Home » නිවෙසේ ප්‍රදර්ශනයට සුදුසු ඡායාරූප මූර්ති

නිවෙසේ ප්‍රදර්ශනයට සුදුසු ඡායාරූප මූර්ති

by gayana
September 21, 2024 12:30 am 0 comment
ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

වාස්තු සිද්ධාන්ත මැනවින් ආරක්ෂා කරමින් ගොඩනඟා ගන්නා ඔබගේ නි‍ෙවස නිවැරැදි ලෙස පරිහරණය නොකළහොත් ඔබටත් නොදැනීම ඔබගේ නි‍ෙවස තුළට වාස්තු දෝෂ රිංගා ගත හැකිය.

 

මේ නිසා වාස්තු සිද්ධාන්තවලට අනුව නිවෙස පරිහරණය කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. බොහෝ අවස්ථාවල වාස්තු පරීක්‍ෂාවන්හිදී නිවාසවල වාස්තු සිද්ධාන්ත නිවැරදි වුවත් නි‍ෙවස පරිහරණය කරන ආකාරය තුළ සිදුවන වැරැදි සහ අඩුපාඩු නිසා නිවෙසේ සතුට, සැනසීම, දියුණුව පලා ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

නි‍ෙවසේ විවිධ මූර්ති, සිතුවම් තැබීමේදී හා ඡායාරූප ප්‍රදර්ශනයේදීත්, ආගමික පිළිම, පින්තූර තැබීමේදීත් බොහෝ විට මෙවැනි දෝෂ සහගත තත්ත්වයන් සිදු කර ගෙන තිබේ.

නිවෙසට ඇතුළුවන මිදුලේ තබා ඇති යක්‍ෂ මුහුණු, විකෘති මුහුණු සහිත ගැහැනු පිරිමි මූර්ති, හෙල්ල, කඩු, තබාගෙන සිටින හේවායන්ගේ මූර්ති ආදිය නොතැබිය යුතුය. එමෙන්ම නිවෙසේ ප්‍රධාන දොර අසල  විශාල කාලතුවක්කු පතරොම්වලින් කළ නිර්මාණ, නිවෙස ඇතුළත විසිත්ත කාමරයේ කාලතුවක්කුවල හිස් උණ්ඩ, හිස් බෝතල්, බිත්තිවල ගෝන අං තට්ටු, දිරාගිය දැව කොටස් ශුද්ධ කර තීන්ත ගා කළ නිර්මාණ, මියගිය සතුන්ගේ සම් ඇට සාලයේ නොතැබිය යුතුය. එමෙන්ම අඬන ළමුන්ගේ පින්තූරද, ඇස්වලින් ලේ එන දර්ශන සහිත ඡායාරූප පින්තූරද, ලෝ ප්‍රකට මොනාලිසා පින්තූරයද නිවෙසක තබාගැනීම එම නි‌ෙවස දුර්වල කිරීමට හේතු වේ. නි‍ෙවසේ විසිත්ත කාමරයේ අවි ආයුධ දැක්වෙන පින්තූරද, සිංහයන්, කොටියන්, ගිජු ලිහිණියන්, උකුස්සන් වැනි මාංසභක්ෂික සත්ත්වයන්ගේ පින්තූරද නොඑල්ලිය යුතු අතර පිටරටවලින් ආනයනය කරන ලද කඩු, කිණිසි, තුවක්කු සෙල්ලම් බඩු ආදියද බිත්තියේ නොගැසිය යුතුය. එමෙන්ම මළගිය අයගේ පින්තූර ප්‍රදර්ශනාත්මකව සාලයේ තැන්පත් කිරීම හා නිවෙස තුළ ඒවාට ගරු සරු දැක්වීමද කිසිසේත් නොකළ යුතුය.

දේව පින්තූර, පිළිම නිදන කාමරවලට නුසුදුසු අතර ආගමික ශාස්තෲන්ට පහන් තැබීමද නොකළ යුතුය.

අඹු සැමියන් මෙන්ම අලුත විවාහ වූ යුවතිපතින්ගේද නිදන කාමරවලට හංස යුවළ, ඉසුරුමුණි පෙම් යුවළ ආදී පින්තූර ඉතා ශුභ වේ. දරුවන් පාඩම් කරන ඊශාන කාමරයේ ගණ දෙවියන්ගේ පිළිමයක්, පින්තූරයක් තැබීම ශුභ වේ.

අතීතයේ නිවාසවල බුදු සිරිතේ සිදුවීම් වෙස්සන්තර, නළපාන වැනි ජාතක කතාවල සිදුවීම් සහිත පින්තූර, සුජාතාවන් කිරිපිඬු පුදන ආකාරය, තුන්පත් රෑන ආදිය ප්‍රදර්ශනය කර තිබුණි. නිවෙසට ඇතුළු වන උළුවස්ස ළඟ සීවලී මහ රහතන් වහන්‌ෙස්ගේ පින්තූරය, රත්නමාලි යන්ත්‍රය ආදිය සවි කර තිබුණි. එමඟින් නිවෙසට දේව ආකර්ෂණය මෙන්ම ආරක්ෂාවද හිමි විය.

එමෙන්ම නිවෙසක පින්තූර තබන විට පංච මහා භූත ශක්තීන්ගේ ශක්තිය ලැබෙන දිශා ගැනද සැලකිලිමත් විය යුතුය. දකුණු දිශාවට ජලය හා ජල ආශ්‍රිත පින්තූර කැටයම්, ආදිය නුසුදුසුය.

උතුරු හෝ ඊශාන දිශාවේ බිත්තිවල ගින්දර හා සම්බන්ධ පින්තූර නොඑල්ලිය යුතුය. එම දිශාවන් ආපෝ හෙවත් ජල කලාපයට අයත් වන උතුරු දිශාවට දිය ඇලි, මුහුද නැව්, මාළු ආදී ජලය හා සම්බන්ධ පින්තූර සුදුසු වේ. එම දිශාවේ දොරවලට හංස පූට්ටුව, නෙළුම් මල් ආදිය සුදුසු වේ. දකුණු දිශාවේ ජලය ආශ්‍රිත පින්තූර කැටයම්, ආදිය නොතැබිය යුතුය. මෙසේ වැරදි දිසාවල වැරදි පින්තූර තැබීමෙන් නිවෙස අක්‍රිය වේ.

නිවෙසට පැමිණෙන ඇස්වහ කටවහ වළක්වා ගැනීමේ අරමුණින් ඇතැම් වැඩ අවසන් නොකළ නිවාසවල ‘චික්’ ‘තුක්’ වැනි  වචන විශාල අකුරෙන් ලියා තිබෙනු දක්නා ලැබේ. එය ඉතාම අයහපත් අතර ඒ වෙනුවට කුකුළෙකුගේ පින්තූරයක්, දක්‍ෂිණ ස්වස්තිකයක්, ‘ඕම්’ අක්‍ෂරය වැනි සුබ ලකුණක් එල්ලා තැබීම සුබදායකය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division