හැන්දෑ යාමයේ වත්තේ වැඩ නිම වූ සැණින් කැලෑව අයිනේ කන්දට ගොස් එළුවන්ට කොළ කපාගෙන ආ පච්චමුත්තු ඒවා කුඩා මිටිවලට බැඳ එළු මඩුවේ වහලේ එල්ලමින් සිටියේය.
“කොන්දොස්තර මහත්තයා ඔයාව එක්කරගෙන එන්න කීවා…” කොන්දොස්තරගේ ගෙදර වැඩකාර කොළුවා එළු පට්ටියට පිටතින් සිටගෙන සිටිමින්, කෑ ගසා කී පණිවිඩයට කීකරු වී, යෙදී සිටි කාරිය හණි හණිකට නිමා කොට, පච්චමුත්තු කොලුවා පසුපසින් බංගලාව බලා පිටත්විය.
මහත්තයා තමා කැටුව එන්නට යැයි කියා කෙනෙකු එවීම පච්චමුත්තුට පමණක් නොව ඔහුගේ බිරියට ද ඉමහත් සතුටකි. ඒ බව ඇයගේ කටහඬින් ද ධ්වනිත වේ.
මහත්තයා දොරකඩට වී තමාව බලාපොරොත්තුවෙන් සිටිනා ආකාරය දැක හිසෙහි බැඳ තිබූ ජටාව ලිහා වම් උරහිසෙහි ලාගෙන අයිනෙන් අයිනෙන් ගොස් පසෙකින් සිටගත්තේය.
“අඩේ! ඇයි ඔතන හිටගෙන, පච්චමුත්තු ටිකක් ඇතුළට වරෙන් අප්පා…” අතින් අල්ලා නොඇද්දා විතර ය. මහත්තයා නිහතමානී ලෙස හැසිරීම ඔහුට නිකම් මොකක්දෝ වාගේය.
“මම මෙහෙම්ම ඉන්නම්” ඔහු තවමත් දෑත් බැඳගෙන දෙකට තුනට නැමීගෙන ය.
මහත්තයා ඔහුගේ අතින් අල්ලා ඇදගෙන බංගලාවේ ඇතුළු දොරටුව හරහා මුළුතැන්ගෙට එක්කරගෙන ගියේය.
ඉස්සරහා දොරෙහි එළිපත්තට ගොඩ වුණත් “ටිකක් පස්සට වෙලා ඉඳපන්” කියලා ගොරවන කොන්දොස්තර මහත්තයා, මාව බංගලාවේ ඇතුළු දොරෙන්ම එක්කරගෙන ගියා නේ…” මේ සැලකිල්ල කුමක් සඳහා ද යන්න ඔහුට ප්‍රහේලිකාවකි.
“ලැජ්ජා වෙන්නෙ නැතුව ඔහොම වාඩි වෙනවා. අඩේ… බිමින් නෙවෙයි ඔය බංකු කොටේ උඩින් වාඩි වෙනවා.”
කොන්දොස්තර බිරිය පොල්කටුවකට තේ කහට ටිකක් ද, කඩදාසි කැබැල්ලකට සීනි ටිකක්ද, ගෙනවිත් පච්චමුත්තු ඉදිරියෙහි තැබුවාය.
“වාඩි වෙලා තේ කහට ටික බොන්න. අපි පස්සෙ කතා කරමු.” මහත්තයා ඔහුව බංකු කොටය මත වාඩි කරවීය.
ඔහු වම් අත්ලෙහි සීනි ටික හලාගෙන දකුණු අතට පොල්කටුව ගෙන තේ බොමින් සිටින විට කොන්දොස්තර තැන කතාව ආරම්භ කළේය.
“මෙහෙ බලනවා පච්චමුත්තු, මහාමේරුව වගේ උඹ මට විශ්වාසයි.” බොහොම වැදගත් කාරණයක් කියන්නයි අඬ ගැහුවේ. තව සතියකින් අපේ ලොකු දුවගෙ මංගල්ලෙ. ඊයේ තමයි නැකැත් තුලා තීරණය වුණේ. ඉතුරු වෙලා තියෙන හයදොහ හැරෙන්නවත් මදි. දුවලගෙ අම්මට මංගල්ලේ මහ ඉහළින්ම ගන්න ඕනයි කියන්නේ….”
පච්චමුත්තු කටින් පිඹ පිඹ, තේ කහට ටික බිබී හිටියේ කොන්දොස්තර මහතාගේ කතාව කෙරෙහි මුළු අවධානයම යොමු කරගෙනය.
“බොහොම ඉහළින් ගන්න ඕන කියලා තමයි මගෙත් හිත. කොච්චර සල්ලි ගියත් කමක් නෑ. මට ලොකු තොරණක් ගහලා ලස්සනට සරසන්නට ඕන…”
පච්චමුත්තු කිසිත් නොකියාම ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියේය.
“ඔයා මල් සැරසිලි වැඩ හොඳින් දන්නවා නේ. කඩදාසි මල් ටික ඔක්කොම කපනවාද….?”
ගිරා මලිත්තන්, පියාඹන සිංහයන්, අශ්ව රථය, ගජසිංහ රූප, ඕන දෙයක් ඕන විදිහකට කපලා සරසන්නම්, මහත්තයාගේ පින නේ!”
ඔහුගේ සිත ධෛර්යවත් විය. කඩදාසි මල් සැරසිලි කීවොත් ඔහුට ඊට වඩා දෙයක් නැත.
“ඔව් පච්චමුත්තු, මම උඹ ම තමයි විශ්වාස කරගෙන ඉන්නේ, ඔන්න වැඩේ බාර දුන්නා. අමතර අත්උදව්වට තව දෙන්නෙක් කතාකර ගන්න. තව දවස් පහක්වත් නෑ. තොරණෙ වැඩේ නීට් එකටම තියෙන්නට ඕන. හැමදාම වත්තේ වැඩ ඉවරවුණ ගමන් හැන්දෑවට හැන්දෑවට ඇවිත් වැඩ කළාම ඇති.”
“අනිවාර්යයෙන්ම ඇවිත් ‘ටොප් එකටම’ වැඩේ කරලා දෙන්නම්.”
හිතේ සන්තෝසෙත් එක්කම ගිනි පෙනෙල්ලේ ගිනි පුපුරු විසිරී යන සේ වන වනා අඩියට දෙකට විත් ගෙදරට පා තැබුවේය.
ගෙදර පැමිණි ස්වාමිපුරුෂයා කී දේ ඇසූ බිරියගේ ද සන්තෝෂය ඉහ වහා ගියේය.
“මොන වැඩේ ඇරුණත් කමක් නෑ මහත්තයාගේ වැඩේ ඉහළින්ම කරන්නට ඕන…” දෙන්නා දෙමාල්ලන්ගේ එකම තීරණය එය විය.
වත්තේ තවත් හතර පස් දෙනෙක් අත්උදව්වට ගෙන තොරණෙහි වැඩේ ආරම්භ කළේය. දවල් දවසේ වැඩ නිමකර ගෙදර ආ පයින්ම බංගලාවට ආව ද තොරණෙහි වැඩ නිම කර ආපසු ගියේ රෑ එකොළහ ද පහුවෙලාය.
“මංගල තොරණ හැදුවාම සුරපුරය වගේ බැබළෙන හැටි බලතෑකි. මහත්තයා මෝටරයක් ගෙන්නලා ලයිටුත් දානවා කියලා කීවා. ඕනෑ කියූ හැම පැටන්නෙකෙන්ම සැරසිලි ටික කරලා දෙනවා….”
මංගල්ලයට තව ඇත්තේ දින දෙකක් පමණි.
තොරණ මුහුණතෙන් තුන්කාලක්ම මේ වනවිට සකසා අවසන්ය. මිනිස් උසට, මල්දම් කටින් ගත් ගජසිංහ රූප දෙකක් ද සැකසීමෙන් තොරණ බොහොම ලස්සන වේ යයි ඔහු සිතුවේය.
මෙවැනි පියාඹන අශ්ව රූප සහිත දේව රථයක් මාතලේ තේරු උත්සවයෙහි බොහොම අපූරුවට වීථි සංචාරය වූ හැටි ඔහුට හොඳින් මතකය.
ගජසිංහ රූප දෙකක් නොවරදවාම සැකසිය යුතුය යන ආශාවෙන්, නැවත දෙන පොරොන්දුව මත රූපයෙහි බ්ලොක් එක, කල් ඇතිවම අළහන්ගෙන් ඉල්ලාගෙන ඇවිත් තිබුණි. නිදාගන්නා විට බිමට එළන පඩංගු කැබැල්ල පිලෙහි බිම අතුරා, ඒ මත කාඩ්බෝඩ් කැබලි තබා, ආදර්ශ අච්චු එම කාඩ්බෝඩ් මත කොපි කරගෙන බොහොම සීරුවට රූපය කපාගත්තේය.
රෑ කෑම සඳහා ණයට පාන් ගෙන එන්නට ගිය බිරිය, හිස් අතින් ආපසු හැරී ආවාය.
“බණ්ඩා මුදලාලි පාන් ණයට දෙන්න බෑ කිව්වා.”
මෙය ඇසූ පච්චමුත්තු පුදුමයට පත්විය.
කරමින් සිටි වැඩේ එලෙසම දමා එවේලේම කඩයට දිව ගියේය.
බණ්ඩා මුදලාලිගේ තේ කඩයට දර සැපයීමේ කොන්තරාත්තුව බාරගෙන තිබුණේ මොහුය. දිනපතා හවස වැඩ ඇරුණ ගමන් දරමිටිය බැගින් ගෙනවිත් දමයි. පච්චමුත්තුට සිල්ලර බඩු ටික ණයට දෙන බණ්ඩා මුදලාලි දර සඳහා මාසයකට රුපියල් පහ බැගින් ඔහුගේ ණය ගිණුමෙන් අඩු කරයි. මොන දෙයක් ණයට ඉල්ලුව ද නෑ බෑ නොකියා දීමට මුදලාලි පුරුදුව සිටියේය.
“බණ්ඩා මුදලාලි ඇයි ණය දෙන්න බෑ කිවුවේ” යන සිතුවිල්ලෙන් යුතුව පච්චමුත්තු කඩය දෙසට දිව ගියේය.
මුදලාලි සිහිවූ විට පච්චමුත්තුගේ සිත පිරී ඉතිරී යයි. කඩයට ළඟා විය.
“ඇයි මුදලාලි අපේ උන්දෑට ණයට පාන් දෙන්න බෑ කීවේ…”
කඩේ කැෂියරය ළඟ වාඩි වී අත්දෙක බැඳන් සිටි මුදලාලි පච්චමුත්තුගේ පැනයෙන් විපිළිසරව නළල රැලිකර ගත්තේය.
“ඔව්… උඹ අපේ නෝනට දවස ගානෙ දර කපලා ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙලා හිටියනේ. දැන් දවස් පහකින් කඩේ පැත්තේ ආවේ නෑ. අපි දර නැතුව මොන තරම් කරදර වුණාද….”
මුදලාලි තරහෙන් පුපුරන කාරණය ඔහුට අවබෝධ විය.
“තව දවස් දෙකක් ඉවසන්න මුදලාලි. සෙල්වරාසා මහත්තෙලෑ දෝනියැන්දගේ කටයුත්ත ඉවරවුණ හැටියේ දවස ගානේ ම දර ගෙනත් දාන්නම්…”
“අපිට කඩේ වැට දර නෑ. හෙටම ගෙනත් දාන්න බැරි ද?”
“හෙට මඟුල් ගෙදර කප්පරක් වැඩ. ඒක නිසා මම එතන නොවරදවාම ඉන්න ඕන…”
මුදලාලිගේ කේන්තිය ඉහවහා ගියේය. “මීට පස්සෙ කඩේ හතරමායිමේ එන්න එපා.” තර්ජනාත්මකව කියා සිටියේය.
මිට පස්සේ ණයට බඩු ලැබෙන්නේ නැත. අවුරුදු ගණනක් කරගෙන ආ ‘පාට් ටයිම්’ වැඩ ද මින්මතු නොලැබී යනු ඇත.
“සෙල්වරාසා මහත්තයාගේ ගෙදර මංගල්ලෙට වඩා මෙයාට දර ගෙනත් දමන එක ලොකු වෙන්නේ කෙහොමද?” පළවෙනි තැන දිය යුතු කාරණය තීරණය කළේය.
මම නැතුව කවුද මඟුල් තොරණ ගහන්නෙ…”බංගලාව සැරසුවේ කවුද?” කියලා එන එන කෙනා අහ අහා යාවි.
ඊයේ මහත්තයා ගෙදර ඇවිත් සිටියේය. සැරසිල්ල දැක ඔහු විමතියට පත් වූවාක් සේ සිටිවනම සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ සතුටින් පිරී ගොස්ය. ඇස් දෙක ඉවතට ගන්නට තරම් හිතක් නැතුවාක් මෙනි. කීයක් ඕන දැයි ඇසුවේය. මෙපමණක් දෙන්නට යයි කියන්නට කට ඇරියේ නැත. ඔහු කිසිවක් නොවිමසාම රුපියල් පහක් පච්චමුත්තුගේ අතේ තැබුවේය. “පස්සේ බලලා තව ටිකක් දෙන්නම්” කියා ද පැවසීය.
වෙන කොහේ හරි මේ සැරසිල්ල කළා නම් මම රුපියල් පනහක් හැටක් ගන්නවාමයි” පච්චමුත්තු තමාටම කියා ගත්තේය.
රුපියල් පහේ කොළය බිරිය වෙත දික් කළේය.
“මොකේ… රුපියල් පහ ද දුන්නේ….? සුමානයක් තිස්සෙ කඹුරලා මදෑ හම්බවෙච්ච සොච්චම….”
“මම ඒ වැඩේ කළේ නිකන් බන්… මනුස්සයො ද සල්ලි ද වටින්නෙ? මඟුල්දාට බලපන් මහත්තයා මට සලකන විදිහ…”
බිරිය සමඟ බොහොම ආශාවෙන් මේ විස්තර කියද්දී තමාට හොඳ වෙට්ටියකුයි කමිසයකුයි නැති බව ඔහුට මතක් වුණේය.
කතා අතරමඟ නතර කළ ඔහු හණි හණිකට ඉහළ ලැයිම බලා දිව ගියේය. හදිසි ගමනකදී වෙට්ටියක් කමිසයක් ඕනෑ වූ විට එය පිරිමසා ගත්තේ ඉහළ ලැයිමේ සන්නාසිගෙන්ය.
සන්නාසි ළඟ අලුත් පෙනුම ඇති ටෙර්ලින් කමිස හතරක් පහක් ද වෙට්ටියක් ද සුරක්ෂිතව තබාගෙන තිබිණි.
සන්නාසිට දත නියවා මහත්තෙයාගේ ගෙදර මඟුලට යන්නට වෙට්ටියක් සහ බැනියමක් ලැහැස්ති කර ගත් පච්චමුත්තු ලහි ලහියේ මහත්තයාගේ බංගලාව බලා දිව ගියේය.
දවාලෙම ගොක් අතු ටික කපා දමන්නට ඕනෑ යයි ඔහු සිතා සිටියේය. වැඩ අධික නිසාම ඔහුට එය අමතක විය.
කල්පනා කර කර ඉඳීමෙන් පලක් නැත. මහත්තයා සම්පූර්ණ වගකීම පවරා තිබුණේ ඔහු වෙතය. රෑ කියා බල බලා ඉන්නේ කොහොමද?
ටෝච් එළියන් පොල් ගහට නැග්ගේය. ගොක්අතු කපා දමා ලහි ලහියේ පහළට රූටමින් සිටි අතර, බිමට අඩි පහ හයක් තිබියදී අල්ලාගෙන සිටි අත ලිස්සා ගියේය.
බිම ඇද වැටෙද්දී වාසනාවකට මෙන් වම් කකුල හරිහැටි පොළොවට වැදුණ නිසා දකුණු දණහිස ගලෙහි වැදී සුන්බුන් වී යාමට තිබුණු අවස්ථාව වැලකුණි. තුවාලවලින් ලේ වැගිරෙන්නට විය.
වේදනාව ගණනකට නොගෙන වැඩෙහි නිරතව සිටි ඔහු ගෙදර එනවිට මැදියම ද පසු වී තිබිණි.
විවාහ මංගල්‍යය අදයි. දහවල් කාලයේ නැකත යෙදී ඇත. මංගල උත්සවය මාතලේ කෝවිලෙහි ද පිළිගැනීම් සංග්‍රහ ආදිය සෙල්වරාසා නිෙවසෙහි ද සිදු කිරීමට කටයුතු යෙදී ඇත. හැමදෙනාම පාන්දරින්ම කෝවිලට පිටත්ව ගියහ.
තවත් සුළු වැඩ කොටසක් ඉතිරිව තිබූ හෙයින් පච්චමුත්තුට කෝවිලට යා නොහැකිය. වැඩ නිමකර ගෙදර පැමිණි පච්චමුත්තු හණි පනිකට නා ගෙන, සන්නාසිගෙන් ඉල්ලාගත් ඇඳුමෙන් සැරසී, බිරිය ද සමඟ මඟුල් ගෙදරට ආවේ සවස හතර පමණ වන විටය.
තොරණෙහි අපූරුව දැක සතුටට පත් සෙල්වරාසා මහත්තයා, එය එපමණ වෙහෙසකින් යුතුව සැකසූ තමාට කිරීමට යන ප්‍රත්‍යොපකාර ගැන සිහින දකිමින් සතුටින් ගමන් කළේය.
විදුලි බුබුළුවලින් නිකුත් වන වර්ණ ජාලාවන්ගෙන් යුත් තොරණ සාඩම්බර පෙනුමකින් යුතුව දසුන් දෙයි. නයිලෝන්, ටෙට්රෝන්, ටෙරිලින්, නයිලෙක්ස් හා පට සළු ආදියෙන් නිම වූ අගනා ඇඳුම්වලින් ද ටුවිට් ඇඳුම් සහ කෝට්වලින් ද මඟුල් ගෙදර තව තවත් විසිතුරුව ඇත.
පච්චමුත්තු තම බිරිය ද සමඟ තොරණෙහි ද්වාරය තුළින් ඇතුළු විය. ඇතුළත සතුටු සාමීචියෙහි යෙදෙන්නන්… සිනහව… කතාබහ…
පසෙක වූ පටු තීරයක කෙළවර දෙදෙනා හිඳගත්හ. විනාඩි කිහිපයක් ගත වන්නට ඇත.
“අන්න මහත්තයා ඇතුළේ ඉඳලා එනවා. අපි දැකලා තමයි ඔය එන්නේ… ඇතුළට එක්කරගෙන යන්න වෙන්ටෑ…”
ඔවුන් අසලට ආ මහත්තයා පච්චමුත්තුගේ අත තදින් අල්ලා එළියේ පසෙක වූ හුදෙකලා තැනකට ඇදගෙන ගියේය.
“ඇයි පච්චමුත්තු අද මෙහේ ආවේ… කුලීකාරයින්ට මම ඉන්විටේෂන් දුන්නේ නෑනේ. ලොකු ලොකු මහත්තුරු, වැදගත් නිලධාරිවරු, ඒ පවුල්වල අය විතරයි අද මෙහෙට එන්නේ. හෙට හැන්දෑවට ඇවිත් මොනවාහරි ටිකක් කාලා යනවා. දැන් මොනවත් කරන්න බෑ…”
මහත්තයා නිවේදනය නිකුත් කර කවුදෝ උත්තමයකු පිළිගැනීමට ගෙතුළට ගියේය.
අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් ගල් ගැසී ගිය ඔහු තොරණ දෙස බලාගෙනම හුනස්නෙන් නැඟී සිටියේය.
සම්මානලාභී දමිළ ගත්කරු
මාතලේ මලරන්බන්ගේ ‘කෝවිච්චේලෛ’ නම් කෙටිකතා සංග්‍රහයේ එන
‘කරිවේප්පිලෛ (කරපිංචා) නම් කෙටිකතාව.
පරිවර්තනය – සරත්කුමාර ගමඇතිගේ