ආදර ස්නේහයක්
කර්තෘ – පියසේන වික්‍රමගේ
ප්රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
යොවුන් තරුණියක් සහ තරුණයෙකුගේ ආදරය පදනම් කරගනිමින් ලියැවෙන මේ කෙටි නවකතාව ජනප්‍රිය ප්‍රවර්ගයට අයත් වෙන්නකි. ආදරය කරද්දී දැනෙන පොදු හැඟීම් වන සතුට සේම සියුම් වේදනාව ද මෙහි මැනවින් ග්‍රහණය කරගෙන තිබේ.
සරල හා සුගම භාෂාවකින් සංවාද ආකෘතියකින් ලියැවී ඇති මේ කෙටි නවකතාව යොවුන් ආදරය පිළිබඳ නව අයුරකින් බලයි. ප්රබන්ධයක වන සරලත්වය මෙහි මැනවින් නිරූපිතය. ඒ සරලත්වය සමඟ ප්‍රේමයේ හා ජීවිතයේ වන සංකීර්ණ බව කෙරෙහි කතුවරයාගේ අවධානය යොමු වූවා නම් වඩාත් හොඳ බව අපගේ විශ්වාසයයි. සරල කෙටි වැකි යොවුන් පාඨක ආකර්ෂණය කෘතිය කරා යොමු කරගැනීමට බලපෑම් කරනු ඇත.
සඳලකර හිරුමඬල
කර්තෘ – ආනන්ද කරුණාරත්න
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයකි
සඳලංකා සමූපකාර ව්‍යාපාරයේ සමාරම්භක, සමූපකාර ග්‍රාමීය බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහගේ අපදානය මෙසේ කතුවරයා විසින් රචනා කර තිබේ.
නිශ්ශබ්ද හා අවංක මිනිසකු වූ වින්සන්ට් සුබසිංහගේ සමාජවාදී ආකල්ප නිසා දුප්පත්කම අවම කිරීම වෙනුවෙන් දියත් කෙරුණු සමූපකාර ව්‍යාපාරය හා ඔහුගේ යුග මෙහෙවර ගැන නූතන පාඨකයා දැනුම්වත් කිරීම මේ ග්‍රන්ථයේ ලේඛකයාගේ අරමුණ වී තිබේ. ඔහුගේ උපතේ සිට මරණය දක්වා දිවිසැරියේ මතක සටහන් හා එහි ක්‍රියාකාරකම් පිළිබඳ මෙහි අන්තර්ගතය.
විවිධ ලේඛන ලිවිසැරි පිළිබඳ අධ්‍යයනය කරන ආනන්ද කරුණාරත්න කතුවරයා මෙකී ග්‍රන්ථය ඔස්සේ ද වින්සන්ට් සුබසිංහ චරිතය මෙන්ම ඔහුගේ සමාජ, දේශපාලන, ආර්ථික මැදිහත් වීම පිළිබඳව ද සිය අවධානය යොමු කර තිබීම වැදගත්ය.
වන්නියලැත්තෝ
කර්තෘ – ගුණසේකර ගුණසෝම
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
කතුවරයාට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇසුරු කරන්නට ලැබෙන්නේ 2007 වර්ෂයේ අගභාගයේදී පමණය. එතැනින් ඇරඹෙන මිත්‍රකම බොහෝ දිනවල සවස්භාගයේ අල්ලාප සල්ලාපයේ යෙදීමට තරම් දුරදිග ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් කතුවරයා වන්නියලැත්තෝගේ අපදානය රචනා කිරීමේ ස්වකීය ආශාව ගැන පවසද්දී මහත් තුටින් යුතුව වන්නියලැත්තෝ එය පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද අප අත ඇති මේ මහාර්ඝ අපදානය බිහි වී තිබේ.
මෙය පොදු අපදාන කෘති ගණයට නොගැනෙන බව අපගේ විශ්වාසයයි. වන්නියලැත්තෝ යනු සාමාන්‍ය ජීවිතයෙන් ඔබ්බට ගිය විවිධ පරාස ඔස්සේ ස්වකීය දිවිසැරිය සුසර කළ නායකයෙකි. ඔහුගේ දහම පරිසරයයි. බස අප මුල් බසයි. කතුවරයා මේ සියල්ල පිළිබඳ දැඩි සවිඥානකත්වයකින් යුතුව කෘතිය රචනා කර තිබේ.
මේ කෘතියේ මුල් පරිච්ඡේද කිහිපය හැරෙන්නට මුළු කෘතිය පුරාම ඇත්තේ වන්නියලැත්තෝ සිය ජීවිත කතාව තමන්ගේ බසින් කියූ අයුරුයි. එනම් වැදි වහරෙනි. කතුවරයා වැදි වහර සම්බන්ධයෙන් දරන ප්රාගුණ්යය අප මවිත කරවනසුලුය.
පර්යේෂණයකට අවැසි පරිසර පසුබිම, භාෂා පසුබිම, නිර්මාණාත්මක පසුබිම පමණක් නොව වන පෙතේ පරම්පරා උරුමය පිළිබඳව ද කතුවරයා හෙළන දෘෂ්ටිය මනහරය. ආදිවාසී උරුමය ලේඛනාරූඪ කරමින් මතු පරපුර සඳහා සුරක්ෂිත කිරීමේ වැදගත්කම මතුවෙන්නේ අදට නොව හෙටටය. අස්පර්ෂණීය මතක සහ උරුම ලේඛනගත කිරීම සම්බන්ධයෙන් කතුවර ගුණසේකර ගුණසෝමට පාඨක ගෞරවය නිරතුරුව හිමි වනු ඇත. වන්නියලැත්තෝගේ අපදානයෙන් ඔබ්බට ගිය සංස්කෘතික, සමාජයීය, පරිසර විද්‍යාත්මක, මානව විද්‍යාත්මක ක්ෂේත්‍ර ඔස්සේ විහිදුණු පුළුල් පර්යේෂණයක් ලෙසින් මේ කෘතිය හැඳින්වීම යුක්ති යුක්තය.
“ඉංග්‍රීසි නවකතාව යථාර්ථය හා දේශපාලනය”
27 දා ජනගත වෙයි
ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහ විසින් ලියන ලද ඉංග්‍රීසි නවකතාව යථාර්ථය හා දේශපාලනය විචාර කෘතිය ලබන 27 දා කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේ A ශාලා පරිශ්‍රයේදී පෙරවරු 11.30ට ජනගත වීමට නියමිතය.
මෙහි පැවැත්වෙන විචාර සංවාදයට ජපානයේ ඔකිනාවා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල්, ලේඛක දයා දිසානායක, කථිකාර්ය සුධාරා ගුණරත්න, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.
ඔබගේ සීමාව
පරික්ෂා කරන
“අසීමා”
මිනිසාගේ සීමාව පවතින්නේ සංස්කෘතියේ ද? ස්වභාවධර්මයේ ද? එසේත් නැත්නම් එයින් එහාට ගිය සාධක මත ද යන්න ගවේෂණය කරමින් ලියැවී ඇති අසීමා නවකතාව පසුගියදා ජනගත කරන ලදි. සිංහල නවකතාවට නැවුම් සංකල්පයක් ගෙන එන අසීමා නවකතාව පැවැත්ම උදෙසා වුණ ප්‍රේමයේ සටන අතික්‍රමණය කරමින් විශ්වීය ප්‍රේමයක් සොයා යන්නන්ගේ කතාන්දරයකි. එය පාඨකයා නැවුම් මානසික කලාපයකට රැගෙන යන කියැවීමකි.
මනෝ විද්‍යාත්මක පදනමක සිට ලියැවී ඇති නවකතාව සරල භාෂා ශෛලියකින් වත්මන් කුඩුම්භ ජීවිත ස්පර්ශ කරමින් සමාජ, දේශපාලන සහ ව්‍යාපාරික කලාප ඔස්සේ ගලා යයි. 2017 වසරේදී පර්සෝනා නවකතාව නිකුත් කිරීමෙන් සත්වසරකට පමණ පසුව කැලුම් වැලිගම අසීමා නවකතාව නිකුත් කරයි. අසීමා නවකතාව විශිෂ්ට ප්‍රකාශකයන්ගේ ප්රකාශනයක් වන අතර සැප්තැම්බර් 17 සිට දිවයින පුරා වෙළෙඳසල්වලින් ලබාගත හැකියි.
සූරිය කුසුම
කර්තෘ – සමුද්‍ර වෙත්තසිංහ
ප්රකාශනය – සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන
මේ කෘතිය ලියැවෙන්නේ වෙනස් නිර්මාණ ප්‍රවේශයක ප්‍රතිඵලයක් ලෙසිනි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වී අතිශය ජනප්‍රියත්වයට පත් කොරියානු ටෙලි වෘත්තාන්තයක් වන සූරිය කුසුම ඇසුරින් මේ කෘතිය ලේඛකයා රචනා කර තිබේ. ඔක්නියෝ නම් දිරිය දියණියගේ කතාවේ හඬකැවීම් අධ්‍යක්ෂණය කරන ලද්දේ අතුල රන්සිරිලාල් සහ ජී. කුලරත්න විසිනි. ශ්‍රව්‍ය දෘශය නවකතාවක් ලේඛනගත කරමින් ප්‍රතිනිර්මාණය කිරීම අසීරු කාර්යයකි. කතුවරයා ඒ අභියෝගය මනාව ජයගෙන තිබේ.
ඔක්නියෝ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ජීවිතය කැපකොට ක්‍රියාත්මක වන, සටන් වදින දිරිය දියණියකි. ඇගේ අනුවේදනීය ජීවන පුවත නවකතාවට පාදක වී තිබේ. ප්‍රබල ආධ්‍යාත්මික කම්පනයක් ඇතිකරන, නව චින්තනයකට මඟ පාදන ඇගේ කතාව සරල හා සුගම බසින් කතුවරයා පාඨකයාට ඉදිරිපත් කර තිබේ.
අහස් ගඟ
කර්තෘ – සුපුන් අතුකෝරළ
ප්රකාශනය – සුරස ප්‍රකාශකයෝ
කතුවරයා රැස පුවත්පතට ලියන ලද තීරු ලිපිවලින් මේ කෘතිය සංගෘහිතය. මේ තීරු ලිපි ලියැවී ඇත්තේ සුවිශේෂී බලපෑම් සහගත සිදුවීම්වල, ඡායාරූපවල, කලා නිර්මාණවල හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල නොදුටු පැතිකඩ අනාවරණය කිරීමක් ලෙසිනි. ඒ අනුව බොහෝ රසවත් මෙන්ම වැදගත් තොරතුරු ද මේ ඔස්සේ පාඨකයා හා බෙදා ගන්නට කතුවරයා සමත් වී තිබේ. අප දන්නා බොහෝ දේහි පිටුපස ඇති අනාවරණය නොවූ කලාපය ගැන දැනුම්වත් වීම මෙමඟින් සිදුවූ වැදගත් කටයුත්තකි.
තීරු ලිපි රචනයේදී සැලකිලිමත් විය යුතු සිත්ගන්නා සුලු ආකර්ෂණීය බස් වහරකින් ලියැවී ඇති අහස් ගඟ වෙනස් ගණයේ තීරු ලිපි කියැවීම් අත්දැකීමක් ඔබට ලබාදෙන බැව් නිසැකය.
අරුණැල්ල
සම්පාදක – නිමල් සේදර
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
කවි කිවිඳියෝ එකළොස් දෙනකුගේ කවි එකතු කර සම්පාදිත කාව්‍ය සංග්‍රහයකි. ඔවුන්ගේ කවි එකතු කර සම්පාදක විසින් කාව්‍ය සංග්‍රහයක් සේ නිකුත් කර තිබේ. සෑම කවියකුගේ හා කිවිඳියකගේ කෙටි ලිවිසැරියක් සම්පාදක විසින් ඉදිරිපත් කර තිබීම වටනේය. වරින්වර ලියූ කවි පළ කරගැනීමේ අවකාශයක් මෙන්ම කවීන් දිරිගැන්වීමක් ද මේ ඔස්සේ සිදු වෙයි. සඳැස්, නිසදැස් දෙආරෙන්ම ලියැවුණු කවි මෙහි අන්තර්ගතය. ඒ කවි කිවිඳියන්ගේ පෞද්ගලික අත්දැකීම්, වස්තුබීජ සිය කවියට අවැසි ආකෘතියේ බහා ඉදිරිපත් කර තිබේ. එකළොස්දෙනකුගේ එකතුවෙන් නිර්මිත කාව්‍ය සංග්‍රහයක් බැවින් විවිධ ආරවල කවි රසවිඳීමේ හැකියාව රසිකයාට ලැබේ. එය විශේෂත්වයකි.
සමනළ අඩවියේ අසිරිමත් කතන්දර
කර්තෘ – උපාලි සමරසිංහ
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
ලංකාවේ ඓතිහාසික, ආගමික, සංස්කෘතික හා ජනශ්‍රැතික වටිනාකමකින් යුත් සමනළ අඩවියේ විශේෂිත කතන්දර හා දුර්ලභ සිදුවීම් පිළිබඳ මේ කෘතියේ බොහෝ තොරතුරු සංගෘහිතය. මේ කෘතියේ විශේෂත්වය වන්නේ මේ තොරතුරු ගෙන එන්නේ දෙවිපහළ දේවමිත්ත ස්වාමීන් වහන්සේ වුවත්, උන්වහන්සේගේ ස්මරණ බොහෝ ළඟන්නාසුලු සරල හා සුගම, ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන්නේ උපාලි සමරසිංහ කතුවරයා විසින් වීමයි.
සාමාන්‍ය ජනතාව සමනළ අඩවියේ ඓතිහාසික හා ගුප්ත තොරතුරු ගැන දන්නේ අල්ප වශයෙන් වුවත් එකී තොරතුරු දැන ගැනීමේ පිපාසාවෙන් සිටිති. සිරිපා අඩවිය ආශ්රිත දුර්ලභ තොරතුරු සේම සත්ත්ව වර්ග, විශේෂ ජනකතා, පාරිසරික විෂමතා ආදී සියල්ල මේ කෘතියේ අන්තර්ගත වීම නිසා කෘතියට විසල් ආලෝකයක් ලැබී තිබේ. අස්පර්ෂණීය උරුම පිළිබඳ මෙසේ කෘති සම්පාදනය වීම අතිශයින් වැදගත්ය.
කතුවරයාගේ දීර්ඝකාලීන පුවත්පත් දිවියේ අත්දැකීම් මේ කෘතියට ආලෝකයක් එල්ල කර තිබේ. පාඨක ප්‍රිය රචනා ශෛලිය හා කුතූහලාත්මක ගොඩනැඟීම විසින් කෘතියේ අවසානය තෙක් පාඨකයා ඇඳබැඳ තබා ගනියි.
කලණ මිතුරෝ
කර්තෘ – සමන්ත කුමාර සෙනෙවිරත්න
ප්රකාශනය – රත්නාවලී ප්‍රකාශකයෝ
යොවුන් සාහිත්‍ය කෘතියකි. ජනප්රවාදයෙන් හා පරිසර ලෝලත්වයෙන් යුතුව සත්‍ය හා පරිකල්පනය එකට මුසු කරගනිමින් ලියැවුණු කතාවකි. නූතන දරු පරපුර අපේ සංස්කෘතික උරුම කෙරෙහි ආසක්ත කෙරෙන ආකාරයට ලියැවුණකි. යොවුන් සාහිත්‍යයේ ප්රමුඛ අභිලාෂයක් සේ ගැනෙන ඔවුන් දිරිමත් කිරීමේ හා නව දැනුම් සම්පාදනයේ ලා කතුවරයා වැඩි සැලකිල්ලක් දක්වා ඇති බවක් පෙනේ. තාක්ෂණික ලොවට ආසක්ත දරුවන් අවට පරිසරයටත් එහිම වන විවිධ අංගවලටත් අවධානය යොමු කරවන අන්දමේ කතාවක් ඉදිරිපත් කර තිබේ.
සරල හා කුතූහලය දනවන ආකාරයේ භාෂාවකින් කෘතිය රචනා වී තිබේ. කතුවරයා තමාගේ ළමා කාලය ගත කළ අන්දමෙහි වන අපූර්වත්වය එකී කෘතියේ අත්දැකීම් ඇසුරේ ප්‍රකාශිත වෙන බවක් පෙනේ.
“ගෑනුන්ට කොහෙද විලාප තියන්ට වෙලාව?” එළිදැක්වේ
නීතිඥ ජයනි නෙත්මිණි පෙරේරා රචිත කුලුඳුල් කාව්‍ය සංග්‍රහය “ගෑනුන්ට කොහෙද විලාප තියන්ට වෙලාව ?” ඉකුත් 19 වෙනි බ්‍රහස්පතින්දා, වෝටර්ස් එජ් නෙලුම් පරිශ්‍රයේදී ජනගත විය.
නීතිඥවරියක්, කථිකාචාර්යවරියක් හා මනෝවිද්‍යා උපදේශකවරියක් ලෙස වෘත්තීන් කිහිපයක ඇය ලද අත්දැකීම් උකහා ගෙන ඒවා ඇසුරින් තවත් එක ගැහැනු ළමයෙක් යන සන්නාමය ඔස්සේ පළ කරන මේ කාව්‍ය සංග්‍රහය ආදරය, දුක, සතුට සහ සාමාජයීය ප්‍රශ්න වන ගෘහස්ථ හිංසනය හා දික්කසාදය වැනි මාතෘකා ද සරලව හුවා දක්වයි.
එදින ප්‍රවීණ ගීත රචික සහ සම්මානනීය කිවිඳියක වන යමුනා මාලිනී පෙරේරා, සම්මානනීය කිවිඳියක වන සුලේඛා විතානගේ, “ ප්‍රවීණ ගීත රචක ශෂික සදීප් සහ ප්‍රවීණ කතුවරයකු වන නීතිඥ ගිම්හාන් සූරියබණ්ඩාර ඇතුළු සාහිත්‍ය ලෝකයේ සහෘදයෝද නීති කේෂ්යේ පිරිසක් ද මීට සහභාගී විය.
ලෙනාඩ් වුල්ෆ්ගේ පරිපාලන භූමිකාව
කර්තෘ – අබේසිංහ හඳවලපිටිය
ප්රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පරිපාලන නිලධාරියකු සේම කතුවරයකු සේ ද ප්‍රකට ලෙනාඩ් වුල්ෆ් ලංකාවේ ගැමි දිවියේ සියුම් මනෝභාව හඳුනා ගෙන අවවරප්රසාදිත ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කළ ඉංග්‍රීසි නිලධාරියෙකි. බැද්දේගම කෘතිය ඔහු කෙතරම් ග්‍රාමීය ජනතාවගේ මිනිසකු වූවා ද යන්නට නිදර්ශනයකි
මේ කෘතියේ කතුවරයා උත්සාහ දරන්නේ ලෙනාඩ් වුල්ෆ් නම් පරිපාලන නිලධාරියාගේ භූමිකාවේ සාරය පාඨක ප්‍රජාව වෙත තිළිණ කිරීමටය. ශ්‍රී ලංකා පරිපාලන සේවා ඉතිහාසයේ රන් ලකුණක් වෙන වුල්ෆ් ගැනත් ඔහුගේ භූමිකාවෙන් ස්ඵුට වෙන සාර්ථක පරිපාලකයකුගේ ගති ලක්ෂණ ගැනත් කතුවරයා මෙහි දීර්ඝව සාකච්ඡා කරයි.
බොහෝ ඵෙතිහාසික කරුණු එක්රැස් කරමින් සරල බස් වහරකින් රචිත මේ කෘතිය පාඨක මනසේ විචිත්‍ර සංකල්ප රූප මවන සුලුය. මේ කෘතියේ අප මෙතෙක් නොදන්නා බොහෝ තොරතුරු සංගෘහිතය. ලෙනාඩ් වුල්ෆ් චරිතයේ පරිපාලන භූමිකාව ගැන වත්මන් නිලධාරීන්ට ගත හැකි ආදර්ශ මෙහි බහුලය. පර්යේෂණමය සොයා යෑම ගැන කතුවරයාට පාඨක ප්‍රශංසාව හිමි වෙන බැව් කිව යුතුය.
වන අරණක සඳ පහන
කර්තෘ – සමන්ති රණමුකගේ
පරිවර්තනය – ස්වර්ණා බෝපාලි ද සොයිසා
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයකි
සමන්ති රණමුකගේ රචනා කළ කවි 56කින් සමන්විත “වන අරණක සඳ පහන“ ද්වී භාෂික හයිකු කාව්‍ය සංග්‍රහය නිකුත්ව තිබේ. ඇය කිවියර පාලිත සේනාරත්න විසින් අන්තර්ජාලය හරහා මෙහෙයවන ශාස්ත්‍රීය හයිකු කවි සමාජයේ සාමාජිකාවක් වන අතර ඒ අත්දැකීම් ද මෙම කාව්‍ය සංග්‍රහයට රචනා කිරීමට යොදාගෙන ඇති බව දක්නට ඇත. මෙය 2024 වසරේ ජනවාරි 5 වැනි දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශාලාවේ දී පැවැත්වූ 6 වන හයිකු කවි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද හයිකු කාව්‍ය පුස්තකයයි.
සිහින රඟහල ග්‍රන්ථය
සැප්තැම්බර් 27 දා එළිදකී
ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න විසින් රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද විශේෂ කෙටි නාට්‍යවල පිටපත් එකතුවක් “සිහින රඟහල”නමින් සැප්තැම්බර් 27 දා සවස 4.00ට අගනුවර බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව අසල ඇති එළිමහන් ප්‍රධාන වේදිකාවේදී ජනගත වීමට නියමිතය.
1995 සිට 2008 දක්වා කාලය තුළ නිර්මාණය කරන ලද මෙම කෙටි නාට්‍ය එකතුව “සිහින රඟහල” නමින් 2008 සිට රඟදක්වන ලද අතර, මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ එම කෙටි නාට්‍ය පහේ පිටපත් ය. ඒවා නම් වැලන්ටයින් එනකන්, චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්, ඔබ සාපේක්ෂයි, දුවනඋන් දෙන්නෙක් සහ ලාස්ට් බස් එකේ කතාව යන පිටපත් ය.
කෙටි නාට්‍ය බිහිවීමට හේතු වූ සමාජ, දේශපාලන, සහ සංස්කෘතික පරිසරය ගැන “සිහින රඟහල කෙටි නාට්‍යකලාවේ පසුබිම” නමින් විශේෂයෙන් ම සැකසුණු පර්යේෂණාත්මක ලිපියක් ද එහි ඇතුළත්ය. අනූව දශකයේ නාට්‍ය කලාව බිහිවූ ඓතිහාසික මොහොත යන විෂය යටතේ ආචාර්ය කෞශල්‍යා කුමාරසිංහ සමඟ වංගීස සුමනසේකර දේශන පවත්වනු ලබන අතර, අනුරාධා කෝදාගොඩ විසින් මෙම කතිකාව මෙහෙයවනු ලබයි.“සිහින රඟහල” කෘතිය නිර්මල ප්රකාශනයකි.