කෝටි 11ක කොකේන් ගෙනා මැලේසියානු කත අල්ලන්න ‘නාකොටික්’ කළ මෙහෙයුම

රු. කෝටි 11ක කොකේන් ගෙනා මැලේසියානු කත අල්ලන්න ‘නාකොටික්’ කළ මෙහෙයුම

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

– කත කොටුවන්නේ බෙල්ලන්විල සංචාරක හෝටලයකදී
– චොකලට් ටොෆි ටින් 6කින් කොකේන් කරල් 172ක් මතුවෙලා
– මෙරට කොකේන් ඒජන්ත අල්ලන්නත් විමර්ශන

යුක්තිය මෙහෙයුමත් සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ල වූයේ ප්‍රබල අභියෝගයකි. මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වූ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ සුළු ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමටද ‘යුක්තියට’ හැකි වීම සුවිශේෂය.

මේ මෙහෙයුමත් සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාලය අඩපණ වූ අතර, ජාවාරම්කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඩුබායි ඇතුළු විදේශ රටවලට පලා යන්නේ ‘යුක්තියෙන්’ බේරීම සඳහාය.

එම ජාවාරම්කරුවන් විදේශගතව සිට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන සිදු කරන්නේ හමුදා බුද්ධි අංශවල ද සහායෙනි. මුහුදේදී සිදු කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට නායකත්වය දෙන්නේ මෙරට නාවික හමුදාවයි.

දිගින් දිගටම සිදුවූ මේ මෙහෙයුම් සමඟම මත්ද්‍රව්‍ය හිඟයක් ද ඇතිවිය. විදේශිකයන් ලවා ගුවන් මඟින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ජාවාරම්කරුවන් කැස කවන්නේ මේ නිසාය.

මෙලෙස මෙරටට එන මත්ද්‍රව්‍ය අතරින් කොකේන් මත්ද්‍රව්‍යයට මත්ලෝලීන් අතර ඇත්තේ ඉහළ ඉල්ලුමකි. රුපියල් ලක්ෂයක කුලියට කැස්බෑව ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පාකිස්තානු ජාතිකයෙක් පිළියන්දල පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගනු ලබන්නේ ද එලෙස ලැබුණු තොරතුරකට අනුවය.

එම පාකිස්තානු ජාතිකයා පොලිසියට කොටුවන්නේ ඔහු සතුව තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කුලී නිවස අලුත්වැඩියා කරන්නට ආ බාසුන්නැහේට අලෙවි කරන්නට යාමේදීය. පොලිසියට ඔත්තුව ලැබෙන්නේ ඒ අනුවය. පාකිස්තානු ජාතිකයාට ඉන් අනතුරුව සිදුවන්නේ හිරේ විලංගුවේ වැටීමටය.

කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම බහුලව සිදුවන්නේ විදේශිකයන්ගේ මැදිහත් වීමෙනි. කොකේන් ගිල දමා මෙරටට පැමිණි කළු ජාතික කතුන් දෙදෙනෙකු ද කටුනායකදී පසුගියදා අල්ලා ගන්නේ කටුනායක ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරින් විසිනි. විදේශික ජාවාරම්කරුවන්ගේ මැදිහත් වීම මත සිදු කරන කොකේන් ජාවාරමට තිත තැබීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ද විශාල වෙහෙසක් ගන්නේ මේ හේතුව නිසාය.

කොකේන් ජාවාරමේ නිරත විදේශිකයන් ගැන ඇස ගසාගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තට පසුගියදා සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැනය. එම ඔත්තුවේ හැටියට ජාවාරම මෙහෙයවන්නේ මැලේසියානු කාන්තාවකි.

අදාළ මැලේසියානු ජාතික කාන්තාව මෙරටට පැමිණීමෙන් අනතුරුව බෙල්ලන්විල ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇත්තේ එහි කාමරයක් වෙන් කරවාගෙන නවාතැන් ගැනීම සඳහාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තට ලැබුණ මේ තොරතුර සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ හෝටලය සොයා බෙල්ලන්විල ප්‍රදේශයට යන්නේ ඉතා ඉක්මනිනි.

එම හෝටලයට යන පොලිස් කණ්ඩායම ඒ අවට ද සිය විමර්ශන නිලධාරින් යොදවන්නේ මැලේසියානු ජාතික කතට කිසිම විදියකට හෝටලයෙන් පලා යාමට නොහැකි වන ආකාරයටය.

ඉන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් හෝටලයේ සිදු කළ පරීක්ෂාවේදී සැකකාර මැලේසියානු ජාතික කාන්තාව දැක ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකි විය. කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 610ක් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සොයාගැනිණි.

එලෙස සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබී ඇත්තේ සැකකාර මැලේසියානු ජාතික කාන්තාව සන්තකයේ තිබුණු කළු පාටට හුරු ගමන් බෑගයේය. එහි තිබුණ චොකලට් සහ ටොෆි අඩංගු ටින් 6ක මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂ්මව අසුරා තිබිණි. කොකේන් කරල් 172ක් එලෙස සොයාගැනිණි.

අත්අඩංගුවට ගැනුණු මැලේසියානු ජාතික කාන්තාවගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඇය මේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මැලේසියාවේ සිට ගුවන් මඟින් ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවයි. එහිදී හමුවූ කළු ජාතිකයකු ඇයට මේ කොකේන් කරල් අඩංගු චොක්ලට් සහ ටොෆි ටින් ලබාදී ඇති අතර, ඇය ඒවා ද රැගෙන මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන්ට මේ කොකේන් කරල් ලබාදීම සඳහාය. මත්ද්‍රව්‍ය නාශක අංශය ඇය එලෙස අත්අඩංගුවට ගන්නා විට ඇය මෙරටට පැමිණ දින 4ක් ගතවී තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් මෑතකදී සිදු කරන ලද ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම මෙයයි.

සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝග මත ඇගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ අධීක්ෂණයෙන් විමර්ශන සිදුකෙරිණි.

ඡායාරූප :- බණ්ඩාරගම බිමල් ජයසිංහ 
නුගේගොඩ – සමීර අබේසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division