මද සරුභාවය හෝ දරු පල නොමැති වීම වත්මන් සමාජය තුළ සුලබ ගැටලුවක් වී තිබේ. විවාහක යුවළකගෙන් සංකේතවත් වන්නේ මානව සමාජයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය ප්‍රජාව බිහි කිරීමේ අවශ්‍යතාවය ය. එය සිදු නොවේ නම් එය වඳ භාවය ලෙස වහරේ පැනේ.
අපේ සංස්කෘතික පරිසරය තුළ දරුපල නොමැති වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇඟිල්ල දික්වන්නේ කාන්තාවටය. ඒ වඳභාවය හෙවත් දරු පල නොමැති වීම සම්බන්ධව සමාජීය දැනුමේ තිබුණු මඳ භාවය නිසාය. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව තුළ වත්මනේ මේ සඳහා ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ යම් ප්‍රතිකර්ම විදි සොයාගෙන ඇතත් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හා ආයුර්වේදයේ වඳභාවයට හෝ මද සරු භාවයට සාර්ථක ප්‍රතිකාර තිබේ. දේශීය වෛද්‍ය ප්‍රතිකාරයන්හිදී වඳ භාවය කොටස් දෙකකට බෙදේ. එක් කොටසක් ස්ථිරවම දරු පල ඇති කිරීමේ හැකියාවක් නැති එනම් ස්ථිර වඳභාවයට පත් වූ පිරිස්ය. අනෙක මදසරුභාවය ය.
මදසරුභාවය යනු දරු පල ලැබිය හැකි නමුත් ඊට යම් ප්‍රතිකාර කළ යුතුය යන්නය. මදසරුභාවය පිළිබඳ වර්තමානයේ ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය අතරම සලකා බැලේ. වඳභාවය ද එසේමය. මුලින් කාන්තාවට පමණක් ඇඟිල්ල දිගු කළ සමාජය දැන් දෙපාර්ශ්වය පිළිබඳ සානුකම්පිකව බැලීමට තරම් දැනුම්වත් වී ඇත.
මදසරුභාවයට ප්‍රතිකාර විධි කිහිපයකි. කාන්තාවගේ ගර්භාශයේ, ප්‍රජනන පද්ධතියේ නොඑසේ නම් හෝමෝනවල වෙනස් කම් නොමැති නම් නමුත් ඇය මදසරුභාවයෙන් පෙළෙනවා නම් දේශීය වෛද්‍යවරුන් එවැනි අවස්ථාවල ප්‍රතිකාර කරන්නේ වෙනස්ම අභිචාර ක්‍රම ඔස්සේය. අනෙකුත් ශාරීරික සහ මානසික දෝෂ පවතී නම් ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වීම සිදු කරනු ලබයි. මදසරුභාවය පවතින අයට කායික සේම මානසික ප්‍රතිකාරත් අවශ්‍ය වේ. එම ප්‍රතිකර්මවලදී අපේ සාම්ප්‍රදායික ක්‍රම මුල් තැනක් ගනියි.
බොහෝ විට කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවන විට දරුපල විභතාව අඩු වී යයි. මෙය දැන් සුලභ තත්ත්වයකි. එමෙන්ම පූර්ව කර්ම ද දරුපලවලට බලපායි. එය අපේ සමාජය තුළ ඇති සම්ප්‍රදායික දැනුමකි. බොහෝ විට පන්සල්, පල්ලි, දේවාල, කෝවිල් හෝ වෙතත් පුදබිම් වෙත ගොස් දරුපල ලබා ගැනීමට බාර හාර වීමේ පිළිවෙතක් අපේ සමාජය තුළ අනාදිමත් කාලයක සිට පවතී. මෙය සිද්ධ වන්නේ අපේ කර්මය පිළිබඳ වූ සංකල්පයත් සමඟය. නමුත් ශාරීරික දෝෂ ඇති මදසරුභාවය සහිත යුවළකට නිසැක ප්‍රතිකාර අවශ්‍යයය.
මදසරුබව ඇතිවන්නේ ඇයි?
ශරීර උෂ්ණත්වය සේම ගර්භාශය, ඩිම්බකෝෂ ආශ්‍රිත ප්‍රජනන පද්ධතියේ දෝෂ විය හැකිය. මේ දෝෂ තත්ත්ව වා පිත් සෙම් ත්‍රිදෝෂයන්ගෙන් ඇති විය හැකිය. එමෙන්ම එම ඉන්ද්රියන්හි විකෘතිතා නිසා ඇති වීමට පුළුවන. විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි දෝෂ දැකිය හැකිය. ඒ කුමන හෝ දෝෂයක් මද සරු භාවයට බලපෑ හැකිය.
යමෙකුගේ මානසික කාරණා ද මදසරුභාවයට හේතු වේ. අධික ලෙස කෙන්ති යන, අධික මානසික ආතතියෙන් පෙළෙන, මානසික විවේකයකින් තොර පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට මදසරුභාවය ඇති වීමේ ඉඩකඩ තිබේ. මේ අනුව තේරුම් ගත යුත්තේ දරුපල පිහිටිම සඳහා මනස සුවපත් වීම සේම ඒ සඳහා මනස සූදානම් කළ යුතු බවය. මෛත්‍රිය වඩවන කුසල් සිත් උපදවා ගැනීම දරුපල ඇතිවීමට හේතු වේ.
අධික ශරීර උෂ්ණත්වය නිසා මදසරුභාවය ඇතිවන පුද්ගලයන් ට හාතවාරිය කැඳ, උඳු පිටි කැඳ, වැල් පෙනෙල කැඳ වැනි කැඳ වර්ග දීමට අපේ සමාජයේ සරල ප්‍රතිකාර ක්‍රම අතර විය. අපේ සම්ප්රදායේ තුළ පැවැති තවත් ප්‍රතිකර්ම විධියක් වන්නේ බාර හාර සහිත ශාන්තිකර්මයන්ය. පහත රට ශාන්ති කර්මයක්වන රිද්දි යාගය හෙවත් රට යකුම, කලස් තැබීම වැනි ශාන්ති කර්ම ඔස්සේ සිදු කළේ ද දරුපල හට ගැනීමට අවශ්‍ය මානසික පරිසරය සකස් කිරීමය. රට යකුම වැනි යාගයක් තුළ අපට දක්නට ලැබෙන්නේ දරුවකු පිළිසිඳ ගැනීමට පෙර කාන්තාවකගේ මානසික පරිසරය ඒ වෙනුවෙන් සකස් කිරීම පිළිබඳය. මෙවැනි අභිචාර එක් ප්‍රතිකාර විධියක් ආවරණය කළේය.
දරුපල අපේක්ෂා කරන යුවළක් ශරීරයේ හෝමෝන සහ ධාතු වර්ධනය කරන ආහාර සුලබව සිය ආහාර වේලට එක් කර ගත යුතුය. උඳු, හාතවාරිය, මුංඇට එවැනි කදිමය. මදසරුභාවය ඇති අයට ගුණ ආහාරයක් ලෙස ඇතැම් පළාත්වල උඳු පිටි මිශ්‍ර වැල්පෙනෙල කැඳ ලබා දේ. ඉන් පුද්ගලයන්ගේ ධාතු වර්ධනය සිදු වේ.
එමෙන්ම අපේ ජීවිත පැවැත්ම සහ විලාසිතා ද මේ වනවිට මදසරුභාවයට බලපා තිබේ. බොහෝ කාන්තාවෝ තද යට ඇඳුම් අඳිති. උෂ්ණත්වය එහා මෙහා නොයන යට ඇඳුම් ඇඳීමත් මදසරුභාවයට හේතුවකි. මෙම උෂ්ණත්වය කළමනාකරණය නොවුණහොත් ගර්භාශය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ත්‍රිදෝෂ කෝප වීමේ ඉඩ කඩ වැඩිය. ශරීර උෂ්ණත්වය අඩු කරගැනීමට ස්නානයෙන් සිදු වූ පිහිට දැන් නාන කාමරයකට හිරවූ අප බොහෝ දෙනකුට නැත. ගලාගෙන යන දියේ පැයක, පැය එක හමාරක පමණ කාලයක් බැස ස්නානය කළ හැකි නම් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම එය මදසරුභාවය නැති වීම සඳහා කළ හැකි සරල යහපත් ප්‍රතිකර්මයකි.
අපේ සම්ප්රදාය තුළ නක්ෂත්රය පිළිගනී. වේලාපත්කඩයේ ඇති ග්‍රහ පිහිටීම් ද දරුපල නැති වීමට හේතුවක් සේ පැරැන්නෝ සැලකූහ. ඒ වෙනුවෙන් විශේෂ පූජා විධි පැවැත්වූහ. කෝනේෂ්වරම් කෝවිල, පත්තිණි දේවාල ඇති වන්නේත් මේ සමාජ ගැටලුවට පිළියම් දෙන අභිචාර පිළිවෙත් පැවැත්වීටම අවස්ථාව සදා දෙන පුදබිම් ලෙසය.
එමෙන්ම මෙම අභිචාර පිළිවෙත් ක්‍රීඩා තෙක් ද ජන ක්‍රීඩා ලෙසද වර්ධනය වූයේය. සශ්‍රීකත්වය සහ දරුපල පිළිබඳ සංකල්ප පසුබිමකින් ඇති වුණු අංකෙළිය එවැනි එක් ක්‍රීඩාවකි. මේ අනුව මදසරුභාවය යනු කනගාටුවට පත් විය යුතු තත්ත්වයක් නොවේ. ප්‍රතිකාර හරහා සුවපත් කරගත යුත්තකි.
දරුපල ඇති කරගැනීමට නිසි ව්‍යායාම අවශ්‍ය වේ. ව්‍යායාම නොකිරීම, අධික තරබාරුව, එයත් සමඟ කාන්තාවන්ට ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව මදසරුභාවයට තවත් හේතුය. එවැනි අවස්ථාවල ඔසප් චක්‍රය ක්‍රමවත් කරගැනීමට අප ඖෂධ ලබා ගත යුතු වේ. තමන්ට දරුපල නොමැති බවට හඬා වැලපෙමින් මානසික කඩා වැටීමකට ලක් නොවී මෛත්‍රී සහගත සිතින් තමන් තුළ ඇති අඩුපාඩු සකස් කරගන්නා පුද්ගලයාට මදසරුභාවයෙන් මිදී නැණවත් ගුණවත් සෞඛ්‍ය සම්පන්න දරු සම්පතක් සමඟ අපේක්ෂා සහගත ජීවිතයක් ගත කළ හැකිය.
මදසරුභාවයත් සමඟ යම් යම් ව්‍යාජ දේවාල සහ එම දේවාල මෙහෙයවන ගැරහිය යුතු ආකාරයේ ව්‍යාපාර ද සමාජය තුළ පටන් ගෙන තිබේ. එවැනි ස්ථාන වෙත යන කාන්තාවන් හිරිහැරයට අවමානයට අපයෝජනයට ලක්වන අවස්ථා කොතෙකුත් වාර්තා වී තිබේ. මෙවැනි ව්‍යාජයන් වෙත ආකර්ෂණය නොවී පිළිගත් වෛද්‍යවරුන් හෝ පිළිගත් වෘත්තිකයින් හරහා ස්වකීය ගැටලුවට විසඳුම් සෙවීම කළ යුතු බව අවධාරණය කරමු.