ගිනිගෙන දැවෙන ඉර රතු ගිනි බෝලයක් සේ බස්නාහිරින් බැස යමින් සිටියේ නොකැමැත්තෙන් මෙනි. එහෙත් සඳ නැඟ ඒමට නම් ඉර බැස යා යුතුමය. හිමිදිරියේ නැඟුණු ආඩම්බරැති හිරුට වඩා සවස නෝක්කාඩුවෙන් බැස ගිය හිරු මසිතට දුක්බර හැඟීමක් කාන්දු කළ සෙයකි. වරාය නගරයේ කෙටි බැම්මක් මත හිඳ ඉමක් නොපෙනෙන මහ සයුරේ ඈත කොනක ගිලෙන හිරු මෙන්ම සෙමින් මතුවන සඳ දෙසද අපි වශීකෘතව බලා සිටියෙමු. රාත්‍රිය උදාවෙමින් තිබෙන බව වරාය නගරයට හෝ එහෙ මෙහෙ දුවමින් ප්‍රීතියේ සිනා කැන් වපුරන ජනකායට වගේ වගක් නැත. දහවල දැනුණු අවු රශ්මිය කොහේ ගියාදැයි නොදැනේ. මුහුද සිසාරා හමා එන සිසිල් සුළඟ අප ආ ගමන්මඟ නැවත නැවතත් සිහිපත් කරන්නට මසිත පෙලඹ වීය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුමෙන් සවස 4ට පමණ ඇතුළු වූ අපට කිසිදු බාධාවකින් තොරව වරාය නගරය වෙත පිවිසීමට හැකි විය. පෝට් සිටි ඇප් එක හරහා අපගේ වාහන අංකය ඇතුළත් කර අවශ්‍ය අවසරය ලබාගෙන තිබීම අපගේ ගමන පහසු කළේය. මෙහි පැමිණෙන ඕනෑම අයකුට එය එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ තාක්ෂණයේ දියුණුව නිසාය. වරාය නගරය නැරඹීමට එන සාමාන්‍ය ජනතාව පැමිණෙන වාහන සඳහා අවසරය ලබා ගැනීමට කළ යුත්තේ පෝට් සිටි ඇප් එක ඩවුන්ලෝඩ් කර ඒ හරහා අදාළ වාහන අංකය ඇතුළත් කිරීමෙන් පසු ලබා දෙන QR කේතය හරහා වරාය නගරයට ඇතුළු වීමේ අවසරය ලබා ගැනීමය.
වරාය නගරය නැරඹීමට දැන් ඕනෑම වාහනයකින් පිවිසිය හැකි අතර නොමිලේ වාහනය ගාල් කළ හැකි රථ ගාලක් තිබීම ද විශේෂත්වයකි. පා ගමනින් එන්නන්ට කිසිදු බාධාවක් නොවේ. අප මේ පිවිස සිටින්නේ ස්වාභාවිකත්වය ඉස්මතු වන පරිදි මුහුද ගොඩ කර කෘත්‍රිමව නිර්මාණය කරන ලද හෙක්ටයාර 269ක් හෙවත් අක්කර 664ක පිහිටි කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටි භූමි පරිශ්රයටය. දිය කඩනය සහ දිය අගල ඇතුළුව මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 446ක් නැතහොත් අක්කර 1102කි. මුහුද ගොඩකර අලුතින්ම ගොඩබිමට එක් කළ මෙම භූමිය චීන ආයෝජනයක් ලෙස සිදු කෙරෙන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙස හැඳින්වේ. එය මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය, දූපත් වාසය ලෙස අනු කලාප 5කින් සමන්විතය.
වරාය නගර පිවිසුමෙන් ඇතුළු වූ වහාම පෙනෙන දසුනින් මුසපත් වූ අප වහා වාහනයෙන් බැස ගත්තේ පා ගමනින් ඇවිද ගොස් වරාය නගරයේ අසිරිය සියැසින් විඳගැනීමේ අරමුණෙනි.
මඳක් නතර වී අවට සිසාරා ගිය මනෙත නතර වූවේ විවිධ පැහැයෙන් වවා තිබූ අලංකාර මලින් පිරුණු බෝගන්විලා මල් බඳුන් පෙළ වෙතය. එය වරාය නගරයට ඇතුළු වන්නන්ගේ නෙතට අංජනයක් මෙනි. ඒ ඔස්සේ ඇවිද ආ අපට හමු වූයේ කොළ පැහැති අලංකෘත තණ බිමක සවිකර ඇති PORT CITY නාම පුවරුවයි. රතු පැහැයෙන් දිදුලන හදවත් ලකුණ පෝට් සිටි නාමය හා ගැටෙමින් කියාපාන්නේ මෙහි ඇතුළු වන සැවොම තම හදවත මෙන් මෙබිම රැකගත යුතුය යන්නදැයි මට සිතුණි. වරාය නගරය නැරඹීමට පැමිණෙන්නන් එම නාම පුවරුව හා සිටිමින් තම රුව ඡායාරූපගත කර ගන්නේ එය තවදුරටත් මතක සැමරුම් අතරේ රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බව සහතිකය. එතැන් සිට ගාලුමුවදොර පෙනෙන මානයේ නැවතී මඳක් අපි එහි අපූරුව ද විඳගත්තෙමු. ඈතින් පෙනෙන දැවැන්ත ගොඩනැඟිලි සමූහය දකින අයකුට මෙය පිටරටක දසුනක් දැයි නැඟෙන සිතුවිල්ල සාධාරණ බව ද නොකියාම බැරිය. එය එතරම්ම මනරම්ය.
එතැන් සිට පඩි පෙළ බැස ගිය අප නතර වූවේ මරීනා ජල තටාංගනය පිහිටි පෙදෙසේය. ඒ වටා බැඳි උසැති ආරක්ෂිත වැට එය ආරක්ෂිත කලාපයක් බවට ඉඟි පළ කළෙන් බොහෝදෙනා එය තමන්ගේ ඡායාරූප එකතුවට එක්කර ගන්නා අයුරු දුටුවෙමු. ඒ වනවිටත් තටාංගනය තුළ කුඩා ප්‍රමාණයේ යොට් එකක් නවතා තිබුණු අතර මධ්‍යම ප්‍රමාණයේ තවත් යොට් එකක් එහි පැමිණියේ අවට සිරි නරඹමින් එහි සිටි කිහිප දෙනකු ද සමඟිනි. තටාංගනය වටා රවුමක් ගොස් එය නැවත ඈතට යන අයුරු අප බලා සිටියේ ද නැව් තටාංගනයක ආකෘතියක් සිතේ මවාගනිමිනි. ජල තටාංගනයේ අනෙක් පස ඇති ඇවිදින මංතීරුව කෙනෙකුට නිදහසේ ඇවිදීමට, වාඩිවී සිට මඳක් ගිම් නිවාගන්නට කදිමය. පඩි පෙළ මෙන්ම ලස්සන නිමාවකින් යුතුව නිමකර ඇති මරීනා ජල තටාක පරිශ්‍රය මලින් බරවූ අරලිය ගස්වලින් සුන්දර වද්දී, එහි පොල් ඇතුළු විවිධ ශාක වවා ඇත්තේ අලංකාරය මෙන්ම සෙවණ ද බලාපොරොත්තුවෙන් විය හැකිය. බැස යන හිරුගේ රශ්මියෙන් මිදෙන්නට එය කදිම පිළියමකි.
මඳක් නුදුරේ පෙනෙන කවාකාර ආරුක්කු පාලම අප නෙත ගැටුණේ අහම්බෙනි. ඡායාරූපයෙන් පමණක් දැක තිබුණු මෙම ආරුක්කු පාලම ද ඇවිදින මං තීරු පරිශ්‍රයක් බවට සාක්ෂි සපයමින් කිහිප දෙනෙකුම ව්‍යායාමවල යෙදෙන අයුරු දැකගත හැකිවිය. දිගින් මීටර 500 – 700ක් දිගැති ආරුක්කු පාලම මත සිටි අපට ඈත පොල් ගස් අතරින් බැසයන හිරුගේ රන්වන් පැහැයෙන් බබළන බටහිර අහස මවනා අපූරු සිතුවම දැකගත හැකි විය. පාලම මත හිඳ බලන කල නෙතට හසුවන දෘශ්‍ය පරාසය ඉහළ බව වැටහුණෙන් අප ද එහි මඳක් නතරව අවට සිසාරා බලමින් පෙනෙන දසුන් ඡායාරූපගත කරගත්තේ අපූරු සැන්දෑවක අසිරිය කලක් මතකයේ ගබඩා කර තබාගැනීමේ අරමුණෙනි. පාලම මතින් බැස විත් නැවතත් පදික මං තීරුව ඔස්සේ ඇවිද ආ අපට වරාය නගරයේ සිට කොළඹ අවට පෙදෙස එකවර නැරඹිය හැකි වරාය නගරයේ වීව් පොයින්ට් එක හමු විය. එතැන සිට අප දෘශ්‍ය පථයට හසුවන වපසරිය බොහෝ පුළුල්ය. කොළඹ කොටුවේ සිට දෙහිවල දක්වා පියවි ඇසින් එකවර බලා ගැනීමේ දුලබ අවස්ථාව සිත් සේ විඳගත් අපි රතු කාපට් මංතිරුව දිගේ ඉදිරියට ඇවිද ගියෙමු. ඇවිද යන්නන්ට මෙන්ම බයිසිකල් පදින්නන්ට ද වෙන්ව ඇති රතු කාපට් මං තීරුව පෝට් සිටි නගරයට එක්කරන්නේ අලංකාර නිමාවකි.
වරාය නගරයේ බොහෝදෙනාගේ සිත්ගන්නාසුලු සතුට, විනෝදය දෝරගලන ස්ථානයට අප පිවිසියේ ඉන් අනතුරුවය. ලංකාවේ එකම සහ ලොකුම කෘත්‍රිම වෙරළ තීරය එයයි. අප මේ සිටින්නේ කෘත්‍රිමව ගොඩකර සාදාගත් බිම් කඩක දැයි සිතා ගැනීමටවත් නොහැකි තරම් එය ස්ථාවරය. කිලෝමීටර් 2ක් පමණ දිගින් යුතු මෙම වෙරළ තීරයෙන් බොහෝදෙනකු දැනටමත් ප්රතිලාභ ලබන බව පැහැදිලිය. ජල ක්‍රීඩාවට, කොරල් නැරඹීමට මෙන්ම නිදහසේ සවස් වරුවක් ගත කරන්නට, සාදයක් පැවැත්වීමට මෙය කදිම ස්ථානයකි. වෙරළ සාද, උපන්දින සාද, සංගීතමය අවස්ථා සඳහා ද යොදා ගන්නා මෙම වෙරළ තීරය සතියේ දිනවලට වඩා සති අන්තයේදී වඩාත් කාර්යබහුල සහ ජනාකීර්ණ වන බවක් දක්නට ඇත. කුඩා පාසල් ළමුන් පිරිසක් තමන් නිල ඇඳුමින් සිටින බව අමතක වූවා සේ දියේ පනිමින්, ගිලෙමින්, දුවමින්, කෑකෝ ගසමින් විනෝද වන අයුරු දුටුවෙමු. මුහුදු රළ පහර එතරම් සැඩ නොවන නිසාම එහි අවදානමක් නොවන බව පැහැදිලිය. වෙරළ තීරයේ එක් පසෙක කණු දෙකක් මත බැඳි ඔන්චිල්ලා මත පාසල් දැරියන් කිහිප දෙනකු තරගයට මෙන් ඔන්චිලි පදින දසුන අප සිත අතීතයට ගෙන ගියේ නිමේෂයකිනි. වැල්ලේ මාළිගා තනන කුඩා දරුවන් ද ඔවුන්ගේ සිහින අතරේ අතරමං වී සිටි අපූරුව ජායාරූපයකට හසුකර ගත් අපි කුඩා දරුවන්ට මෙවන් නිදහසක් සතුටක් ලැබෙන තැනක් මේ අවට තවත් වෙත්දැයි සිහි කළෙමු. සිත් සේ විනෝද වන කුඩා දරුවන් දෙස බලා සිටින වැඩිහිටියන්ද අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඒ සතුට විඳගන්නේ කාර්යබහුල දිවියට පුංචි ඉසිඹුවක් ලැබුවාක් මෙනි.
වරාය නගරයේ සුවිශේෂීම ස්ථානය වන මෙම වෙරළ තීරයේ තවත් ජල ක්‍රීඩා රැසක් සිදුවන බව අපට පැහැදිලි විය. මෙහි කොරල් පර නැරඹීමේ පහසුකම ද පවතී. ජල ක්‍රීඩා මෙන්ම කොරල් නැරඹීම සඳහා ගෙවීමක් කළ යුතු විය. ආරක්ෂිත කබා සහ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම නාවික හමුදා නිලධාරීන් මේ ස්ථානයේ සේවයේ යොදවා ඇත්තේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණිනි. සෙල් ලංකා ආයතනය හරහා කොරල් නැරඹීමට, සාමාන්‍ය බෝට්ටු පැදීමට මෙන්ම උපන්දින සාද පැවැත්වීමට අවශ්‍ය බෝට්ටු මුදල් ගෙවා ලබාගත හැකිය. ඩිංගි බෝට්ටු මෙන්ම 40/50 පිරිසක් ගෙනයා හැකි පාර්ටි බෝට්ටු ද එහි පවතින බව අප හා පැවසුවේ ජල ක්‍රීඩා සම්බන්ධීකරණය කරන සේවක මහතෙකි. කායක් තනි බෝට්ටුවක් පැය භාගයකට රුපියල් දහසක් ද ද්විත්ව බෝට්ටුවකට එක් අයකුට රුපියල් දහස බැගින් රුපියල් දෙදහසක් අය කරන බව ද ඔහු අප හා පැවසුවේය. සාමාන්‍ය බෝට්ටුවකට පැය භාගයක් සඳහා රුපියල් 10,000ක් බවත් කොරල් බැලීම සඳහා යොදා ගන්නා වීදුරු පතුල සහිත බෝට්ටුවකට රුපියල් 6,000ක් අය කෙරෙන බවත් පැවසූ ඔහු වැඩිහිටියන් 4 දෙනකු සහ ළමුන් දෙදෙනෙකුට එහි ගමන් කිරීමට ප්‍රමාණවත් ඉඩක් පවතින බවත් ද පැවසීය.
කුඩා ළමුන් සඳහා වෙනමම ජල ක්‍රීඩා පවතී. පැය භාගයක කාලයක් සදහා රුපියල් 500ක් හෝ 600ක් ඒ සඳහා අයකෙරේ. වෙරළේ ගොඩගසා තිබෙන වතුරේ පාවෙන ටියුබ් රෝල් මෙන්ම බනානා හැඩයේ ටියුබ් අප නෙතට ලක්විය. ජල ටියුබ්වල නැඟී මුහුදේ පාවෙමින් ප්‍රීතිඝෝෂා නඟන කුඩා දරුවන් කිහිප දෙනෙකු ද අප නෙතට හසු විය. ජනාකීර්ණ නගරයක මෙවැනි ස්ථානයක් තිබීම කොතරම් අගනේ දැයි මට සිතුණි. අඳුර හාත්පස ගිල ගනිමින් තිබුණ ද මෙහි සිටින කිසිවකුට ඒ ගැන හැඟීමක් නොමැති ගානය.
හෝරාවක් තිස්සේ බිඳෙන් බිඳ වැඩුණු කුසගින්න ඒ වන විට මෝරා ගොස් තිබූ නිසාවෙන් අපි ඒ අසල පිහිටි බීච් ප්ලාසා රෙස්ට්ටුරන්ට් වෙත පිය නැගුවෙමු. බැලූ බැල්මට එය අමුතුම තාලේ රෙස්ටුරන්ට් එකක් බව නම් පැහැදිලි විය. මිල ගණන් කෙසේ වේදැයි සැක සිතුණු නිසාම ඒ ගැන විමසීමක් කිරීමේ අදහසින් අප එහි කළමනාකරු වෙත ළං වීමු. ඔහු නමින් සංජීව වන අතර සැවොම ඔහු හඳුන්වන්නේ රොබට් ලෙසිනි.
“මේක Beach Plaza Food Court එක. අපේ අවුට්ලට් 28ක් තියෙනවා. එකිනෙකට වෙනස් කෑම වර්ග තියෙන්නේ. එකම කෑම වර්ගය කිසි විටෙක දෙකකින් ගන්න බෑ. සිංගප්පූරු, ඉතාලි, චයිනීස්, ශ්‍රී ලංකන් චයිනීස් නූඩ්ල්ස් , චොකලට්, බන් වර්ග, මිල්ක් ෂේක් මේ ආදි හැම දෙයක්ම තියෙනවා. ශ්‍රී ලංකාවෙ ජාති තමයි වැඩිපුර තියෙන්නේ. ඒවත් හොඳම කොලිටියෙන්. පිට තැන්වලට වඩා ගානෙත් ලොකු වෙනසක් නෑ. බාර් එකත් විවෘතයි. සෙල්ෆ් සර්විස් එක සපයගන්න ඕන. ලොකු ඉවෙන්ට් එකකදි නම් අපි සේවය සපයනවා. ඊට අමතරව පාර්ටි ඒරියා එකකුත් තියෙනවා. ඒ සඳහාත් ඇණවුම් බාරගන්නවා. දවස් දෙකකට කලින් ඕඩර් කරන්න ඕන. කූපන් සිස්ටම් එකක් හරහා සහනදායි සේවයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. අපි ලොකු මියුසික් ඉවෙන්ට්ස් පවා මේකෙ කරනවා. උදේ 10.00 – රාත්‍රී 11.00 දක්වා අපේ අවන්හල විවෘතයි.
බෝට්ටු සිස්ටම් එක වගේම තවත් අලුත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ස්කූබි ඩයිවින් ට්‍රේනිං සෙන්ටර් එකේ වැඩත් දැන් නිම වෙමින් තියෙනවා. ඒ අත්දැකීමත් ඔයාලට ඉක්මනින්ම ලබාගන්න පුළුවන්. ඇතුළු වීම නොමිලේ වගේම වාහන නවතා තැබීමේ පහසුකම් ද නොමිලේ ලැබෙනවා. මුහුදෙ නාන අයට නැවත දිය නෑමට අවශ්‍ය පහසුකම් ද සපයා තියෙනවා. ගොල්ෆ් ක්ලබ්, නයිට් ක්ලබ් එක වගේම අශ්වාරෝහක පුහුණුව, කිඩ්ස් ඒරියා, කාට් රේස් වගේ අත්දැකීම් ලබාගන්නත් පුළුවන්. ඕනෑම අයකුට අදාළ ගෙවීම කරලා ATV ට්‍රැක් එකේ අත්දැකීමත් ලබාගන්නත් පුළුවන්.”
Beach Plaza Food Court එකෙන් රසවත් කොත්තුවක රස බැලීමට ද අප අමතක නොකළෙමු. සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මුදලකට Beach Plaza Food Court එකෙන් විවිධ රසයෙන් කෑම වර්ගවල රස විඳිමේ අවස්ථාව ඇත. අඳුර පොළෝ තළය තදින් සිප ගනිද්දි අප නැවතත් ඇවිදින මං තීරුව ඔස්සේ ආපසු ඒමට පිටත් වූයේ රාත්‍රී කාලයේ වරාය පෙනෙන අපූරුව ද විඳගනිමිනි.
ලංකාවේ ඕනෑම කෙනෙකුට පැමිණ මේ අපූරු අත්දැකීම විඳ ගැනීමට දැන් කිසිවකුගෙන් බාධාවක් නැත. අනේකවිධ ගැටලුවලින් පීඩිතව ජීවන අරගලයට මුහුණ දෙන ජනතාවට මඳක් හෝ ඉසිඹුවක් ලබා හදවතේ කැකෑරෙන පීඩනය මුදාහරිමින් තම පවුල හෝ හිතමිතුරන් සමඟ මොහොතක් හෝ සතුටින් ගෙවන්නට මෙය කදිම ස්ථානයක් බව කිව යුතුමය.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
නාමලී ගමගේ