Home » හොර රියැදුරු බලපතක් හෙළි කළ ලොකු රහසක්

හොර රියැදුරු බලපතක් හෙළි කළ ලොකු රහසක්

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
අත්අ­ඩං­ගු­වට ගත් මුදල් හා ව්‍යාජ ලෙස සැකසූ රිය­දුරු බල­පත්‍ර පොලිස් නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­වට ලක් වූ අයුරු

– ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සමඟ මාතර වෙරළේදී ඇල්ලූ සැකකරු හෙළි වූ ජාවාරම
– හොර කච්චේරියක්, මුද්‍රණාලයක් මහරගමදී සහ පාදුක්කේදී පොලිසියෙන් වටලයි; සැකකරුවන් 5ක් අත්අඩංගුවට
– ව්‍යාජ රිය­ැදුරු බලපත්‍ර, ව්‍යාජ සහතික පරිගණක ‍ෙහාර ලේඛන තොගයක් සොයා ගනී

පසුගිය හත් වැනිදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට තොරතුරුකරුවකුගෙන් හදිසියේ ලැබුණු පණිවිඩයකින් කියැවුණේ කොළඹ සහ කඹුරුපිටිය ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු එක්වී ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු විවිධ වර්ගයේ සහතික පත් මුද්‍රණය කරමින් අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවය.

තමාට ලද තොරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේට දැනුම් දුන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් ඔහුට උපදෙස් දෙනු ලැබුවේ මේ පිළිබඳ කඩිනමින් ආවේක්ෂණ රාජකාරී සිදුකර ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලෙසයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ විසින් සිය ඒකකයේ නිලධාරී කණ්ඩායමක් ස්ථාන කිහිපයකට යවා එම මොහොතේ සිටම ආවේක්ෂණ රාජකාරී සිදුකළ අතර ඒ අනුව එම නිලධාරීන් ලද අනාවරණය කරගත් තොරතුරක් මත පසුගිය අටවැනිදා උදෑසන මාතර වෙරළ තීරයේ සූක්ෂම මෙහෙයුමක් දියත් කළේ ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි. පොලිස් කණ්ඩායමේ උත්සාහය සාර්ථක කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ අදාළ බලපත්‍රය තමාට සකස්කර දෙනු ලැබුවේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් බවයි. එම පුද්ගලයා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත රැගෙන ගොස් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් කණ්ඩායම එම මොහොතේම වහා විල්පිට ප්‍රදේශයට ගොස් එලෙස ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර දෙනු ලැබූ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබුවේද සූක්ෂ්ම මෙහෙයුමක් දියත් කරමිනි.

එලෙස අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත හොර කච්චේරිය පවත්වාගෙන යනු ලබන කොළඹ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එදිනම පොලිස් කණ්ඩායම කොළඹ බලා පිටත්වූ අතර අදාළ සැකකරු එම මොහොතේ පන්නිපිටිය ප්‍රදේශයේ සිටින බවට අනාවරණය කරගැනීමෙන් පසු පන්නිපිටියේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිට රැකවල්ලා සිට ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත මහරගම ප්‍රදේශයේ නිවසක් වටලා තවත් සැකකරුවෙකු සමඟ ව්‍යාජ ලේඛන සැකසීම සඳහා භාවිතයට ගන්නා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ කිහිපයක්ද, ව්‍යාජ ලිපි ලේඛන රැසක්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ගෙන් නමින් යුත් නිල මුද්‍රා මෙන්ම ප්‍රධාන සැකකරු සතුව තිබී ව්‍යාජ ලේඛන සකසා අලෙවියෙන් ලබාගත් බවට සැක කෙරෙන රුපියල් 5000 නෝට්ටු තිහක් ඇතුළු රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත ලිපි ලේඛන මුද්‍රණ කටයුතු සිදුකළ පාදුක්ක ප්‍රදේශයේ මුද්‍රණාලයක් වටලා පරිගණක දෙකක් මුද්‍රණ යන්ත්‍ර සහ මුද්‍රණය කරන ලද ලිපි ලේඛන රැසක් ද සමඟ තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තේය.

ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී වෛද්‍ය උපාධි සහතික, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික, බදු ගිවිසුම්, NVQ සහතික සහ ව්‍යාජ රියදුරු බලපත්‍ර 148ක් සොයා ගත් බව ද පොලිසිය පැවසුවේය.

2017 වසරේ සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර මෙරටට විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මෙම ජාවාරම්කරු සමඟ සම්බන්ධ වී ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව යන්ත්‍රසූත්‍ර ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති රියදුරු බලපත්‍ර ප්‍රමාණය 168කි. මෙම පුද්ගලයින් සමඟ රට වටා සිටින තවත් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධකම් පවත්වන්නේද? තවත් මෙවන් ව්‍යාජ බලපත්‍ර භාවිත කරමින් සිටින්නේද? ඔවුන් උපයා සපයා ගත් මුදල් යොදා වෙනත් ජාවාරම් ද සිදු කරන්නේ ද යන්න සොයා විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් කඹුරුපිටිය, මහරගම, පිළියන්දල, පාදුක්ක හා කොට්ටාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 32, 36, 40 හා 60 යන වයස්වල පසුවන සැකකරුවන් පසුගිය 09 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ, පොලිස් පරීක්ෂක ජේ. රත්නායක, උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග, සැරයන්වරුන් වන 15043 නෙවිල් කුමාර, 39345 සිසිර චන්ද්‍රරත්න, කොස්තාපල්වරුන් වන 72701 එම්. ඒ. ටී. ධනුෂ්ක, 72992 ප්‍රසාද් ලක්මාල්, 92908 ඉෂාන් මදුශංක, 99297ලසිත් මදුශංක සහ කොස්තාපල් රියදුරු 78926 චමීර සම්පත් යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කර ඇත.

 

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division