Home » ඡන්ද ප්‍රතිඵල සමරන්න රතිඤ්ඤා වැස්සක්…

ඡන්ද ප්‍රතිඵල සමරන්න රතිඤ්ඤා වැස්සක්…

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

– ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත්, මහ­මැ­ති­ව­ර­ණ­යත් ප්‍රකාශ කළාම මුලින්ම සතුටු වෙන්නේ රතිඤ්ඤා වෙළෙන්දා
– ප්‍රධාන ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යින්ගේ රැස්වී­ම්ව­ලට රතිඤ්ඤා ගෙන ගොස් ඇත්තේ ගෝනි ගණන්
– අඩු­මිල රතිඤ්ඤා වැල්ව­ලට වැඩිම ඉල්ලු­මක්
– වැඩිම බිස්නස් සැප්තැ­ම්බර් 20 වැනිදා
– මල්වෙ­ඩි­ව­ලට විශේෂ ඉල්ලු­මක්

ගිනි පෙට්ටියක ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ රූපය සහ ඡන්ද ලකුණ යොදා බෙදා හැරලා.”

මේ පසුගියදා පත්තරවල පළවූ ප්‍රවෘත්තියකි. ඊට පසුදිනම ජනාධිපතිවරණ ගිනිපෙට්ටි කතාව කාටූනයකට නඟා තිබුණි.

“ගිනි පෙට්ටියේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මුද්‍රණය කළේ දින්නාම රතිඤ්ඤා පත්තු කරන්න වෙන්න ඇති. මේ එම කාටූනයෙන් සඳහන් විය.

මෙරට ජනාධිපතිවරණයක්, මහාමැතිවරණයක් ප්‍රකාශයට පත්කළ විට සතුටුවන පුරවැසියන් රාශියකි. වැඩක් නැතුව වේළි වේළී සිටින කුඩුකාරයන්, රැස්වීම් සඳහා ස්ටේජ් ගසන්නන්, රැස්වීම් සඳහා විදුලි බුබුළු හා ස්පීකර් සැට් කුලියට දෙන්නන් මේ අතර කීපදෙනෙකි. ඒත් මේ කොයිකා අතරින් වඩාත් ප්‍රීතියට උන්මාදයට පත්වන්නේ රතිඤ්ඤා නිෂ්පාදකයින් හා තොග අලෙවිකරුවන්ය.

මෙරට පුරවැසියකුගේ උපතේ, විවාහයේ, මරණයේ මෙන්ම මැතිවරණයේදී භාවිත කරන අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේ රතිඤ්ඤාය. තම බිරියට දියණියන්ම තුන හතරක් ලැබී පුතකු ලැබුණු විට රතිඤ්ඤා පත්තු කළ පියවරු ගැන අතීත නවකතා නිරීක්ෂණයේදී පැහැදිලිව දැකගත හැකිය. එමෙන්ම පුතුන්ම තුන් හතර ලබා දියණියක උපන් ප්‍රීතියට රතිඤ්ඤා පත්තුකරන පියවරු ගැන ද එහි සඳහන්ය.

විවාහයේදී ඒ කාලේ නම් ගැසුවේ රබන්ය. ඒ සමඟම රතිඤ්ඤා පත්තු විය. රතිඤ්ඤා පත්තුවන විශේෂ අවස්ථාවක් වන්නේ ක්‍රිස්තු වර්ෂයේ නව වසර උදාව, සිංහල අවුරුදු චාරිත්‍ර ආදියයි. විවාහයේදී රබන් ගැසීම මෙරට ජනසමාජයේ බොහෝ ප්‍රදේශවල වළ පල්ලට ගියද පෝරුවේ චාරිත්‍ර හා මනාලිය කැන්දාගෙන ඒමේ ‘හෝම්කමින්‘ එකේදී රතිඤ්ඤා පත්තු කිරීම අදත් සිදුකෙරේ. අවමංගල පෙරහරේ දී රතිඤ්ඤා පත්තු කිරීම අදත් ඇතැම් පළාත්වල සිදුකෙරේ.

උත්සව අවස්ථා හි රතිඤ්ඤා භාවිතය ගැන ඊට පෙර ගෙන එන අවවාද බොහෝය. එහෙත් ඉන්පසු රතිඤ්ඤා අනතුරු සිදුවුවහොත් ඒ ගැන සිංහල – දෙමළ – ඉංග්‍රීසි පත්තරවල පළ කරන ලද කතුවැකි බොහෝය.

කොළඹ කොටුවේ කලකට ඉහත රතිඤ්ඤා තොග වෙළෙඳපොළ පැවතියේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නෝරිස් වීදියත් මල්වත්ත පාරත් ටී හන්දියෙන් බෝගහ දෙසට යන ප්‍රදේශයේය. ඔය කියන සංදියේ ජනප්‍රියම රතිඤ්ඤා වර්ගය වූයේ ‘අලිඩොං’ ය. එහෙත් එම රතිඤ්ඤා ගබඩාවක් පුපුරා ගිනි ගැනීම නිසා පසුව එම රතිඤ්ඤා තොග කඩවල පාරාදීසය වූයේ ගෑස්පහ හන්දියේ තොගකඩය. මහරුප් ජලස්ථම්භයේ සිට ගෑස්පහ හන්දියට ආ විට වමට ගියොත් වේල්ල වීදිය හා බෝධිරාජ මාවත හමුවේ. එතැනින්ම කෙළින් වීදියට ද පිවිසය හැකිය. දකුණුපස ඇත්තේ ආදුරුප්පු වීදිය, හෙට්ටිවීදිය හා ගබෝස් ලේන්ය. ගෑස් ලාම්පු පහක් ඒ කාලේ තිබුණු නිසා මෙම නම මේ හන්දියට වැටී ඇති බවට මතයක් තිබේ. ඊටත් වඩා දැන් ඔය නිල්පාටින් ඇති ගෑස් සිලින්ඩරය ඒ කාලේ රතුපාට සිලින්ඩරයක පිරවූ ගෑස් කොම්පැනිය පිහිටියේ ද බෝධිරාජ මාවතේය. ප්‍රධාන වශයෙන් රතිඤ්ඤා තොග කඩ පිහිටියේ සෙන්ට්‍රල් රෝඩ් අන්තයේ පොල්තෙල් තොග කඩ ආරම්භයේ සිට වේල්ලවීදිය පැත්තට වෙන්නටය. ඊට අමතරව පීපල්ස් පාක් සංකීර්ණයේ ද ඒවා දැකගත හැකි විය.

පසුගිය සිකුරාදා අප එහි යනවිට මේ රතිඤ්ඤා තොග කඩවල සේවකයින් සිටියේ දැඩි කාර්ය බහුලවය.

“බොසා ෆුල් බිසී කතා කරන්න වෙලාවක් නෑ. අද තමයි හොඳටම රතිඤ්ඤා විනාශ වෙන දවස” රතිඤ්ඤා කරතියාගෙන එන නට්ටාමි කෙනකු අප සමඟ පැවසුවේ එය කයි කරත්තයේ පටවමිනි. විනාශ වෙන දිනය යනුවෙන් මේ නට්ටාමි පැවසුවේ වැඩිම අලෙවිය ඇති දිනය යන අදහස බජාර් භාෂාවෙනි.

ඔය කයි කරත්තයට පටවපු රතිඤ්ඤා තොගය ඔතා තිබුණේ සවි ශක්තිමත් තේ උරවලය. ඒකේ ඇසුරුම් කොට එන ශක්තිත් ‘ක්‍රාෂ්ට්’ කඩදාසියේ එක් පැත්තක් ‘නිකල් ප්ලේට්’ කර ඇත්තේ ජලය හෝ සුළඟ කා නොවැදීමටත් අසුරණයේ ඇතුළත ඇති සුවඳ එළියට ආඝ්‍රාණය වීම වැළැක්වීමටය. එහෙත් අඩි 2 x 3 වැනි විශාල මේ තේ බෑග් කඩා තේ කුඩු ලබාගත් පසු මේ කොළ යොදා ගන්නේ ඇසුරුම් කටයුතු සඳහාය.

‘කයි’ කියන්නේ දෙමළෙන් ‘අතටය‘ කයි කරත්තය කියන්නේ ‘අත්’ කරත්තය කියා අදහසය. මේ නට්ටාමිලා අතර ටයිකෝට් ඇඳ සන්ග්ලාස් දමා ෆුල් කිට් ඇඳ කයි කරත්තයේ බඩු අදින පුද්ගලයකු ද සිටී. ඔහුට බොහෝ අය කියන්නේ MGR කියාය. MGR කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටි ජනප්‍රියතම සිනමා නළුවා වූ MG රාමචන්ද්‍රන්ය. රාමචන්ද්‍රන් උපන්නේ ලංකාවේ වතුකරයේය.

මේ කයි කරත්තවලට පැටවෙන රතිඤ්ඤා තොග බොහොමයක් දුටුවිට ඒවා දකුණට යන ඒවා බව අපට පැහැදිලිව දැක ගත හැකි විය. අමරසිරි දොඩංගොඩව වරක් හඳුන්වා තිබුණේ දකුණ වමට ගෙනා අමරසිරි දොංගොඩ ලෙසය.

“මේ කයි කරත්තවල පටවන රතිඤ්ඤා මිටිවල ලියල තියෙන ඇඩ්‍රස්වලට යන්නේ කොහොමද?” එක් රතිඤ්ඤා තොග කඩයක සේවකයකුගෙන් අසා සිටියෙමි.

“දැන් තියෙනවා ට්‍රාන්ස්පෝට් සර්විස් කියලා. ඕක පරණ සිස්ටම් එකක්. දුර නගරවලට බඩු ට්‍රාන්සකරන තැන් තියෙනවා. නුවරඑළිය ට්‍රාන්ස්පෝට්, බදුල්ල ට්‍රාන්ස්පෝට්, ගාල්ල ට්‍රාන්ස්පෝට්, අකුරැස්ස ට්‍රාන්ස්පෝට්, ට්‍රින්කෝ ට්‍රාන්ස්පෝට් වගේ. එතැනට පාර්සලේ භාර දුන්නම හෙට උදේ වෙනකෙට කියන තැනටම ලෝඩ් එක ගිහින් භාර දෙනවා. කිසි රස්තියාදුවක් නැහැ.”

මේ බොහෝ දෙනා පවසන්නේ වැඩිම බිස්නස් තියෙන්නේ ඡන්දයට පෙර දිනයේ බවය. ඒ කියන්නේ සැප්තැම්බර් 20 වැනි සිකුරාදාය. මෙහි දි අපට දැන ගත හැකිවූයේ මල්වෙඩි සඳහා විශේෂ ඉල්ලුමක් ඇති බවය. ඒවා පත්තුවෙන වේලාවේ දීර්ඝකම මත මිල තීරණය වෙයි. ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකයින් කතාව ආරම්භ කරන්නට පටන් ගන්නට පෙර වේදිකාවේ අහසේ ඉහළට වමේ සිට දකුණට ගුවන්ගත වන මල්වෙඩි මුළු පළාතම ආලෝකමත් කරනු ලබයි. මල්වෙඩිවලින් නිකුත් වන ගිනිකූරෙන් පත්තුවන අහස්කූරු ගුවනට මුසුවන්නේ රැස්වීම් භූමියම ආලෝකමත් කරමිනි.

“මහත්තයා සඳුදා අඟහරුවාදා වගේ එන්න තිබ්බේ.” අන්තිම ජනාධිපතිවරණ රැස්වීම්වලට මල්වෙඩි, රතිඤ්ඤා, අහස්කූරු අරන් ගියේ ගෝනි ගණන්.”

“එතකෙට ඔය ජනාධිපතිවරණයට පාවිච්චි කරන්නැති ගිනිකෙළිත් තියෙනවද?”

නිලාකූරු, බඹර චක්‍ර ඒවා නම් කීයටවත් ගෙනියන්නේ නෑ. නිලා අරන් ගිහින් ජනාධිපතිවරණ අපේක්ෂකයා පත්තු කරල මූණ වටේ කරකවන්නද? රතිඤ්ඤා වෙළෙන්දා මා සමඟ පැවසුවේ ඔලොක්කුවට මෙනි.

“දැන් ඔය ගිනිකෙළි ජනාධිපතිවරණයට ගෙනියන කොට බලපාන සාධක මොනවාද?”

මුලින්ම බලන්නේ මිල ගැන තමයි. ඒ හින්ද ඉස්සර වගේ ලොකුම ලොකු රතිඤ්ඤා දැන් එන්නේ නෑ. තුන්හුලස් එක නම් තාම තිබ්බ සයිස්මයි. සමහර වේලාවට ලොකු රතිඤ්ඤයක් විකුණනවට වඩා ටිකක් පොඩි 2ක් හදනවා. ගාන අඩුවට තියෙන රතිඤ්ඤාවලට ඉල්ලුම වැඩියි. රතිඤ්ඤා වැල් පිටින් ගන්නකොට පොඩි රතිඤ්ඤාවලට ඉල්ලුම වැඩියි. සද්දේ පොඩ්ඩක් අඩුයි. බට්ටෝවලට කොහොමත් ඉල්ලුමක් හැමදාම තියෙනවා. සමහර අය ගෙට ගෙවදින්න ඉස්සෙල්ල ගෙවල් ඇතුළේ පත්තු කරනවා වස්දොස් යන්න කියලා.”

රතිඤ්ඤාව හැඳින්වෙන්නේ ඉංගිරිසියෙන් Fire cracker යනුවෙනි. ලෝකයේ ගිනිකෙළි ලොව ජයගෙන ඇත්තේ චීනය විසිනි. නවවැනි ශත වර්ෂයේ වෙඩි බේත් සොයා ගැනීමත් සමඟ කරළියට එන්නේ වාණිජමය වශයෙන් චීන ගිනිකෙළිය. මෙහි ආරම්භය 1628 දක්වා දිවෙන බැවින් මේ ගිනිකෙළි කර්මාන්තයට වසර 400කටත් වඩා ඉතිහාසයක් ඇත. කෙසේ නමුත් කොළඹ රතිඤ්ඤා රාජධානිය පුරා කරක් ගැහුවත් අපට චීනයේ නිෂ්පාදිත රතිඤ්ඤා නම් සොයා ගැනීමට හැකිවූයේ නැත.

රතිඤ්ඤා නිෂ්පාදනය කියූ සැණින් අපේ මතකයට එන්නේ කිඹුලාපිටිය නම් මීගමුවේ ගමකි. තවත් අතීතයේ කරුණු සොයා යාමේදී පෙනී යන්නේ වසර 90කට පමණ පෙර මෙහි පැමිණි චීනුන් පිරිසක් එම ගමේ උදවියට රතිඤ්ඤා නිෂ්පාදනය උගන්වා ඇති බවය.

අප මේ පිටකොටුවෙන් රතිඤ්ඤා තොග වෙළෙඳ පොළ තුළ සැරිසරන විට කිඹුලාපිටිය හාදයකු අපට හඳුනාගන්නට ලැබුණි.

“ඔහෙල පත්තරවල කට්ටිය නේද? දැන් මේ ඉන්ටර්නෙට් යුගයේ මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙලා රතිඤ්ඤා ගන්න මෙහෙ එන්නේ කීයෙන් කීදෙනාද? දැන් අපි කිඹුලාපිටියේ ඉඳන්ම ඕඩර් ගන්නේ ඉන්ටර්නෙට් එකෙන්. දැන් හෝම් ඩිලවරි තමා. කොහොමත් ඡන්දයක් ළං වෙනකොට කෝටි ගාණක රතිඤ්ඤා ‘රෙඩි කෑෂ්’වලට කිඹුලාපිටියෙන් රටපුරාම යැවෙනවා.” රතිඤ්ඤාවලට ජාති භේදයක් හෝ ආගම් භේදයක් නැති බවද අපට මේ කිඹුලාපිටියේ පුද්ගලයා සමඟ කළ කතාබහෙන් තහවුරු විය.

“දැන් සිංහල අවුරුද්ද, ක්‍රිස්මස්, තෛපොංගල් උත්සවය හරි කෝවිලේ උත්සවයක් වගේ අවස්ථාවලදී ඒ ඒ ජාතියේ, ආගමේ උදවිය විතරයිනේ රතිඤ්ඤා පත්තු කරන්නේ. ජනාධිපතිවරණයකදී එහෙම නෙමෙයි. ජාති ආගම් භේදයක් නැහැ. මුළු රටේම රතිඤ්ඤා පත්තු වෙනවා. ඒ හින්ද උත්සව කාලයකට වඩා ජනාධිපතිවරණ, මහාමැතිවරණවලදි ජාතික මට්ටමෙන් මහා දරාගන්න බැරි රතිඤ්ඤා තොගයක් පත්තු වෙනවා.”

මෙහිදී අපට පරාජිත අපේක්ෂකයන් නිසා ඉතුරුවන රතිඤ්ඤා තොග ගැනද අපූරු ප්‍රවෘත්තියක් දැනගන්නට ලැබුණි.

“දැන් ගිය සැරේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනයි කියලා පත්තු කරන්න ගෙනිච්ච රතිඤ්ඤා ඔක්කොම ඉතුරු වුණා ලොරි ගාණක්. ඇයි ඊටත් එපිට ජනාධිපතිවරණයේදී සටන් වැදුනේ මෛත්‍රීපාල සිරිසේනයි – මහින්ද රාජපක්ෂයි දෙන්නා. මහින්ද මහත්තයා යුද්ධය දිනපු වීරයා, අපිත් එතුමා දින්නාම පත්තු කරන්න රතිඤ්ඤා ගෙනිච්චේ ලොරි ලෝඩ්. අන්තිමට මහින්ද මහත්තයා පරාද වුණා. රතිඤ්ඤා ලෝඩ් පිටින් ඉතුරුයි. ගිනි තියන්නත් බෑ පුපුරනවා. හැබැයි නියම විදිහට ආරක්ෂා කරල තිබ්බ නම් තෙතමනය නැතුව අවුරුදු දෙක තුනක් තියාගන්න පුළුවන්.”

ජනාධිපතිවරණයට රතිඤ්ඤා පත්තු කරන විට වඩාත් අසරණ වන්නේ බළලුන් – බල්ලන් වැනි සතුන්ය. ඊටත් වඩා මේ රතිඤ්ඤා හඬ නිසා කුඩා කුරුල්ලන්ගේ කන්අඩි පුපුරන නිසා ඒවා පත්තු කිරීමෙන් වළකින ලෙස පරිසරවේදීන් නිතිපතා හඬ නඟති. රතිඤ්ඤා මේ හැර වෙනත් කටයුතුවලට ද භාවිත කෙරේ. වනඅලින් පලවා හැරීමට භාවිත කරන්නේ තරමක් විශාල හඬින් වැඩි රතිඤ්ඤා විශේෂයකි. එමෙන්ම වඳුරන් – මොනරුන් වැනි සතුන් පලවා හැරීමට ද රතිඤ්ඤා භාවිත කෙරේ. පරාජිත ජනාධිපති අපේක්ෂකයින්ගේ අනුගාමිකයින් කරන්නේ ඉතුරු රතිඤ්ඤා තොග මෙවැනි කටයුත්තකට හෙට්ටු කළ මිලකට විකිණීම හෝ ඒත් බැරිනම් නොමිලයේ රැගෙන යාමට අවසර ලබාදීමය.

වාර්තා ගත ලෙස ලංකා ඉතිහාසය පුරා රතිඤ්ඤා අලෙවි වී ඇත්තේ කවරදා දැයි අපට දැන ගැනීමට අවශ්‍ය විය. වැඩිම රතිඤ්ඤා අලෙවියක් සිදුවී ඇත්තේ මේ මොන ජනාධිපතිවරණයකදීවත් නොව එල්ටීටීඊ පරදා ලද ජයග්‍රහණයේදී ය. 2009 මැයි මස යුද ජයග්‍රහණයේදී කිඹුලාපිටියේ එක රතිඤ්ඤා කරලක්වත් ඉතුරු නොවූ බව කිඹුලාපිටියෙන් ආ තැනැත්තා අපට කියූ කතාවකි.

මෙරට ගිනිකෙළි ගැන ආන්දෝලනාත්මක තත්ත්වයක් උදාවන්නේ සහශ්‍ර වර්ෂයේ උදාවත් සමඟය. සහස්‍ර වර්ෂය කිව්වේ වසර 2000 ආරම්භයය. මුළු ලෝකයම 1999 වසරේ නොවැම්බරයේදී සූදානම් වූයේ වසර 2000 උදාව සමරන්නට පිටරටින් හෝ ගිනිකෙළි ආනයනය කළ යුතු බවය. අන්තිමට මේ ගැන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට එවකට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට රැස්වීමක් පැවැත්වීමට සිදු වූයේ ගම්පහ දිසාපති කාර්යාලයේදීය.

සහස්‍ර වර්ෂයට වුවමනා රතිඤ්ඤා – ගිනිකෙළි තොග ලංකාව ඇතුළේම නිෂ්පාදනය කරන්න අපේ නිෂ්පාදකයින්ට හැකි නම් රටින් ගෙන්නන්න බලපත්‍ර දෙන්නේ නැහැ” යි ඇමැති ජෙයරාජ් පැවසුවේ ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින්ගේ රැස්වීමේදී ප්‍රශ්නය නිරාකරණය කරන ලදි.

චන්ද්‍රිකා ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස පත්වූයේ මීට වසර 30කට පෙර 1994දී. ඊට වසර 30කට පසු පවත්වන්නට යෙදෙන 2024 ජනාධිපතිවරණයේදී නම් ගිනිකෙළි ආනයනයට මේ විශේෂ අවස්ථාවේ සිදුනොවීම වාසනාවක් වී තිබේ.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division