– කාමරයේ අඩි තුනක් වතුර පුරවලා කසිප්පු ස්කාගාරයක් හදලා
– රන්මිණිතැන්නේ මෝදි ගමේ කසිප්පු ස්කාගාරය වටලන්නේ තිස්ස පොලිසියෙන්
– සැකකරු දුන් තොරතුරුවලට අනුව රක්ෂිතයෙන් තවත් තිප්පොළක් වටලයි
කසිප්පු වැනි විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළින් තුරන් කිරීමට නම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන සහ බෙදාහරින පුද්ගලයින් නීතිය රැහැනට හසුකර ගතයුතු බව බොහෝ දෙනෙකුගේ මතයි. එහෙත් එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේ එවැනි ජාවාරම්කරුවන් ඉතාමත් සුක්ෂ්මව නීතිය රැහැනට හසුනොවී රහසිගතව තම ව්‍යාපාර පවත්වාගෙන යෑම නිසාය.
එවන් පසුබිමක මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතිය රැහැනට හසුකර ගැනීමට තිස්සමහරාම පොලිසියට හැකි වුයේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියකුගේ තොරතුරක් මතය.
“සර් රන්මිණිතැන්න මෝදි ගමේ සැක ගෙයක් තියෙනවා. ඒ ගෙදරට නිතර එන යන මනුස්සයෙක් කසිප්පු ජාවාරම්කරුවෙක්ලු” යැයි පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි. කුඩාගොඩගේට තොරතුරක් ලබා දුන්නේය.
“හරි තවදුරටත් සෙයා බලල මට කියන්න. මොකද ඔය මිනිහා නීති විරෝධී වැඩ කරනව නම් අපි හරියට සොයල බලල සාක්ෂි ඇතිව තමයි අත්අඩංගුවට ගන්න ඕන. නැත්නම් මිනිහා අපෙන් බේරිල යනවා” යැයි තොරතුර දුන් එම නිලධාරියාට උපදෙස් ලබා දෙමින් පොලිස් ස්ථානාධිපතිවයා පැවැසීය.
ඒ අනුව එම සැකකටයුතු පුද්ගලයා පිළිබඳව තවදුරටත් සොයා බැලු එම පොලිස් නිලධාරියා නැවැත ගෙන ආ තොරතුරුවලට අනුව එම සැක කටයුතු නිවස වැටලීමේ මෙහෙයුමේ වගකීම පළපුරුදු පොලිස් නිලධාරියකු වූ දූෂණ මර්දන අංශයෙහි ස්ථානාධිපති සැරයන් 50747 ජයසිරිට පැවැරීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
එහිදී පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා ලබාදුන් තොරතුරුවලට අනුව සැක කටයුතු පුද්ගලයා එම නිවසට ඇතුඵ වන්නට හැර පැය දෙක තුනකට පසු එම නිවස පොලිසිය වටකරනු ලැබුවේ අඳුර වැටෙන්නට තවත් හෝරාවක් දෙකක් තිබියදීය. ඒවන විටත් නිවසේ කුස්සිය තුළ ගෝඩා බැරල් බුබුළු නගමින් ඉහළට නැඟෙමින් තිබුණි.
එකවරම නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරින් පළමුව සැකකරු අත්අඩංගුවට ගෙන එම නිෙවස සෝදිසි කළේය. සැකකරු කසිප්පු පෙරීම සිදුකර ඇත්තේ ගෑස් සිලින්ඩර් දෙකක් මඟිනි.
ගෝඩා බැරලයෙන් යාබද කාමරයට දමා ඇති බට සහ කාමරය තුළින් කුස්සියේ භාජනයකට වෑස්සෙන කසිප්පු කෙසේ පෙරෙනවද යන්න සොයා බැලු පොලිසිය කුස්සිය ආසන්නයේ දොර වසා තිබු කාමරය විවෘත කර බැලීමෙන් මහත් මවිතයට පත්විය. කසිප්පු පෙරීම සඳහා නිවසෙහි එම කාමරය සකස්කර තිබුණේ දොර හරස්කර බැම්මක් බැඳීමෙනි. ජලය කාන්දු නොවන ලෙස බිත්ති සකස්කර එම කාමරය අඩි 12-15 කෘත්‍රිම තටාකයක් සකස්කර අඩි තුනහමාරක පමණ උසට ජලය පුරවා තිබුණි. පැසෙන ගෝඩා බැලයෙන් එන දඟරය ජල තටාකය දමා කසිප්පු පෙරීම ජයටම සිදුකර ඇත්තේ ද මහා පරිමාණයෙනි. කසිප්පු පෙරීම සඳහා භාවිතා කළ එම නිවස සැකකරු කුලියට ගත් නිවසක් විය.
මෙසේ පෙරන ලද කසිප්පු මිලිලීටර් තිස් පන්දහසක් සහ ගෝඩා මිලිලිටර් තුන්ලක්ෂ හතලිස්දහසක් කසිප්පු පෙරීමට භාවිත කරන ලද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහරාම, රෝහණපුර, පදිංචිකරුවෙක් බව පොලිස් විමර්ශනවලදී හෙළිවිය.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් පොලිසිය දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරිම හමුවේ ලබාගත් තොරතුරු මත තිස්සමහරාම, රන්මිණිතැන්න ගම්මානයට මායිම් රක්ෂිතයෙහි ගල්ආර ප්‍රදේශයෙහි පවත්වාගෙන ගිය තවත් කසිප්පු තිප්පලක් වැටලීමට ද පොලිසියට හැකිවිය. කසිප්පු පෙරමින් සිටියදී එම සැකකරු ද පොලිස් අත්අඩංගුවට පත්විය. එම කසිප්පු තිප්පොළෙන් සැකකරු සමඟ තවත් ගෝඩා මිලි ලීටර් තුන්ලක්ෂ හතලිස්දහසක් සහ පෙරන ලද කසිප්පු මිලි ලීටර් තිස්පන් දහසක් සමඟය. කසිප්පු පෙරීමට භාවිතා කරන ලද උපකරණ ද පොලිස් භාරයට ගැනිණි. එසේ පොලිස් අත්අඩංගුවට පත් එම සැකකරු තිස්සමහරාම, ඔසුවින්න, කුඩා ගම්මාන 09 හි පදිංචිකරුවෙකි.
සිදුකරනු ලැබූ මේ සාර්ථක වැටලීම්වලින් පසු ගෝඩා මිලි ලීටර් හයලක්ෂඅසුදහසක් සහ පෙරන ලද කසිප්පු මිලි ලීටර් හැත්තෑ දහසක් සහ කසිප්පු පෙරීමට භාවිත කරන ලද උපකරණ සමඟ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුදින එනම් (08 දා) තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු තරිඳු සමීර සිල්වා එක් අයකුට රුපියල් එක්ලක්ෂවිසිපන්දහස බැගින් සැකකරුවන් දෙදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියම කරන ලදි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රී සහ තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්නගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. වයි. කුඩාගොඩගේ මෙහෙයවිමෙන් තිස්සමහරාම පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති, සැරයන් 50747 ජයසිරි, සැරයන් 72663 කුමාරසිරි, කොස්තාපල්වරුන් වන 85274 ධනුෂ්ක, 103970 කල්හාර සහ පොලිස් විශේෂ කාර්ය ඒකකයෙහි කොස්තාපල් 76271 අමරසේන යන පොලිස් නිලධාරින් ද සහභාගි විය.
ඒ. ඒ. පේමසිරි තිස්සමහරාම සමූහ