ජාතික රාජ්‍යයන් මෙන්ම රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයන් ද (Non-state actors) සන්නද්ධ අරගල, සිවිල් අරගල ජාත්‍යන්තරීකරණය වූ මහා යුධ ගැටුම් බවට පරිවර්තනය කොට ගනු ලබන්නේ නිරායාසයෙනි. යේමන හවුතීන් (Houthi) වූ කලී ද උතුරු යේමනයේ පවතින රාජ්‍ය පාලනයට එරෙහිව ආරම්භයේ දී ගරිල්ලා සටන්කාමීන් ලෙස ඉතා ප්‍රාථමික ආකාරයකින් සංවිධානය වූ ජන කොට්ඨාසයකි. හවුතීන් යේමනයේ (Zaydi) ආගමික කණ්ඩායමක් ලෙස ආරම්භයේ දී ජාත්‍යන්තර ප්‍රජාව හඳුනා ගනු ලැබීය. නමුත් පසුව ක්‍රමිකව යේමන හවුතීන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙස වර්ධනය වූ අතර ඔවුන් ගරිල්ලා යුධ ක්රමයේ සිට නවීන ඩ්‍රෝන යුධ මාවතට පිවිස ඇත.
යේමන සිවිල් යුද්ධයේ පසුබිම
යේමන රාජ්‍යය අභ්‍යන්තරයෙන් මතු වූ හවුතී කැරලිකරුවන් අද වන විට ඉතාම බලවත් වපසරියක ස්වකීය යුධ මෙහෙයුම් ව්‍යාප්ත කොට ඇත. 2014 යේමන සිවිල් යුද්ධය ආරම්භ වූයේ ගෝත්‍රික වර්ගයන් 400ක පමණ විවිධත්වයකින් හෙබි යේමනයේ හවුතී (Houthi) නම් ජන කොට්ඨාසයක සංවිධානගත වීමෙන් වන අතර, මොවුන් ෂීට් ඉස්ලාමික ආගමික පසුබිමක් හෙබි අතර, පවතින පාලක සුන්නි රජයට එරෙහිව, යේමන අගනුවර වූ සානා (Sanaa) හි පාලනය අත්පත් කරගැනීම අරභයා මූලිකව සටන් වැදුණු පාර්ශ්වයකි.
හවුතීන් පවතින තෙල්මිල අඩු කරන ලෙසත්, නව රජයක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ලමින් සිවිල් යුධ තත්ත්වයක් ආරම්භ කරනු ලැබීය. හවුතීන් යේමන ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අතර, 2015 දී යේමන ජනාධිපති Abd Rabbu Mansour Hadi හා ඔහුගේ රජය පැවති ආතතිමය තත්ත්වය හමුවේ ඉල්ලා අස්වනු ලැබීය. මේ ආකාරයෙන් හවුතීන්, රාජ්‍ය පාලනයට බාධාකිරීමත් සමඟ 2015 දී යේමන දේශපාලනික තත්ත්වය සලකා බැලූ ගල්ෆ් රාජ්‍ය සංසදය තත්ත්වය පාලනය කිරීමේ ඇති දුෂ්කරතාවය සලකමින්, යේමන රාජ්‍යය ආර්ථික වශයෙන් හුදකලා කිරීමක් කරනු ලැබූ අතර හවුති කැරලිකරුවන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙම ගල්ෆ් රාජ්‍ය සංසදයේ නායකත්වය ගනු ලැබුවේ සවුදි අරාබිය වූ අතර හවුතීන්ට එරෙහිව දියත් කරනු ලැබූ ප්‍රහාර හා මෙහෙයුම්වලට එක්සත් ජනපද බුද්ධිමය සහාය ද ගල්ෆ් සංසදයට එවකට හිමි විය. ඉරානයේ සහය සීට් හවුතීන්ට ලැබීම සවුදි අරාබියේ අප්‍රසාදයට හේතු වූ අතර, ඔවුන් හවුතීන්ට, ඉරානයේ සහාය ලැබීම වැළැක්වීමේ අරමුණින් නාවුක බාධකයක් ද යොදනු ලැබීය. යේමන අර්බුදයට කලාපීය මැදිහත්වීම හේතුවෙන් අවසානයේ දී යේමනයේ ෂියා හා සුන්නි වශයෙන් පුළුල් බෙදිමක් සිදු වී පැවති ආතතිමය තත්ත්වය තවත් උත්සන්න වූ බව පැවසුවහොත් එය නිවැරදිය.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුගත වාර්තාවලට අනුව 2016-2022 කාල පරාසය තුළ යේමන වැසියන් 377000ක් පමණ මිය ගොස් ඇති අතර, ඉතා දරුණු මානුෂීය අර්බුද, ප්රචණ්ඩත්වයන් යේමනය තුළ උද්ගත වී ඇත. සිවිල් යුධ උණුසුමක් ලෙස ඇරඹී යේමන අර්බුදය, මේ වන විට මහාපරිමාණ යුධ ගැටුමක් බවට පරිවර්තනය වී ඇත. ඊශ්‍රායලයට එරෙහිව යේමන හවුතීන්ගේ එල්ල කරන ප්‍රහාර හා මෙහෙයුම් පිළිබඳ ඔවුන් පවසන්නේ එම තත්ත්වය ඊශ්‍රායල – හමාස් ගැටුමට ඔවුන් දක්වන සහායක් ලෙසයි. අර්බුදය හේතුවෙන් ඉතාම දරුණු ආර්ථික කඩා වැටීමක් ඇති යේමන රාජ්‍යය අද වන විට දරිද්‍රතාවයේ පහළටම වැටී ඇති රාජ්‍යයක් බවට පත් වී ඇත.
හවුතීන්ගේ ඩ්‍රෝන යුධ ක්රමයේ වර්ධනය
නවීන යුධ පිටිය මහා විනාශකාරී ස්වරූපයකට යොමු කළ සන්නද්ධ ඩ්‍රෝන යුධ ක්‍රමය (Armed Drone war fare) හවුතීන්ට තවදුරටත් නව ක්‍රමයක් නොවේ. හවුතීන් ඩ්‍රෝන තාක්ෂණයට අලුත් වුවද ඔවුන් මේ වන විට ඩ්‍රෝන යුධ ක්රමයේ ඉදිරිපෙළ සිටින සටන්කාමීන් බවට පත්වී හා ඒ බව ජාත්‍යන්තර ගැටුම් හමුවේ ඔප්පු කොට ද හමාරය. ඩ්‍රෝන යුධ ක්‍රමය නවීන හමුදා උපාය මාර්ගික හා ගැටුම්වල ප්‍රමුඛතම ස්වරූපය බවට පත් වී ඇත. බහුවිධ ගැටුම්වල ආයුධ සන්නද්ධ ඩ්‍රෝන ප්‍රහාර (Armed Drone attacks), ඩ්‍රෝන මෙහෙයුම් හුවමාරුව අදහාගත නොහැකි තරම්ය. 2 වන ලෝක යුද්ධයෙන් පසු මානව සංහතියේ දරුණුතම යුද්ධය ලෙස රාජ්‍යතාන්ත්‍රික හා යුධමය විශ්ලේෂකයන් හඳුන්වනු ලබන තවමත් නොවිසඳුනු රුසියන් – යුක්රේන යුද්ධය ද විස්තර වී ඇත්තේ, එය ගිනිජාලා පතිත කරමින් දෙපාර්ශ්වය විසින් ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු කරගනු ලබන දරුණුතම යුධ ගැටුමක් ලෙසයි. අනෙක් අතින් ලෙබනන් හිස්බුල්ලා හා ඊශ්‍රායල ගැටුම ද නවීන ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යුධ ක්‍රමය අති භයානක ස්වරූපය මැනවින් විදහා දක්වන්නකි. මේ වන විට යේමන හවුතීන් ද නවීන යුධ උපක්‍රමයක් ලෙස ඩ්‍රෝන තාක්ෂණයේ ඉහළම ස්වරූපය ප්‍රායෝගිකව හොඳින්ම භාවිත කරන පිරිසක් බවට පත්ව ඇත.
යේමන කඳුකර පළාතක සංවිධානය වූ හවුති කැරලිකරුවන් මේ වන විට ඩ්‍රෝන තාක්ෂණය, ඩ්‍රෝන උපාංග, ඩ්‍රෝන මෙහෙයුම් මේ අයුරින් භාවිතය පිටුපස ඔවුන් ඉරානයෙන් සහාය ලබන බව විදෙස් යුද විශ්ලේෂකයන්ගේ මතය වී ඇත. ගෝලීය සන්නද්ධ අරගල අභිමුඛ ඩ්‍රෝන යුද ක්‍රමය කෙතරම් පුළුල් පරාසයක විසිරී පැතිරී ඇති ද යත් 2010 වන විට සන්නද්ධ ඩ්‍රෝන හිමිකාරීත්වය තිබුණේ ලෝකයේ රාජ්‍යයන් 3 කට පමණි. නමුත් 2024 වන විට එම ප්‍රමාණය රටවල් 40ක් දක්වා වර්ධනය වී ඇත. ඇත්තෙන්ම හවුතීන් ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ විශ්වාසනීයම ලෙසම අවතීරණය වූයේ, 2018 පටන් වන අතර, එතැන් පටන් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වූ ඩ්‍රෝන තාක්ෂණික යුධ ක්රමයේ උපායමාර්ගික වර්ධනය කෙතරම් ද යත්, යේමන අර්බුදයේ ගමන් පථයට හවුතිගේ ඩ්‍රෝන යුධ ක්රමික උපාය මාර්ගය, සැලකිය යුතු අන්දමේ බලපෑමක් එල්ල කරනු ලැබීය.
හවුතීන්ගේ නාවික ඩ්‍රෝන යුධ උපාය මාර්ගික ක්‍රමවේදය
යේමන හවුතීන් ජාත්‍යන්තර ප්‍රජාව අතර ප්රමුඛ වශයෙන් ම ප්‍රකට වූයේ ඔවුන්ගේ නාවුක උපායමාර්ගයේ ඇති ප්රචණ්ඩ ස්වරූපය නිසාවෙනි.
එක්සත් ජනපද අද්මිරාල් කූපර් (cooper) වැඩි දුරටත් පවසා ඇත්තේ 2023 මාර්තු මුල් භාගයේ දී පමණක් හවුතී කැරලිකරුවන් රතු මුහුද අවට නාවුක කලාපයේ ඩ්‍රෝන 28ක් පමණ දිනකට පතිත කළ බවයි. කදුකර ප්‍රදේශයක ඉතා ප්‍රාථමික අයුරින් ගරිල්ලා යුධ ක්‍රමයක් ප්‍රගුණ කළ හවුතීන් මේ වන විට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම විවිධ උපායමාර්ගික පැතිකඩයන් ඔස්සේ බලාත්මක විය හැකි සංස්ථිති (Entity) බවට පත්වීම, නවීන යුධ ක්රමයේ ආශ්චර්යයක් ද නැතිනම් මානව වර්ගයා ප්‍රචණ්ඩකාරී මාවතක් ඔස්සේ ස්වකීය ඉදිරි ගමන පෙළ ගස්වා ගැනීමට දරන ප්රයත්නයක් ද යන්න විමසා බැලීය යුතුය.
ඇ. එ. ජනපදය මේ වන විටත් භාවිතා කරනු ලබන්නේ සම්ප්‍රදායික නාවුක උපායමාර්ගික ප්‍රවේශය ලෙස සඳහන් වේ. අනෙක් අතින් ප්‍රංශයෙන් ආරම්භ වූ තරුණ පාසල මඟින් නාවික යුද්ධය සඳහා ඉදිරිපත් කරන ලද අනෙක් ප්රවේශයයි. එනම්, සාම්ප්‍රදායික නැව් කටයුතු අවහිර කිරීමේ අභිප්‍රායෙන් අවි ආයුධ වලින් සන්නද්ධ කුඩා ටෝර්පිඩෝ යාත්‍රා භාවිත කිරීමයි. වාණිජ අභිලාෂයෙන් නැව් කටයුතු සිදුකරනු ලබන සාම්ප්‍රදායික නැව්වලට ඉතා ඉක්මනින් යුද ප්‍රහාර එල්ල කිරීමට සමත් මේ ප්‍රංශ Jeune Ecole ප්‍රවේශය අනුගමනය කිරීම හවුතීන්ගේ නාවුක උපායමාර්ගය බව ගෝලීය නාවුක විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.
හවුතී නාවුක උපායමාර්ගික ඩ්‍රෝන භාවිතය ඔවුන්ගේ රොකට් හා මිසයිල ප්‍රහාර අභිබවා ඉදිරියෙන් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
පසුගිය දශකයන්වල ජාත්‍යන්තර නාවුක පරිසරය ස්ථාවර බවින්, ගතිකත්වයන්වලින් නිදහස්ව පවතින බව බාහිරින් පෙන්නුම් කළ ද නාවික යුධ ක්‍රමය, එම වපසරිය තුළ අපැහැදිලි ලෙස පැවතුණා මිස මුළුමනින්ම වියැකී යාමක් නොවුණු බව ප්රත්යක්ෂ වන හොඳම නිදසුනක් ලෙස අපට හවුතී කැරලිකරුවන්ගේ රතු මුහුද අවට ගෙනයන වත්මන් මහා පරිමාණ නාවුක යුධ උපායමාර්ගික ඩ්‍රෝන ප්‍රහාර හා ක්‍රමවේදය ඔස්සේ හොඳින්ම පිළිබිඹු වේ.
2024 ජනවාරි 12 වෙනිදා පටන් ඔස්ට්‍රේලියාව, බහරේන්, කැනඩාව හා ඩෙන්මාර්කය යන රටවල සහයෝගයෙන් ඇ. එ. ජනපදය හා බ්‍රිතාන්‍යය ඒකාබද්ධතාවයෙන්, රතු මුහුදු අවට සාගර කලාපයේ නොනවත්වාම සිදුවන හවුති ප්රහාරයන්ට එරෙහිව කෘෂ් මිසයිල හා ගුවන් මෙහෙයුම් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම Operation Poseidon Archer යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙම ඒකාබද්ධ මෙහෙයුමට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද යේමන හවුතීන්ගේ රතු මුහුද මෙහෙයුම් හෙළා දකිනු ලැබීය. ජාත්‍යන්තර සාමයට සහජීවනයට මොනයම් ආකාරයකින් හා මොනයම් පැතිකඩයන් ඔස්සේ සිදුවන ඕනෑම ක්‍රියාවන් හෙළා දැකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලබන ප්‍රධානතම ක්‍රියාවකි.
යේමන රාජ්‍යයේ පවතින ඛේදජනක තත්ත්වය සලකමින් එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් එහි මාස 6ක පමණ කාලයක සටන් විරාමයක් 2022 පටන් ඇරඹී අතර, යේමන ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයම එම වකවානුවේ දී ඉහළ ආතතිමය තත්ත්වයකින් යුතු ගැටුම්කාරී ක්‍රියාවන්ට යාමෙන් වලකිනු ලැබීය. 2023 අප්‍රේල් වල දී ඕමාන් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සවුදි හා හවුති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම අර්බුදය පිළිබඳ මැදිහගත්කරණ සාකච්ඡා ඉදිරියට ගෙන යනු ලැබීය. නමුත් මේ සම්බන්ධ සාකච්ඡා ශක්තිමත් වර්ධනයක් නොපෙන්වූ අතර, යේමනයේ රදවා සිටි විදේශ බලඇනි ද එරටින් පිට වී යාමට කටයුතු කරනු ලැබීය. සාකා අගනුවරින් බාහිරව පිහිටි වෙළඳ ගුවන් පථ පමණක් විවෘත කරනු ලැබීය. 2022 සැප්තැම්බර් පමණ වන විට නැවතත් ඩ්‍රෝන යුද ක්රමයේ ප්‍රමුඛයන් වී සිටි හවුති කැරලිකරුවන් ගල්ෆ් සංසදයේ බහරේන් නියෝජිතයන් 4 දෙනෙකු පමණ හවුති ඩ්‍රෝන ප්‍රහාරවලින් මිය ගියේය. හවුති කැරලිකරුවන් කොතරම් විශ්මිත අයුරින් නවීන යුධ ක්‍රමවලට, යුද භූමියට අන්තර්ග්‍රහණය වී තිබුණේ ද යන්න මින් හොඳින්ම ප්රත්යක්ෂ වේ.
2023 පටන් ඊශ්‍රායල් – හමාස් ගාසා ගැටුමට එක් වූ හවුතී කැරලිකරුවන් ඊශ්‍රායලයේ Tel-Aviv ප්‍රදේශයට එල්ල කරනු ලැබූ මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ඔවුන් නවීන යුධ භූමියට ඉදිරි පෙළ සටන්කාමීන් බව සමස්ත ලෝකයටම මනාව ප්‍රදර්ශනය කරනු ලැබීය. නමුත් මෙම තත්ත්වය මහා යුධ ජයග්‍රහණයක් ලෙස කිසිවෙකු හෝ විශ්ලේෂණය කරනවා නම්, එය කිසිසේත්ම පිළිගත නොහැති තත්ත්වයකි. ඒ මන්දයත් යුද්ධය කිසිදු අර්බුදයකට සුභවාදී දෙයක් නොවීමය.
2024 අගෝස්තු 24 දා හවුතීන් රතු මුහුදු අවට නාවික ප්‍රහාර කෙතරම් දුරට උච්චස්ථානයට පත්කොට ඇති ද යත්, ග්‍රීක ධජය රැගත් ග්‍රීසියට අයත් “Sounion” නම් බොරතෙල් ලීටර් 150000ක් රැගත් වෙළඳ නෞකාවකට ඔවුහු විශාල ප්‍රහාරයක් දියත් කළහ. මේ සෑම ක්‍රියාවක් තුළම ගැබ්ව ඇති මහා අවාසනාවන්ත, යථාර්ථය වන්නේ ලෝකය නවීන යුධ උපයාමාර්ගික ප්‍රවේශය තමන්ට රිසි රිසි අත්තනෝමතික භාවිත කොට මානව සංහතියේම අභාග්‍යය ළංකරන බවයි. අනෙක් අතින් මෙවැනි අනතුරුදායක කලාපයකට ස්වකීය කාර්යමණ්ඩලය යැවීම පිළිබඳ නැව් සමාගම් හිමිකරුවන් සම්බන්ධයෙන් විදෙස් විචාරකයින් පළකළ අදහසක් වූයේ, ස්වකීය ආර්ථික වාසි ගැන පමණක් සලකා නැව්වල සේවය කරන තමන්ගේ කාර්යය මණ්ඩලයන් මේ ආකාර ගිනි දැල්වෙන කලාප හරහා ගමනාගමනය කරවීම ඉතා බලවත් වරදක් බවයි. මනුෂ්‍ය ජීවිත අනතුරේ හෙළීමක් බවයි. මෙම සියලු කාරණා ගොනු කළ විට පෙනී යන්නේ යේමන හවුතීන් නාවුක උපායමාර්ගික යුධ ක්‍රමය, ඩ්‍රෝන තාක්ෂණය ආදි සියලු ආකාර නවීන යුධ ක්‍රම රිසි සේ භාවිත කරමින් භූදේශපාලනය, යුද්ධ භූමිය මත පාලනයකින් තොරව හැසිරෙන්නා වූ මහා රංගධරයන් බවට පත් වඇති බවයි.
Sounion නැවේ තෙල් කාන්දුවීම හේතුවෙන් විශාල සාමුද්‍රික පාරිසරික හානියක් වී ඇති බව එක්සත් ජනපද පෙන්ටගනය නිවේදනය කොට ඇත. ටොන් 150000ක බොරතෙල් ප්‍රවාහනය කළ මෙම නැවට හානි පැමිණවීම සුළුවෙන් තැකිය නොහැකි බවත්, කලාපීය හා ගෝලීය වෙළදාම අස්ථාවර කිරීම මෙමගින් අරමුණු කොට ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශයට පත් කර ඇත. පෙන්ටගන් ප්‍රකාශක ගුවන් හමුදා මේජර් ජනරාල් Patrick Ryder වැඩිදුර අදහස් දක්වමින් පවසා ඇත්තේ, Sounion නෞකාවේ සහායට තුන්වන පාර්ශ්වයක් යැවීම සිදුකළ ද ඔවුන්ට ද හවුතීන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
යේමන හවුතීන් ගරිල්ලා යුධ ක්‍රමයෙන් යුධ භූමියට අවතීරණ වූ සටන්කාමීන්ය. නමුත් අද වන විට ඔවුන්ගේ යුධ ප්‍රහාරාත්මක හරඹය, මැද පෙරදිග කලාපයේ ශක්තිමත්ම හමුදාව ඉලක්ක කරගෙන ඇති ආකාරය විස්මිතය. පසු ගිය ඉරුදින (සැප්. 15) හවුතීන් (Houthi) මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කළ නවීනතම අධිධ්වනික බැලස්ටික් මිසයිල (Hypersonic Ballistic Missile) ප්‍රහාරය මීට සාක්ෂි දරයි. හවුතින් මේ ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ, මේ සියලු ආකාර මෙහෙයුම් පලස්තීනුවන්ගේ සහභෝගීතාව උදෙසා ඔවුන් කරනු ලබන බවයි. නමුත් ඊශ්‍රායල අගමැති නතෙනියාහු ඉතා දැඩිව ප්‍රකාශ කොට ඇත්තේ යේමන හවුතීන්ට ඉතා ප්‍රබල වන්දියක් (Heavy Prince) ගෙවීමට සිදු වන බවයි. මේ සෑම ක්‍රියාවක්ම ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ‘අත්තනෝමතික බල හැසිරවීම’ මිස අන් කවරක්ද?
පී. ආර්. දුෂාන්ති සිල්වා