අකලට හිසකෙස් ගැලවීම අද කාලයේ බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. ඊට හේතු කීපයකි. ප්‍රධානම හේතූ වන්නේ කෘත්‍රිම රූපලාවණ්‍ය විධි ලෙස හිසකෙස් රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වීම, හිසකෙස් “අයන් කිරීම” වැනි තත්ත්වය. ඇතැම් අයගේ හිසකෙස් ගැලවී යෑමට ක්ලෝරිනීකෘත ජලය ද හේතු වේ.
දේශගුණික හේතු මත ද හිස කෙස් ගැලවී යෑම සිදු වේ. නින්ද අඩුකම ද හිසකෙස් යෑමට හේතුවකි. වායු සමීකරණය කළ පරිසරවල ගත කිරීම, පීනස වැනි තත්ත්ව ද හිස කෙස් යෑමට බලපානු ලබයි. කුමණ ආකාරයට වූවත් අකලට හිසකෙස් ගැලවෙනවා නම් මෙම කසාය වට්ටෝරුවෙන් ඉතාම ඉහළ ප්‍රතිඵල ලැබේ.
1 කසාය
රතු ලූනු, ගොටුකොළ නැටි, වළඳසාල්, ඉඟුරු පියලිය අල කළං තුන බැගින් කිරා ගන්න. ඊට වතුර පත 08ක් දමා එක් පතකට සින්දවා ගෙන ඊට සීනි තේ හැඳි බාගයක් සහ මී පැණි තේ හැන්දක් දමා උදේට හිස්බඩ පානය කරන්න.
ඉතිරි බාගය ඒ ආකාරයෙන් සවසටත් බොන්න. මේ ආකාරයෙන් දින හයක් නොකඩවා මෙම කසාය පානය කරන්න. කසාය පානය කරන කාල සීමාව තුළ උෂ්ණාධික ආහාර ගැනීම ඉතාම නුසුදුසුය. සවස ස්නානය නොකළ යුතුය.
2 කසාය
පිටවක්කා මුල්, අරළු, ඉරිතේක්කු, සිබිය මුල්, තිප්පිලි, වියළි ඉඟුරු, වැල් තිබ්බටු මුල්, ආඩතෝඩා මුල්, රසකිඳ, ගම්මිරිස් ඇට, කලං එකයි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවාගන්න. ඊට සීනි තේ හැඳි බාගයක් සහ මී පැණි තේ හැන්දක් දමා උදේ හවස පානය කරන්න.
මෙම කසාය ද දින හයක් පානය කරන්න. මේ කසාය දෙක පානය කරන දින 12ක කාලය තුළ සබන් හෝ ෂැම්පො භාවිත නොකර මුංඇට පිටි වතුරට දියකර හිසට දමා හොඳින් හිස සොදා ස්නානය කරන්න. ක්ලෝරීන් නැති ජලය ස්නානය සඳහා භාවිත කරන්නේ නම් ඉතාම සුදුසුය.
මෙම කසාය වර්ග සුදුසු වන්නේ වයස 18 වැඩි අයටය.
පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීරප්පෙරුම