පසුගිය අගෝස්තු 29 දා සවස කොළඹ ආනන්දය ආනන්දනීය වූයේ විද්‍යාලයේ නිල ටයි පටියෙන් සැරසුණු ආදි ශිෂ්‍යයන් විශාල පිරිසක් එතැනට රැස් වූ නිසාය. ඔවුන් සියලු දෙනා විද්‍යාලයීය කුලරත්න ශාලාවේ රොද බැන්දේ කීර්තිමත් ආදි ආනන්දීයකු වූ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ ‘අග්‍රගණ්‍ය ආනන්දය’ පොතේ දොරට වැඩුමටය.
මේ පොත කොළඹ ආනන්ද විද්‍යාලයේ අවුරුදු 137 ක ඉතිහාසය පිළිබඳවය.එදා ඒ පොත ගැන කතා කළ සහන් රන්වලගේ කතාවේ එක තැනක, මගේ හිත තවමත් නතර වී තිබේ. ඒ එම ග්‍රන්ථයේ 349 වැනි පිටුවයි. මම එම සිදුවීමේ සක්‍රිය කොටස්කරුවකු වෙමි.
මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම ශිෂ්‍ය ඝාතනය සිදු වූයේ 1976 නොවැම්බර් 11 වැනිදාය. එදින ඝාතනය කෙරුණේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය රෝහණ වීරසූරියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවක උපකුලපති පී. එම්. විතානගේ මහතාට විරුද්ධව පැවති උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරකින් එම ඝාතනය සිදුවිය.
අපි එදා විද්‍යාලයේ ගේට්ටු බලහත්කාරයෙන් විවෘත කර ගනිමින් මරදාන පාරට පැන මහා කලබගෑනියක් ඇති කළෙමු.
මේ කතාවට නූතන අර්ථකථන සපයන්නට මට වුවමනාවක් නැත. නමුත් එදා අපට මඟ දැක්වූයේ විද්‍යාලයේ කෙළවරක වූ තාප්පයක් මත නැඟගත් “අයියා” කෙනෙකි. ඔහුගේ මුහුණ පුරා රැවුල වැවී තිබිණ. ඔහු සමග තවත් කිහිපදෙනෙක් සිටි බව මට මතකය. ඒ කිසිවෙක් අපේ විද්‍යාලයේ අය නොවේ.
වීරසූරිය ඝාතනය කළ පුවතත් සමඟ ඔහු කීවේ රජය නිදහස් අධ්‍යාපනය වළලා දැමීමට සූදානම් වන බවයි. අද මෙන් තොරතුරු ගලා එන මූලාශ්‍ර කිසිවක් එදා නැත. ඒ අයියා කියන විදිහට මහන්සි වී පාඩම් කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් අප කළ යුත්තේ රජය පෙරළා දැමීමය. ඒ නිසා පාරට පැන සියලු රජයේ වාහනවලට බාධා කළ යුතු යැයි අපි කල්පනා කළෙමු.
අපි විද්‍යාලයේ සියලුම ගේට්ටුවලින් පිටතට ආවෙමු. ඇතැම් අය තාප්පවලින් පැන්නෝය. පාරට එන විට ම කළු තෙල් ද, පාප්ප ද පෝස්ටර් ද අපට ලැබිණි. ඒවා කොහෙන් ලැබුණා දැයි මා දන්නේ නැත. අපි සියලුම රජයේ වාහන නතර කොට ඒවායේ කළු තෙල් ගෑවෙමු. අනතුරුව රජයට විරුද්ධව නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා වූ පෝස්ටර් ඇලවූයෙමු. පෝස්ටර් ඉක්මනින්ම අවසන් විය.
මරදාන පාරේ සෑම පොත් සාප්පුවක්ම, ඉතා නිර්ලෝභීව අපට ඩිමයි කොළ රෝල් පිටින් දුන්නෝය. පාසල ඉදිරිපිට වූ ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම කළු තෙල් ගැලුම් ගණන් ලැබිණ. ලස්සනට අකුරු ලියන්නට දන්නා ළමුන් හරි අපූරුවට සටන් පාට ඒවායේ ලිවූහ. බලහත්කාරයෙන් නතර කරමින් අපි ඒවා වාහන මත දිගින් දිගටම ඇලවීමු.
කවුරුන් හෝ කෙනෙක් අපූරු පෝස්ටරයක් නිර්මාණය කළේය. එහි තිබුණේ ‘ශ්‍රී ලංකාව පිරිසිදුව තබා ගමු’ යන ප්‍රකට ප්රචාරක පාඨයයි. චිත්‍රයට ඇඳ තිබුණේ කුණු කූඩයක් තුළ සිටින කිසියම් ආගමකට සම්බන්ධ හිස් වැසුමක් පැලැඳි පුද්ගලයෙකි.
එකල අධ්‍යාපන ඇමැතිවරයා අල්හාජ් බදියුදීන් මොහොමඩ් මහතාය. අපේ මිතුරෝ හැකි හැකි අයුරින් එය පිටපත් කර ලංගම බස් රථවල පිටිපස්සේ ඇලෙව්වෝය.
මගේ මතකයේ හැටියට අපට තිබූ ලොකුම වාසිය පාසල් නිල ඇඳුමයි. මේනිසා කිසිවෙකුත් අපට විරුද්ධ වන්නට හෝ පහර දෙන්නට ඉදිරිපත් වූයේ නැත.
මරදාන පොලිසියට අමතරව තව තවත් පොලිස් නිලධාරීන් කැඳවන්නට ඇත. පාරේ පොලිසිය පිරී සිටියේය. මා ඇතුළු කිහිප දෙනෙක් සිටිනා ස්ථානයට පැමිණි මහා තේජාන්විත පොලිස් නිලධාරියෙක් පිළිබඳ මට තවමත් මතකය. ඔහු පැමිණියේ ඒකාලේ තිබුණු දැවැන්ත මෝටර් සයිකලයකිනි. අප අතර සිටි කොලු ගැටයෙක් එක් වරම හෙමිහිට හූ හඬක් මතු කළේය. සැණෙකින් එය මහා හූ හඬක් බවට පත් විය. නිලධාරියා වහා මෝටර් සයිකලය හරවාගෙන ආපසු ගියේය. මා අසල සිටි මිතුරෙක් “යකෝ ඒ ඉන්ස්පෙක්ටර් ෂෝ” කියා කීවේය. අප බොහෝ දෙනෙක් ඒ නම අසා තිබිණ. ඉන්ස්පෙක්ටර් ෂෝ යනු ඔහුගේ අන්වර්ථ නාමයයි. ඔහු අපරාධ කරුවන් මෙල්ල කිරීමට සමත් ප්‍රකට පොලිස් නිලධාරියෙකි. “ෂෝ ටත් හූ කිව්වා’ යන්න කාලයක් තිස්සේ අප අතර පැවැති උදාන පාඨයකි.
අප සියලු දෙනා යළි පාසල තුළට යවන්නට පොලිසිය සෑහෙන උත්සාහයක් ගත්තේය. නවතා ඇති වාහන අතරින් අපහසුවෙන් රිංගා එන දැවැන්ත පොලිස් වාහනය මට තවමත් මැවී පෙනෙයි. බොනට්ටුව ඉදිරියට නෙරා ඇති පැරැණි බස් රථයක් බඳු එම වාහනයේ වහලය මත ලවුඩ්ස්පීකරයක් සවිකර තිබිණ. එතුළ සිටි පොලිස් නිලධාරියෙක් පාරෙන් ඉවත් වන ලෙස නිවේදනය කරයි.
කිසිවකුත් එයට සවන් දෙන බවක් නොපෙනේ. ඒ යුගය වන විටත් මට රේඩියෝ සහ ශබ්ද විකාශන කෙරෙහි උනන්දුවක් තිබිණි. කොහෙන්දෝ හොයාගත් ඇම්ලිෆයර්යක් එම රථය පිටුපස සවිකර තිබිණ. ලවුඩ්ස් පීකරය දක්වා වයරය වීදුරු ජනේලයෙන් පිටතට ගෙන තිබිණ.
මම උඩ පැන වයරයේ එල්ලෙන්නට උත්සාහ කෙළෙමි. නමුත් උස පැනීමේ දක්ෂ මගේ පාසල් සගයෙක් ඈත සිට දුවවිත් වයරයේ එල්ලී එය කඩා දැමුවේය. පොලිස් විකාශනය නැවතිණ. වාහනය ආපසු හැරී ගියේය.
මේ වනවිට මේ උද්ඝෝෂණය හෝ විරෝධතාව කවර හේතුවක් නිසා සිදුවන්නේ ද යන්න පිළිබඳවත් අපගේ මතකයේ තිබුණේ නැත. එය මා ඇතුළු පාසල් සිසුන්ට විනෝදයක්ය. වෙනදා වැඩි කතාබහක් නැති ශිෂ්‍යයෝ පවා පාරේ කෑ ගැසුවෝය. හූ කීවෝය. වාහන වල කළුතෙල් ගෑවෝය.
එක්වරම පාසලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස සිටි සිසුන්ගේ කෑකෝගැසීම නැවතිණ. මා හිටියේ පාරෙන් එහා පැත්තේය. විදුහල්පති ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ රුව උද්ඝෝෂක ළමුන් අතරින් පෙනේ. මතකයේ හැටියට එතුමා හිටියේ ගේට්ටු කණුවක් උඩ නැගලාය. එතුමා සියලු ළමුන් ප්‍රධාන ගේට්ටුව අසලට කැඳවීය. රාජපක්ෂ මහතාගේ පෞරුෂය ඉතා ප්රකටය. ළමුන් පන්දහසක් සිටි පාසල ඔහු පාලනය කළේ වේවැලක් හෝ කෝටු කෑල්ලක්වත් අතේ නැතිවය.
“ආනන්දය මේ වැඩේ දී ඉදිරියෙන්ම ඉන්න ඕනෑ. ඒක හරි. ඒත් මට පුතාලට කතා කරන්න දෙයක් තියෙනවා ඔක්කොම ඇතුළට එන්න.”
එතුමාගේ කීම අසා අපි සියල්ලෝ විදුහල ඇතුළට ගියෙමු. පුස්තකාල ගොඩනැගිල්ල ඉදිරියේ රැස්වීමක් සඳහා අප පෙළඑගස්වනු ලැබිණි.
විදුහල්පතිතුමා කිසිලෙසකින් අපට දෝෂාරෝපණය කළේ නැත. එතුමාගේ කතාව දිගය. එතුමා කීවේ මේ වැඩේ දී පෙරමුණ ගත යුතු බවත්, තවදුරටත් කරුණු සොයා බලා ,සියලු පාසල් සමඟ මෙම කාර්යයට පිවිසිය යුතු බවත්ය. එය අප විසින් කළ යුත්තක් නම් කවුරු නැතත් තමන් ඉදිරිපත් වන බව ද එතුමා කීවේය.
ප්‍රින්සිපල් සර්රුත් අපේ පැත්තට ඉන්නවා නම් අපි කාටවත් බය විය යුතු නැතැයි අපට සිතිණි. එහෙත් විදුහල්පතිතුමාගේ කතාව අවසන් වන විට විද්‍යාලයේ සියලු ගේට්ටු වසා දමා, ඒවාට කවදාවත් දැකලා නැති තරමේ ලොකු දම්වැල් සමඟ විශාල ප්‍රමාණයේ ඉබ්බෝ දමා තිබිණ. අප සියලු දෙනා පාසල් භූමිය තුළට කොටුවෙලාය. මට හිතුණේ විදුහල්පතිතුමා උපක්රමශීලීව අප කොටු කළා කියලා.
ආනන්දයේ විදුහල්පතිතුමාත් රාජ්‍යවිරෝධී උද්ඝෝෂණයකට සහාය දැක්වූ බවට විවිධ අය චෝදනා කරන්නට උත්සාහ කළහ. බාහිර ලෝකය පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති නොමේරූ සිත්වලට වියරු හැඟීම් ඇතුල්කර තම අරමුණ කරා යොමු කරගන්නට සංවිධානගත පිරිස්වලට හැකිය.
ඒත් එම උද්ඝෝෂණයේ කොටස්කරුවෙකු වූ මට හිතුණේ පොලිස් හමුදාවකටවත් කරන්න බැරි වූ දේ විදුහල්පතිතුමා තරුණ හිත් නොතළා උපක්රමශීලීව සිදු කළ බවය. එබඳු චරිත තව තව බිහිවන්නට නම් පින් කළ දැයක් වුවමනාය.