Home » මම පටන් ගත්තේ පිඟන් සංස්ථාවේ නුපු­හුණු කම්ක­රු­වෙක් විදි­යට

මම පටන් ගත්තේ පිඟන් සංස්ථාවේ නුපු­හුණු කම්ක­රු­වෙක් විදි­යට

අජිත් මොහාන් පෙරේරා 'මහ කුඹලා' හෙවත් Master Potter

by gayana
September 21, 2024 12:30 am 0 comment

මහ කුඹලා හෙවත් අජිත් මොහාන් පෙරේරා යනු, එක් සමාජ කොට­ස­කට පම­ණක් කොටු වූ ලංකාවේ මැටි කර්මා­න්තය වෙනම තල­ය­කට ගෙනා මනු­ස්ස­යෙකි.

මහ කුඹ­ලා­ගෙන් ගත හැකි පළමු  පාඩම නම් ගොඩ යනවා නම්, මැටි­ව­ලින් වුණත් ඕනෑ තරම් අවස්ථා තිබෙන බව ය. තමන්ට අවශ්‍ය දැනුම කොහෙන් හෝ හොයා­ගෙන තමන්ගේ රටේ පැරැණි කර්මා­න්ත­යක් ජාත්‍ය­න්තර මට්ට­මට රැගෙන ගිය ඔහු, ඒ ‘ගේම’ ගහපු විදිය ම ආද­ර්ශ­යකි. එප­ම­ණක් නොව දුප්පත් කර්මා­න්ත­යක් යැයි අපේ රටේ හංවඩු ගසා තිබෙන කුඹල් කර්මා­න්ත­යෙන් ඉපැ­යිය හැකි නව මංපෙත් කියා දෙන්නකි.

මේ ඔහුගේ කතා­වයි

 

ඇයි ඔබට ‘මහ කුඹලා’ කියන්නේ…

මම නිර්මා­ණ­ක­රු­වෙක්, සිහින දකි­න්නෙක් සහ සංකල්ප ගොඩ­න­ඟ­න්නෙක්. ඒ සිහින, ඒ සංකල්ප හැම­තැ­නම සිටුවා වවා­ගෙන ඒවා ප්‍රාග්ධ­නය කර යථා­ර්ථ­යක් බවට පත් කිරී­මයි මගේ විශේ­ෂ­ත්වය. මේ ජය­ග්‍ර­හණ එහි ප්‍රති­ඵල.

මහ කුඹලා හෙවත් “Master Potter” කිය­න්නෙත් ලෝකයා මට දීපු නම. අනික, උප­දින කොට අම්මලා තාත්තලා දාපු නමට අම­ත­රව ජීවත් වන රටේ ජන­තාව විසි­නුත් නමක් දෙනවා නම් ඒක දෙම­වු­පියෝ දීපු නම­ටත් වඩා වටි­නවා. මිනිස්සු එහෙම නමක් නිකම්ම දෙන්නේ නැහැ. ඒකට විශේෂ හේතු­වක් තිබෙ­න්නට ඕනේ.

ඇත්ත­ටම මොකක්ද ඒ හේතුව…

ඒ හේතුව මම මැටි කර්මා­න්තයේ හිඳීම ම නෙවෙයි. මේ රටේ මැටි හා කුඹල් කර්මා­න්තයේ මහා පරි­මා­ණ­යෙන් යෙදෙන නිසාත් නෙවෙයි. එහෙම නම් ටයිල් සහ පිඟන් කර්මා­න්ත­ශාලා කරන අය ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒවායේ මහ කුඹ­ලෙක් නැහැ. ඒ නම මට හැදෙන්නේ ඒ වෘත්ති­යට ලෝකයේ තිබෙන පිළි­ගැ­නීම එකතු කරලා, ඒ වෘත්තිය හරහා මම රට වෙනු­වෙන් කළ මැදි­හත් වීම හේතු­වෙන්.

මොකද, ලංකාවේ ගොඩ යන්න නම් එක්කෝ ඩොක්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් රට යන්න ඕනේ කියලා මත­යක් තියෙ­නවා. නමුත් මම, ගොඩ යන එකාට මැටිත් ඇති කියලා පෙන්නපු මනු­ස්ස­යෙක්.

කුඹල් කර්මා­න්ත­යට ඔය කියන තරම් පිළි­ගැ­නී­මක් ලෝකේ තිබෙ­න­වාද…

ඉන්දි­යාවේ මැටි නිර්මා­ණ­ක­රුවා ‘ප්‍රජා­පති’. පිට­ර­ටදී Potter. ලංකා­වේදී මැටි­ව­ලින් මොනවා හරි කරන හැමෝම කුඹල්ලු. අපේ රටේ කුඹල්ලු බොහෝ වෙලා­වට හදන්නේ වළං, කර මූඩි, කළගෙඩි, ගුරු­ලේත්තු වගේ  කිහි­ප­යක් විත­රයි. නමුත් ලෝකේ කාර්මික විප්ල­ව­යට අවු­රුදු දහස් ගණ­න­කට එපිට පටන් අති­ශය නිර්මා­ණ­ශීලී සුන්දර මැටි කර්මා­න්ත­යක් තිබුණා.

Studio Ceramics කියන්නේ ලෝකයේ තිබෙන, දාර්ශ­නි­ක­යන් බඳු මිනි­සුන් නිර්මා­ණ­ක­රු­වන් වූ, එක­කින් එකක් පම­ණක් බිහි­වන, අති­ශය ඉහළ මිලක් සහිත නිද­හස් ආරේ කුඹල් කර්මා­න්ත­යක්. මම යෙදී ඉන්නේ ඒ සුවි­ශේෂී කුඹල් කර්මා­න්තයේ. අපේ රටට එන සුද්ද­න්ටත් මම ඒ දේ උග­න්ව­නවා. එය අත්විඳි විදේ­ශි­ක­යන් නැවත නැව­තත් ලංකා­වට පැමිණි විට අපේ උඩ­ව­ලවේ හෝට­ල­යට පැමි­ණෙ­නවා. Craft Tourism කියන්නේ ලෝකයේ පිළි­ගත්  සංචා­රක ආක­ර්ෂ­ණ­යක්. මං එය අපේ රටේ සංචා­රක කර්මා­න්ත­යට හඳුන්වා දී තිබෙ­නවා.

ඔබ පාර­ම්ප­රික කුඹ­ලෙක් ද…

කිසි­සේත් නැහැ. ළම­යෙක් හැටි­යට මා තුළ තිබුණු චිත්‍ර කර්මය ගෑවුණු යම් කුස­ල­තා­වක් නිසා මේ ගමන ආවා. හැබැයි මගේ පළමු රස්සාව බේක­රි­යක වුණා නම් අද මම හොඳ බක්කරේ කෙනෙක්. ගරාජ් එක­කට ගියා නම් මම අද හොඳ ගරාජ් බාස් කෙනෙක්. වැටුණු තැන හොඳින් පැළ වෙන්න මට පුළු­වන්. ඒක මේ මිහි­ත­ලයේ සෑම මනු­ෂ්‍ය­ය­කු­ටම සොබා දහ­මින් ලැබෙන Survival Technique එකක්. ඒ කියන්නේ  පැවැත්ම සඳහා ලැබෙන යම් තාක්ෂ­ණික කුස­ල­තා­වක්. එය හඳුනා ගැනී­මයි වැද­ගත්. අනෙක් මිනි­ස්සුත් මං වගේ නොවෙන්න හේතුව තමයි මේ රටේ අධ්‍යා­පන පද්ධ­ති­යෙන් ඒ හැකි­යාව අයින් කර තිබීම. ඒ කියන්නේ Power of Intuition, නැත්නම් බුද්ධියේ බලය. මේක දශක කිහි­ප­යක් තිස්සේ අධ්‍යා­ප­න­යෙන් කපා දාලා තිබෙන දෙයක්. මම අධ්‍යා­ප­න­යට එත­රම් උන­න්දු­වක් දක්වපු නැති නිසා මම ඒ දේ යළි උකහා ගත්තා. සම්ප්‍ර­දා­යික ක්‍රම­යෙන් බැහැ­රව හිතන්න පුරුදු වුණා.

මේ රටේ මැටි කර්මා­න්තයේ  යෙදෙන බහු­ත­රය දුප්ප­තුන් වෙද්දී, ඔබ විත­රක් පොහො­සත් වුණේ කොහො­මද…

 කුඹල් කර්මා­න්තය කියන්නේ ලංකාවේ කෘෂි­ක­ර්මා­න්ත­යට පම­ණක් දෙවැනි ව තිබූ විශා­ලම කර්මා­න්ත­යක්. එය වෘත්තීය කර ගත් පාර­ම්ප­රික ජන­තා­වක් ගම්මාන පිටින් ජීවත් වනවා. ඔවුන් වෙනම කුල­ක­ය­කට සීමා කරලා. කර්මා­න්ත­යෙන්, සිතු­විලිවලින් පරි­ණා­මය නොවූ ජන­තා­ව­කගේ තත්ත්ව­යට ඇද  වැටිලා. ඒ නිසා ම ඉතා අස­රණ දුගී දුප්පත් තැන­කට තල්ලු වෙලා. මේ කර්මා­න්ත­යට එහෙම වෙන්න බලපෑ ලොකුම හේතුව තමයි මේකෙ තිබෙන දේශ­පා­ල­නික විනා­ශය. රටක අධ්‍යා­ප­නය බැඳී තිබෙන්නේ දේශ­පා­ල­නික තීන්දු තීරණ මත. රටක් බංකො­ලොත් වෙලා ආර්ථික පරි­හා­නි­යට පත් වෙන්න බර­ප­ත­ළම බල­පෑම් ඇති කරන්නේ දේශ­පා­ල­නය. ලංකාවේ කුඹ­ල්ක­රු­වන් පරි­ණා­මය නොවී දුප්ප­තුන් ලෙසම ජීවත් වෙන්නට හේතු ලෙස මේ ක්‍රමය ඉතා දැඩිව බලපා තිබෙ­නවා.

මම කුඹල් කර්මා­න්තය තුළ මගේම ක්‍රම­යක් අත්හදා බලපු කෙනෙක්. සම්ප්‍ර­දාය කඩා­ගෙන ඉදි­රි­යට ගිය කෙනෙක්. ඔබ දන්න­වද, මගේ කුඹල් කර්මා­න්තයේ හැදෙන මිල අධික පිඟන් කෝප්ප බොහෝ තරු හෝටල් මිලට ගන්නවා. ඊළඟ වසර කිහි­පය තුළ, කාර්මික විප්ල­ව­යට කලින් තිබුණා වගේ ගෘහා­ශ්‍රිත ස්ටුඩියෝ සෙර­මික් ගම්මා­න­යක් හදලා, සිය­ලුම සංචා­රක හෝට­ල්ව­ලට ඕනෙ කරන කෝප්ප පිඟන් ඒ ගම්මා­නයේ හදන එක මගේ සිහි­න­යක්. මං දැන් තරුණ ප්‍රජා­වට කතා­ක­රන්න කැමැ­තිත් ඒ ව්‍යව­සා­ය­ක­ත්වය ගැන.

මේ රටේ තරුණ ප්‍රජාව, තියෙන විදි­යට කාලා බීලා හිටි­යම ඇති! යි කියන සිති­විල්ල ප්‍රති­ක්ෂේප කර­න්නට ඕනේ. නැත්නම් ඔබට ලැබෙන්නේ ළිං මැඩි ජීවි­ත­යක්. මම හුඟක් හීන දැක්කා. ඒ හීන­ව­ලට වැඩ කළා. සම්ප්‍ර­දා­යෙන් පිට වැඩ කළා. අද­ටත් මං දව­සට  පැය 20ක් වැඩ කර­නවා. ව්‍යාපා­රය තව තවත් දැවැන්ත කරන්න වෙහෙ­සෙ­න­වාට වඩා මහ විශාල ආත්ම තෘප්ති­යක් ඒ සිති­විලි ඔවුන් සමඟ බෙදා ගැනීම තුළ මං අත්වි­ඳි­නවා.

කොහේද ඔබේ ගම් පළාත…

මං ඉප­දුණේ නුගේ­ගොඩ පැඟි­රි­වත්තේ. මං උප­දි­න­කොට මගේ අම්මට තාත්තට තම­න්ගේම කියලා ගෙයක් දොරක් වත් තිබුණේ නැහැ. අපි හිටියේ සිංහල උළු හෙවි­ල්ලපු පොඩි කුලී ගේක. ඒ කාලේ තාත්තා රක්ෂණ සංස්ථාවේ වැඩ කළේ. අම්මා අපිව බලා කියා ගත්තා.

පසු­කා­ලී­නව තාත්තා වැඩි­පුර දේශ­පා­ල­න­යට යොමු වුණා. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ආණ්ඩුවේ හිටපු කථානා­යක ගේ පුද්ග­ලික ලේකම් විදි­යට වැඩ කළා. ඒ වුණත් අවු­රුදු දෙක­කට සැර­යක් අයි­ති­කා­රයෝගේ ඉල්ලු­වාම කුලී ගෙවල් මාරු වුණා. හැම වෙලා­වෙම ඒ යන තැනට කිට්ටු ඉස්කෝ­ලෙට තමයි අපිට යන්න වුණේ. ඒ නිසා මම ගිය ඉස්කෝල ගණන මට­වත් මතක නෑ. කොහොම හරි මගේ පාසල් ජීවි­තය අව­සන් වුණේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා­ල­යෙන්. අපිට ම කියලා තාත්තා ගෙයක් ගත්තේ අපි හුඟාක් ලොකු වුණාට පස්සේ.

ඔබේ ජීවි­ත­යට ලොකුම බල­පෑ­මක් කළ පුද්ග­ලයා කවුද…

තාත්තා. එයාගේ නොසෙ­ල්වෙන ප්‍රති­පත්ති මගේ ජීවි­ත­යට ලොකු බල­පෑ­මක් ඇති කළා. අපේ පවුලේ කොල්ලෝ පහයි. එක කෙල්ලයි. මම තුන්වැ­නියා. ගෙදර තිබුණේ තාත්තගේ බලය. විනය අංක එක. කොහේ කරක් ගැහු­වත් අපි හයට කලි­න්ගෙ­දර ආ යුතුයි. හැබැයි අම්ම­වත් තාත්ත­වත් අපිට ඉගෙන ගන්න බල කළේ නැහැ. එක දෙයක් කිව්වා.

‘උඹලා එස්.එස්.සී. පාස් වුණොත් විත­රක් මට රස්සා හොයලා දෙන්න කිය­පල්ලා. එහෙම නැත්නම් මගෙන් රස්සා­වල් ඉල්ලන්න එපා… ‘තාත්තට දේශ­පා­ලන හයිය තිබුණා. ඒත් කිසිම වෙලා­වක වාසි ගත්තේ නැහැ. ඇත්ත­ටම ඒ යුගයේ මිනිස්සු දේශ­පා­ල­න­යෙන් හරි­හම්බ කරපු අය නෙවෙයි. මගේ තාත්තත් එහෙම කෙනෙක්.

පුංචි කාලේ ඔබ දක්ෂ­යෙක් ද…

ගණන් හැදිලි, පාඩම් කිරිලි සහ ගුරු­වරු කියන දේ අහ­ගෙන ඉන්න ඕනේ කියන සාම්ප්‍ර­දා­යික අධ්‍යා­ප­නය මම එහෙම පිටින්ම අත්හැර දැම්මා. සාමාන්‍ය පෙළ කර­ද්දිත් මම දැන­ගෙන ඉන්න ඇත්තේ දෙව­රක්, පස් වරක් සහ දහ­ව­රක් චක්කරේ විත­රයි. මම හැම­දාම ගණන් හැදුවේ යාළු­වන්ගේ පොත් බලා­ගෙන. විභා­ගෙට කියලා කව­දා­වත් පාඩම් කළේ නැහැ.

එහෙ­මයි කියලා මම කව­දා­වත් ගුරු­ව­රු­න්ගෙන් ගුටි කාලා නැහැ. කළු ලෑල්ලේ චිත්‍ර­යක් ඇඳ­ගන්න ඕනෙ වුණත්, බාහිර වැඩ­ව­ල­දීත් ගුරු­වරු හෙව්වේ මාව.

ඔබ දන්න­වද මම සාමාන්‍ය පෙළ විභා­ගයේ ගණන් ප්‍රශ්න පත්ත­රේට මුළු කොළේ පුරාම ලිව්වේ ඉති­පිසෝ ගාථාව. අම්මා උග­න්නපු ගාථා­ව­ලින් මට මතක තිබ්බෙත් එච්ච­රයි. වෙලාව ඉවර වෙන­කල්ම මම කොළේ පුරා ගාථාව නැවත නැවත ලිව්වා. විභාග ඉවර වුණාම කොළේ බාර දීලා ගෙදර ගියා. සාමාන්‍ය පෙළ දී මම පාස්වෙලා තිබ්බේ චිත්‍ර ඇතුළු වැඩ දෙක තුනක් විත­රයි.

හැබැයි මම එක දෙයක් කළා. ගුරු­ව­රි­යන් කළු ලෑල්ලේ අකුරු ලිය ලියා, ගණන් හද හදා උග­න්වද් දී මම ඒ ගුරු­ව­රි­යන්ගේ හැඩ­තල දිහා බොහොම ආසා­වෙන් බලා හිටියා. මට ඒ රූප­වල පෙනුණේ ලාලි­ත්‍යය. අපූරු හැඩ­තල. අද මං කල්පනා කරද්දී හිත­නවා, ලොකු දේවල් නොතේ­රෙන පොඩි ළම­යෙක් වුණත් එදා ඒ හැඩ­තල මං රස විඳලා නේද කියන එක. කෝප්ප­යක් අතට ගත්තත් මට පෙනුණේ මේක මීට වඩා වෙනස් විදි­ය­කට හදන්න පුළු­වන් නේද කියන එක. ජීවී අජීවී හැම දෙයක් තුළින්ම මම හැඩ­තල හෙව්වා. මං හිතන්නේ ඒකම තමයි මගේ දක්ෂ­තාව. සාම්ප්‍ර­දා­යික අධ්‍යා­ප­නය කියන දේ ඉගෙන නොගත් එකෙන්ම තමයි මං මගේ  ජීවි­තය හොයා ගත්තේ.

සාමාන්‍ය පෙළ අස­මත් වීම ඔබේ ජීවි­තයේ කඩා වැටී­මක් වුණේ නැද්ද…

විභාග පාස් නොවී රස්සා­වල් ඉල්ලන්න එපා කියලා තාත්තා කියලා තිබුණු නිසා තාත්තා මට උදව් කළේ නැහැ. තාත්තට තිබුණේ හොල්ලන්න බැරි ප්‍රති­පත්ති. ඒ නිසා මං තාත්තා ගැන බලා­පො­රොත්තු තියා ගත්තෙත් නැහැ. ඉතින් මම තාත්තාගේ යාළුවෙකුට රස්සා­වක් හොයලා දෙන්න කිව්වා. පිළි­ය­න්දල පිඟන් සංස්ථාවේ කොන්ත්‍රාත් පද­නම මත බඳවා ගන්නා නුපු­හුණු කම්ක­රු­වෙක් විදි­යට එයා මට රස්සා­වක් හොයා දුන්නා. මට කිසිම අධ්‍යා­පන සහ­ති­ක­යක් නැහැ. හැබැයි අර තාත්තගේ පුතා කියලා දන්නවා. ඒ හින්දා පොඩි සැල­කී­මක් තිබුණා. රුපි­යල් හයයි දවසේ පඩිය. සෙර­මික් බඩු­වල චිත්‍ර අඳි­න්නයි මට තිබුණේ. චිත්‍ර අඳින්න තිබුණු කැමැත්ත නිසා මම ඒ රස්සාව බොහොම ආසා­වෙන් කළා. හුඟක් අංශ­වල වැඩ ඉගෙන ගත්තා. මං මගේ විශ්ව­වි­ද්‍යා­ලය කර ගත්තේ පිඟන් සංස්ථාව. අනේ! ඒ වටිනා පිඟන් සංස්ථාව අද නැහැ,

ඔය ඔක්කෝම අතරේ මගේ ඔළුවේ කැකෑ­රෙන දෙයක් තිබුණා. මට හැම වෙලා­වෙම ඕන වුණේ පව­තින දේට වඩා වෙනස් යමක් කරන්න. අපේ රටේ වළං කර්මා­න්ත­යට එහා දෙයක් වෙන්නේ නැති නිසා ලෝකයේ කුඹල් කර්මා­න්ත­යට තියෙන තැන ගැන දැන­ගන්න මට ලොකු වුව­ම­නා­වක් තිබුණා. ඉතින් ඔය කාලේ මම අමෙ­රි­කන් සෙන්ටර් එකට ගියා. බ්‍රිතාන්‍ය කවු­න්සි­ල­යට බැඳුණා. ලෝක කුඹල් කර්මා­න්ත­යට අදාළ පත­පොත කියෙව්වා. ඒවායේ ඉංග්‍රීසි වචන අමාරු නිසා සම­හර දේවල් මම වටහා ගත්තේ පින්තූ­ර­ව­ලින් . ලෝකයේ Studio Ceramics  කියලා අති­ශය නිර්මා­ණ­ශීලී සංක­ල්ප­යක් තිබෙන බව මම දැන­ගන්නේ ඒ ඉංග්‍රීසි පත පොතෙන්.

මොකක්ද Studio Ceramics කියන්නේ…

කුඹ­ල්ක­රු­වෙක් නිකන්ම පිඟන් කෝප්ප හදන එක Studio Ceramics නෙවෙයි. එයා ලෝකයේ දකින හැඩ, යම් යම් හැඩ­තල සහ වර්ණ එයා­ටම ආවේ­ණික විදි­යට නිර්මා­ණ­ශීලී නිර්මාණ බවට පත්ක­ර­නවා. ඒ ආර්ටිස්ට් අතින් එක වගේ නිර්මාණ දෙකක් බිහි­වන්නේ නැහැ. අපේ වගේ රට­ව­ලට ඒ නිර්මාණ මිල අධික දෙයක්. ලෝකයේ මේ Studio Ceramics කලාවේ යෙදුණේ දාර්ශ­නි­ක­යන් වැනි කලා­ක­රු­වන්. අති­ශය විශිෂ්ට කලා­වක් නිසා එහි සීමා මායි­මක් නැහැ. ඒ කලාව උප­දින්නේ සිතු­වි­ලිත් එක්ක. ඒ නිසාම ලෝකයේ විශාල ගෞර­ව­යක් සහ පිළි­ගැ­නී­මක්  Studio Ceramics කලා­වට තිබෙ­නවා. වෙලා­ව­කට එය භාව­නා­වක්. මේ ගැන හොයන්න හොයන්න මගේ ඔළුව වැඩ කළේ ම Studio Ceramics ගැන.

ඒත් ඉතින් ඔබ පිඟන් සංස්ථාවේ සේව­ක­යෙක් නේ…

ඇත්ත. දවසේ පඩිය රුපි­යල් හයයි. ඉතින් ආසාව තිබු­ණත් මැටි පුච්චන උදුන්, යන්ත්‍රෝ­ප­ක­රණ අරන් කරන්න පුළු­වන් වැඩ­කුත් නෙවෙයි. මම අපේ මැනේ­ජර්ව හම්බ වෙලා කිව්වා, ලෝකෙ Studio Ceramics කියලා දෙයක් තිබෙ­නවා. හැම­දාම මේ වැසි­කිළි පෝච්චියි පිඟ­නුයි විත­රක් හද හදා ඉන්නේ නැතුව අපිත් Studio Ceramics නිර්මාණ කරන්න ගමු කියලා. එයා මට කිව්වා, ‘ඔය මඟුල් කරන්න ඕනේ නැහැ. මේකෙ වැසි­කිළි පෝච්චියි පිඟ­නුයි හැදු­වම හොඳ­ටම ඇති…’ කියලා. ඒ කිව්වේ, මේ රටේ බහු­තර මිනි­ස්සුන්ට කන්න පිඟා­න­කුයි, ඊළඟ වැඩේ කරන්න පෝච්චි­ය­කුයි තිබු­ණාම ඇතියි කියන එකයි.

ඒත් මම එහෙම හිතන්න කැමැති වුණේ නැහැ. මම සාමා­න්‍යා­ධි­කා­රී­ව­රයා මුණ­ගැ­හුණා. කතාව අහ­ගෙන ඉඳලා එයා මාව මීග­මුව කර්මාන්ත ශාලා­වට යැව්වා. මං එහෙ Studio Ceramics පටන් ගත්තා. පිඟන් සංස්ථා ඉති­හා­සයේ පළමු වතා­වට අපි Studio Ceramics නිර්මාණ ප්‍රද­ර්ශ­න­යක් තැබුවා. කොළඹ සල්ලි­කාර නෝනලා මහ­ත්තුරු ඒ නිර්මාණ සියල්ල මිල දී ගත්තා. ඇත්ත­ටම මේ කර්මා­න්තය පිළි­බඳ ඒ වෙන­කො­ටත් දැන­ගෙන හිටියේ ලෝකයේ ඉහළ පැලැ­න්තිය. අපේ රටෙත් ඉහළ පැලැ­න්තියේ උද­විය මේ දේවල් කීය දීලා හරි මිල දී ගත්තා. ඊට පස්සේ මං පුද්ග­ලි­කව මගේ දෙවැනි ප්‍රද­ර්ශ­න­යක් තැබුවා. ඒ තමයි මගේ හැර­වුම් ලක්ෂ්‍යය.

මොකද වුණේ…

ඒ වෙලාවේ NDB බැංකුවේ හිටපු සාමා­න්‍යා­ධි­කාරී වසන්ත වික්‍ර­ම­සිංහ මහ­ත්මයා ඒ ප්‍රද­ර්ශ­නය බලන්න ආවා. ඔහු තමයි මාර්ටින් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාගේ ලොකු පුතා. ආපහු යන­කොට මට කිව්වා බැංකු­වට ඇවිත් හමු­වෙන්න කියලා. මං හිටියේ ණයක් ගන්න වුව­ම­නා­වෙන්. හැබැයි ඔය ගණන් හිලව් හදා­ගෙන ප්‍රොජෙක්ට් රිපෝට් ලියන්න බැරි බව මං ඔහුට කිව්වා. ඒ වැඩේ ඔහු නිල­ධා­රීන්ට පැව­රුවා. මට තිබුණේ අත්සන් කරන්න විත­රයි. රුපි­යල් පන්ලක්ෂ ගාණක මං ණයක් ගත්තා.  මගේ බිරිඳ චින්තාගේ පොඩි ඉඩ­මක් ඇප­යට තැබුවා. එංග­ල­න්ත­යෙන් විදුලි පෝර­නු­වක් සහ මැටි අඹ­රන මෙව­ලම් ගෙනාවා. පිඟන් සංස්ථා­වෙ­නුත් අයින් වුණා. අර පොඩි ඉඩමේ පොල් අතු මඩු­වක මේ ටික හයි කරලා වැඩේ පටන් ගත්තා. එතැ­නින් තමයි මගේ ජීවිතේ අලුත් යුගය උදා වෙන්නේ. ඔය කාලෙම තමයි මම අමෙ­රි­කාවෙ ගිහින් ලෝකයේ කුඹල් කර්මා­න්තය ඉගෙන ගන්නේ. කාල­යක් යන­කොට ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් මට ආසා­වක් ඇති වුණා. ඒ වුණාට ඒකට ලොකු අධ්‍යා­ප­න­යක් තිබෙ­න්නට ඕනේ. බල­ප­ත්‍ර­යක් ඕනේ. ඉතින් මං මගේ දුවව ගෘහ නිර්මාණ ශිල්පි­නි­යක් කළා. එයා විවාහ වුණෙත් ගෘහ නිර්මාණ ශිල්පි­යෙක් එක්ක. ඒකෙන් මගේ කලා­වට තවත් වටි­නා­කම් දෙකක් එකතු වුණා.

ඔබේ බිරිඳ ගැනත් කියන්න…

ඉස්සර වෙලාම මං කෙල්ලෙක්ට ආද­රය කරද්දී මට වයස 14යි. එයාට 13යි. එයා නුගේ­ගොඩ සමුද්‍ර දේවි බාලි­කාවේ කෙල්ලක්. ඒ කාලේ මං වැඩිය ඉස්කෝලේ යන්න කැමැ­තිත් නැහැ. කරන්න ලොකු දේකුත් නැහැ. කාලේ ගෙවන්න ලැබුණු හොඳම ප්‍රොජෙක්ට් එක තමයි කෙල්ලෙක් යාළු කර­ගන්න එක. ඒකෙන් මට යම් සතු­ටක් උත්තේ­ජ­න­යක් ලැබුණා. හැබැයි අවු­රුදු 14 දී යාළු කර­ගත් ඒ කෙල්ලව ම මං කසාද බැන්දා. දරු දෙන්නෙක් හැදුවා. එයා දරුවො හදා වඩා­ගෙන උග­න්වද්දී, මං නිද­හසේ කර්මා­න්ත­යක් හැදුවා. හම්බ කරපු හැම­දේම ඉතිරි කළේ එයා. ඒ අර­පි­රි­මැස්ම කොච්ච­රද කිය­නවා නම් මට­වත් ආයේ හදි­සි­ය­කට ගන්නවා බොරු. බහි­ර­ව­යට දැම්මා වගේ තමයි. ඒ වුණාට මේ ගමනේ මගේ ශක්තිය තමයි ඈ.

ඇයි ඔබ විශ්ව­වි­ද්‍යාල දේශ­න­ව­ල­ටත් කොට කලි­ස­මෙන්  යන්නේ…

මේ මං කාල­යක් තිස්සේ අඳින ඇඳුම. කොට කලි­සම සහ ටී ෂර්ට් එක මගේ අන­න්‍ය­තාව. සල්ලි තිබුණු පලි­යට ෂෝටක් ගහන් කැම්පස් එක­කට යන්න බැහැ. ඒකට සන්නා­ම­යක් වෙලා ඉන්න ඕන. ජීවි­තේට සල්ලි විත­රක් මදි. ලංකාවේ කොයි­ත­රම් ව්‍යාපා­රි­කයෝ හිටි­යත් මං වගේ මනු­ස්ස­යෙක් කැම්පස් එක­කට ගෙන්වන තර­මට විශේෂ වුණේ ඇඳුමේ ඉඳන් මනු­ස්ස­ය­කුගේ  අන­න්‍ය­තා­වක් තිබෙන නිසා. පව­තින ක්‍රම­යට වඩා හිතන විදිය වෙනස් නිසා. ඒකම තමයි මගේ සාර්ථ­ක­ත්වයේ රහ­සත්.

එත­කොට ඔබ උඩ­ව­ල­වේටම වෙලා ඉන්නේ…

ඒ කාලේ මං හිතා­ගෙන හිටියේ ලොකු වුණාම දෙහි­වල සත්තු වත්තේ මුර­කා­රයා වෙන්න. මොකද මං සත්තුන්ට ආදරේ නිසා. පස්සෙ කාලෙක උඩ­ව­ලවේ අලි වැට අයිනේ පොඩි ඉඩ­මක් අර­ගෙන ගෙයක් හදා ගන්නවා, උදේ හවස අලි බල බලා ඉන්න. ඊළ­ඟට, උඩ­ව­ලවේ ගම්මා­න­වල 200කට විතර රස්සා දෙන්න  ව්‍යාපෘති හදලා, රුපි­යල් මිලි­යන 100ක් විය­දම් කරලා ලොකු හෝට­ල­යක් හද­නවා. මොකද මට ඕනේ ඒ වන සත්තු අස්සේම රිංගා ගෙන ජීවත් වෙන්න.

අපේ Craft School හෙවත් Studio Ceramics පාසල, කලා­ගා­රය, කර්මා­න්තය මේ හැම­දේම තිබෙන්නේ උඩ­ව­ලවේ අපේ හෝට­ලයේ. ලෝකයේ කුඹල් කර්මා­න්ත­යට කැමති වගේම, කිසිම අත්දැ­කී­මක් නැති විදෙස් සංචා­ර­ක­යින් අපේ Craft Tunnel හෝට­ල­යට ඇවිත් මේ Studio Ceramics නැත්නම් Studio Pottery අත්දැ­කීම විඳ­ග­න්නවා. ඒ පරි­ස­රය තමන්ට තමන් මුණ­ගැ­හෙන තැනක්. භාව­නා­මය හැඟී­මක් දෙන තැනක්.

 

 දුෂ්මන්ත මායා­දුන්නේ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division