ආයුර්වේද ශාස්ත්‍රය ලොවට හඳුන්වා දුන් මහා ඍෂිවරු ‘වසංගත රෝග‘ ලෙස විස්තර කර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බෝවන සංක්‍රාමික රෝග වශයෙනි. එම රෝග කෙනකුගෙන් තවත් කෙනකුට බෝ වන ආකාරය ද ආයුර්වේදයේ පෙන්වා දී තිබේ. ඒ අනුව අත් පා ආදී අවයව ස්පර්ශයෙන්, ප්‍රශ්වාස වාතයෙන්, එක්ව ආහාර ගැනීමෙන්, එක්ව නිදා ගැනීමෙන්, ඇඳුම් පැළඳුම් මල් මාලා ආදියෙන් හා සංසර්ගයෙන් එම රෝග බෝ වීම සිදු වේ. ජ්වර රෝග ගණයට අයත් පැපොල රෝගය ද ආයුර්වේදයේ නම් වන්නේ සංක්‍රාමික රෝගයක් ලෙසය. නවින වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් අනුව වයිරස ඛාණ්ඩයට අයත් විෂබීජ ආසාදනය වීමෙන් මෙම රෝගය හට ගනී.
ජන සම්මත දේශීය ව්‍යවහාරයෙහි පැපොල, සරම්ප හා කම්මුල්ගාය ආදී සංක්‍රාමික රෝග ‘දෙයියන්ගේ ලෙඩ‘ නැතහොත් අම්මාවරුන්ගේ ලෙඩ ලෙස සලකයි. එම විශ්වාසයන්ට අනුව යම් කෙනකුට මෙම රෝගයක් වැලඳුණු විට ආරක්ෂාව පතා වහා කිරි අම්මාවරුන්ට බාරහාර වී සුව වූ විට කිරි අම්මාවරුන්ට කිරි දානයක් පිරිනමයි.
පැපොල රෝගියෙක් කහින විට, කිවිසුම් යවන විට සහ කතා කරන විට බැහැර වන බිඳිතිවලින් ලක්ෂ ගණනක් රෝග කාරක වයිරස බාහිර වාතය හා මුසු වී එම වාතය ආශ්වාස කරන කෙනකු ගේ ශ්වසන පද්ධතිය ඔස්සේ ආසාදනය වී රෝගය හටගැනීම බහුලව සිදුවන ක්‍රියා දාමයයි. මෙසේ ආසාදනය වී සති 2 – 4 දක්වා කාලය තුළ දී (බීජෞෂණ සමය) රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. බීජෞෂණ සමය දින 13 සිට 16 දක්වා වේ. රෝගය වැලඳුණ අයකුගෙන් තවත් අයකුට රෝගය බෝ වන්නේ රෝග ලක්ෂණ ආරම්භ වූ දිනයේ සිට දින 10ක් ගත වන තුරු කාලය තුළය. තවත් ලෙසකින් සඳහන් කළහොත් පැපොල බිබිලිවල කබලු ගැලවී යාම ඇරඹෙන දිනය දක්වා වූ කාලය තුළ ය.
රෝග ලක්ෂණ
පැපොල රෝගය බාල මහලු ඕනෑම වයසක අයකුට වැලඳිය හැකිය. ළමා වියේ වැලඳුණහොත් රෝග ලක්ෂණ ප්රබලව නොපෙන්වයි. තරුණ හා වැඩිහිටි වයස්වල දී වැලඳුණොත් රෝග ලක්ෂණ ප්රබලව පෙන්වයි. පැපොල රෝගය එතරම් බරපතල රෝගයක් නොවේ. දරුවන්ට ලබා දෙන එන්නත් අතරට පැපොල එන්නත ඇතුළත් කර නැත්තේ ද එබැවිනි.
රෝග ආරම්භයේ දී කෙනකුට උණ නැතිවත් තවත් කෙනකුට සුළු උණ ගතියක් සහිවත් තවත් අයෙකුට තද උණ ද ඇති විය හැකිය. රෝගයේ මුල්ම ලක්ෂණය වන්නේ දියර සහිත මැද උස්ව තනි කුහරයකින් යුතු කුඩා බිබිලි කිහිපයක් පපුව, බඩ යන ස්ථානවල හට ගැනීමයි. එසේ හට ගත් බිබිලි පැය 24ක් ඇතුළත මුහුණ ඇතුළු ශරීරය පුරාම පැතිරී යයි. ඇතැම්විට එක් තැනක පොකුරු වශයෙන් ද හටගනි. ඒ සමඟම ඇඟපත වේදනාව, හිසරදය, ආහාර අරුචිය යන ලක්ෂණ ද ඇති වේ. පැපොල බිබිලි කන තුළ මුඛය තුළ සහ යෝනි මාර්ගය තුළ ද හටගත හැකිය. පැපොල වයිරසය ශරීරගත වී දින 07ක් ගතවන විට ශරීරය තුළින්ම එයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවා වයිරසය විනාශ කර දමන හෙයින් රෝගය ආසාදනය වී දින 07ක දී රෝගය සුව වී යයි. එම දින 07 ගතවන විට දියර බිබිලි ද වියළි කබලු ගැලවී යයි. රෝගය ආරම්භ වී ගත වන මුල් දිනවලදී රෝගයේ සාමාන්‍ය ලක්ෂණවලට අමතරව පපුවේ සෙම ගතිය, කැස්ස, ශ්වසන අපහසුව, තද හිසරදය, වමනය වැනි සංකූලතා ඇතිවුවහොත් නොපමාව සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යය.
පැපොල බරපතළ රෝගයක් නොවුණ ද සහජ ප්‍රතිශක්තිය (ව්‍යාධි ක්ෂමත්වය) දුර්වල තරුණ පුද්ගලයන්, වැඩිහිටියන් දරුවන්, ගැබිනි මවුවරුන්, පිළිකා සහ ඒඩ්ස් රෝගීන් වැනි අයට පැපොල රෝගය වැලඳුණහොත් විවිධ සංකූලතා ඇති විය හැකිය. එම සංකූලතා අතරින් බොහෝ විට සිදු වන්නේ රෝග කාරක වයිරසය පෙණහලුවලට ආසාදනය වීමෙන් නියුමෝනියාව ද, මොළයට ආසාදනය වීමෙන් මොළයේ උණ රෝගය වැලඳීමයි. දියර බිබිලි කැඩී බැක්ටීරියා ආසාදනය වුවහොත් එම තුවාල පැසවීමට ද හැකිය.
පැපොල රෝගය වරක් වැලඳුණු කෙනෙක් තුළ එම වයිරසයට විරුද්ධව ගොඩනැගෙන ප්‍රතිදේහ තිබෙන නිසා පැපොල වයිරසය නැවත ආසාදනය වූවත් රෝගය හට නොගනී. නමුත් මුල් වරට පැපොල රෝගය හටගැනීමට හේතු වූ වයිරසයට මදක් හෝ වෙනස් පැපොල වයිරසයක් ආසාදනය වුවහොත් නැවත රෝගය වැලඳීමේ අවදානම තිබේ.
රෝගය පැතිරීම වළක්වා ගැනීම
රෝගියා නිවෙසේ අන් අයගෙන් වෙන් කර තැබිය යුතුය. හොඳින් වාතාශ්‍රය හා හිරුඑළිය ලැබෙන කාමරයක් වෙන් කර තැබීම සුදුසුය. සාත්තු සප්පායම් කිරීමට පැපොල රෝගය වරක් වැළඳුණු කෙනකුම යෙදවීම වඩාත් හිතකරය. මේ කාලයේදී නිවෙසට පිටස්තර අය පැමිණීම වැළැක්වීම හා නිවෙසේ සාමාජිකයන් බාහිර සමාජයේ ගැවසීම සීමා කිරීම ද ඉතා යහපත්ය.
මෙවැනි රෝග හටගත් අවස්ථාවල දී ශ්‍රී ලාංකේය ජනතාව පිළිගත් සමාජ සංස්කෘතික පිළිවෙතක් වශයෙන් ඉතා ඵලදායී නිරෝධායන ක්‍රම අනුගමනය කළ බව මෙහිදී සිහිපත් කිරීම වැදගත්ය. එවැනි රෝගියකු තම නිවෙසේ සිටින විටදී ඒ බව බාහිර සමාජයට සන්නිවේදනය කරන්නේ නිවෙසේ දොරකඩ සහ වත්තේ ඉණි කඩුල්ල අසල ගොක් රැහැන් ඇද තැබීමයි. එමෙන්ම අසල්වැසියන් විසින් එම නිවැසියන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් සොයා බලා ඒවා සපයා දෙනු ලබයි. එයින් බලාපොරොත්තු වූයේ එම නිවැසියන් බාහිර සමාජයේ ගැවසීම වැළැක්වීමයි. රෝගියා පරිහරණය කළ රෙදි පිළි හා වෙනත් උපකරණ දින 21ක් වෙන් කර තබා හොඳින් තම්බා වේළා ගැනීම යහපත්ය.
ප්‍රතිකර්ම
රෝගය වැලඳී සිටින කාලය තුළ දී ඇඳෙහි කොහොඹ කොළ අතුරා තැබීම, කාමරයේ කොහොඹ කොළ එල්ලා තැබීම ද සුදුසුය. එමෙන්ම දියර බිබිලි මත කොහොඹ කොළ අමු කහ සමඟ අඹරා ආලේප කිරීම ද ගුණය. ඖෂධීය පානයක් වශයෙන් පත්පාඩගම්, කොත්තමල්ලි රසකිඳ තම්බාගත් වතුර දවස පුරා වරින් වර පානය කිරීම ද ඉතා සුදුසුය.
එම කාලය තුළ තීක්ෂ්ණ උෂ්ණ කටුක ආහාර පාන ආදියෙන් සහ මස්මාංශ වලින් වැලකිය යුතුය. සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ දී අළු කෙසෙල්, අළු පුහුල්, මුගුණුවැන්න, ආහාරයට දීම අනුමත කරනු නොලැබේ. රෝගියාට තද වර්ණයෙන් යුතු ඇඳුම් පැළඳුම් භාවිතය උචිත නැත. සුදු ඇඳුම් වාඩාත් සුදුසුය. එම ඇඳුම් දිනපතා මාරු කළ යුතුය. සමේ ඇති කැළැල් මැකී යාම සඳහා ජලස්නානය ආරම්බ කිරීමෙන් පසු කැළැල් මත සීතෝදක තෛලය ආලේප කිරීමෙන් කැළැල් සම්පූර්ණයෙන්ම මැකී යයි.
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ. සේනාරත්න