Home » ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ අවුල පිටුපස කතාව

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ අවුල පිටුපස කතාව

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

කුත් සැප්තැම්බර් 15 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලැබුවේ මැතිවරණ රාජකාරී උණුසුමේය. මේ නිසා දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාගය ලිවීමට අවස්ථාව උරුම කර දෙමින් විභාග දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් කළද ඊට පසු දින පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නට වූයේ විභාග කොමසාරිස් ජනරාල්වරයාටමය.

ඒ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව තිබූ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වෙමිනි. විභාග දෙපාර්තමේන්තුව විසින් ඊට පසුදිනම මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

මීට අමතරව අනුරාධපුර ප්‍රදේශයේ පාසල් විභාග මධ්‍යස්ථානයක පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කර බෙදාහරින ලද බව පැවැසෙන ශාලාධිපතිවරයකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු පිළිබඳව චෝදනාවක්ද විභාග දෙපාර්තමේන්තුවට ලැබිණි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කොට තවත් ගුරුවරුන් කිහිප දෙනෙකුට යැවීම සම්බන්ධයෙන් එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමඟ ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතන ද සමඟ විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබිණි.

කුඩා දරුවන්ගේත් මවුපියන්ගේත් ඉතා සංවේදී විභාගයක් වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න පිට වූයේ යැයි කරන මේ චෝදනා පෙළගැස්වී ඇත්තේ මෙසේය. මීට සම්බන්ධ මවුපියන් පවසන ඇතුළාන්ත කතාව මෙසේය.

“ විභාගය අවසන් වූ පසු ශිෂ්‍යත්ව පළමු පත්‍රයේ ඇතැම් ප්‍රශ්න (ප්‍රශ්න හයක් පමණ) ඒ හා සමාන ආකාරයෙන්ම ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට ඇතුළු වූ බව වට්ස්ඇප් සමූහවල සැරිසරන්නට වුණා. පසුදින දහවල් වෙද්දී මවුපියන්, ගුරුවරුන් ඊට එරෙහිව අවැසි ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් වුණා. මුලින්ම සොයා ගත්තේ එම ආදර්ශ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහවලට යොමු කළ ගුරුවරයා කවුරුන්ද යන්න. ඔහු වරකාපොළ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරයා බව හෙළිදරව් වුණා. ඒ එම ආදර්ශ ප්‍රශ්න ඇතුළුව වට්ස්ඇප් සමූහවල සැරිසරන්නට වූ ‘වරකාපොළ මිස්‘ නමැත්තියගේ වට්ස්ඇප් නාමය සහිත වට්ස්ඇප් අංකයෙන් යොමුවූ ‘චමින්ද සර් යවලා තියන එකක්‘ යැයි සඳහනත් සමඟින්. ඒ සමඟම වට්ස්ඇප් සමූහවල සැරිසරන්නට වූයේ එම ආදර්ශ ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය ශිෂ්‍යත්ව විභාගයට පෙර දින එනම් 9/14 වැනිදා රාත්‍රී 7ට පමණ එම ගුරුවරයාගේ උපකාරක පන්ති වට්ස්ඇප් සමූහවලට යොමුකර ඇති බවත් එය 15 වැනි දින පාන්දර 4ට පමණ ඉවත් කර ඇති බවයි.

එම චමින්ද නමැති ගුරුවරයා ලබාදුන් ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් ශිෂ්‍යත්ව පළමු පත්‍රයේ සඳහන් 5, 13, 20, 21, 27 සහ 32 ප්‍රශ්න සංකල්ප ඇතුළු සියලු දෙයින්ම එකම ආකාරයට සමාන ලෙස පිහිටා තිබීම මෙහි තත්ත්වය තීව්‍ර කරවන්නට වුණා.

ඊට අමතරව කුරුණෑගල නගරයේ උපකාරක පන්ති පවත්වන එක්තරා ගුරුවරයෙක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන මොහොතේම එම විභාග ප්‍රශ්නපත්‍රවල සඳහන් බවට සැක කරන ඉංග්‍රීසි, දෙමළ ඇතුළු වචන කිහිපයක් ඔහුගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කළා. මේ නිසා මවුපියන් ඉකුත් බදාදා දින විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව විරෝධය දක්වන්නට වුණා.

අප සොයාගත් ආකාරයට චමින්ද සර් නමැත්තා මේ වන විට රජයේ පාසලක ශිෂ්‍යත්ව ගුරුවරයෙක්. ඔහුගේ බිරිය ද එම පාසලේම ගුරුවරියක්. මෙම ගුරුවරයා පසුගිය සැප්තැම්බර් 7 වැනිදා රන් කුසලාන නමින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් පවත්වා තිබුණේ අලව්ව ඔහු උපකාරක පන්ති පැවැත්වූ ආයතනය තුළයි. එම සම්මන්ත්‍රණයට ළමයින් විශාල ප්‍රමාණයක් සහභාගි වී තිබුණා. ඒ සඳහා මුදල් ද අය කර තිබුණා.

එම සම්මන්ත්‍රණයේදී ඔහු පුන පුනා දරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ විභාගය ළං වන දින වන විට මවුපියන්ට තමා විසින් නිර්මාණය කළ වට්ස්ඇප් සමූහ ගැන අවධානයෙන් සිටින ලෙසත් ඔහු විසින් ශිෂ්‍යත්වයට අදාළ විශේෂ වූ දෑ එම වට්ස්ඇප් සමූහ වෙත නිකුත් කරන බවයි.

ඒ අනුව ඔහු 14 වැනිදා රාත්‍රී 7ට පමණ නිකුත් කර තිබුණේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලබාදුන් පළමු පත්‍රයට ඇතුළත් ප්‍රශ්නවල සංකල්ප මෙන්ම රූප අතින් බොහෝ සමානකම් දක්වන ප්‍රශ්න පත්‍රයක්. මවුපියන් විසින් ඒවා වෙනත් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලට යැවීම නිසා ආන්දෝලනාත්මක පුවතත් ඇති විය.”

මෙම ගුරුවරුන් සහ මවුපියන් එකහෙළා මැසිවිලි නඟන්නේ මෙම චමින්ද නැමැත්තාට ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් නිකුත් කිරීමට තරම් තිබෙන විශ්වකර්ම ශක්තිය කුමක්ද යන්න පිළිබඳවය.

මෙම ගැටලුව හමුවේ දරුවන්ට සාධාරණයක් ඉටු කරනු වස් ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඬුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේ පසුගිය 17 වැනිදාය. නමුත් විභාග දෙපාර්තමේන්තුව ගත් මේ තීරණයට විරෝධය දක්වමින් මවුපියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වය පාලනයට කැරලි මර්දන ඒකකය කැඳවීමටද බලධාරීන්ට සිදු විය.

මේ සියලු පෙළගැස්වීම් හමුවේ විභාග දෙපාර්තමේන්තු විමර්ශන අංශය විසින් නිසි පරීක්ෂණයක් ආරම්භ කළේ සියලු සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමටය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළේ පසුගිය 19 වැනිදාය. එයින් කියවුණේ මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගැනීමට නියමිත බවය.

මේ පිළිබඳව සිළුමිණ පුවත්පතට අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිසි පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එයින් අනතුරුව විභාගය සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ දැනුම් දෙන බවය.

“මේ වන විට පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධව මතුවී ඇති ගැටලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා තියෙනවා. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවෙනුත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 16ක් පිටවූ බවට කතාවක් පැතිර ගියත් අදාළ තැන්වල මේ ප්‍රශ්න 16 විභාගයට පෙර ළමයින්ට ලබාදීලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් වී දිනක් ඇතුළත මේ සම්බන්ධ පැමිණිලි ලැබුණා. මේ ප්‍රශ්න 16න් විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමානකමක් දක්වන්නේ ප්‍රශ්න 3ක් පමණයි. මේ ප්‍රශ්න තුන පමණයි මේ ආකාරයෙන් ශිෂ්‍යත්ව විභාගයට බලපෑමක් ඇති බවට සැක කරන්නේ. එසේම ප්‍රශ්න තුන ඍජුවම විභාග ප්‍රශ්නවලට සමානකමක් දක්වන්නෙත් නැහැ. මේ ප්‍රශ්න තුනෙන් එක ප්‍රශ්නයක් පමණයි එක් වචනයක පමණක් වෙනසක් ඇතිව සමානකමක් දක්වන්නේ. අනිත් ප්‍රශ්න දෙක සංකල්පය පමණක් තබාගෙන ප්‍රශ්න අසන ආකාරයේ වෙනසක් පවතිනවා.

මේ වන විට මට ලැබී ඇති තොරතුරු අනුව මේ සිදුවීම විභාග දෙපාර්තමේන්තුව තුළින් සිදුවූ බවට තොරතුරක් නැහැ. මේ පිටවූවා යැයි අනුමාන කරන ප්‍රශ්න ඒ ආකාරයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයේ නැහැ. විභාග දෙපාර්තමේන්තු මුද්‍රණාලයෙන් පිටවූවා නම් එසේ අසමාන ස්වරූපයෙන් පවතින්නට විදියක් නැහැ. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන මුද්‍රණාලය පවතින්නේ විභාග දෙපාර්තමේන්තුව තුළමයි. මේ කටයුතු සිදු වන්නේ ඉතාමත් රහස්‍ය ආකාරයෙනුයි. එම අංශයට පැමිණෙන හා පිටවන සියල්ලන්ගේම ශරීර පරීක්ෂාවක් සිදු කෙරෙනවා. ඒ වගේම ඒ අංශයට නිසි හමුදා ආරක්ෂාව යොදවා තියෙනවා. සෑම යන්ත්‍රයක්ම නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක් වන අතර සියල්ල අධික්ෂණයට සී සී ටී වී යන්ත්‍ර සවි කර තියෙනවා. මේ නිසා මෙවැනි තත්ත්වයක් යටතේ ප්‍රශ්න පිටවීමක් මුද්‍රණාලය තුළින් සිදු නොවූ බවට මට විශ්වාසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ඇතුළත සම්බන්ධකමක් පවතිනවාද නැද්ද යන්න සොයන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කර තියෙනවා. ඇත්ත තත්ත්වය සෙවීමට අපි එම පරීක්ෂණයන්ට ඉඩ දිය යුතුයි. දැනට පවතින තත්ත්වය තුළ විභාගය නැවත පැවැත්වීමක් සිදු කළ යුතු යැයි මම සිතන්නේ නැහැ. නමුත් අවසන් තීරණය තීන්දු වන්නේ මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි. පරීක්ෂණ කඩිනමින් සිදු වෙනවා. “

පසුගියදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුහු 323,879 දෙනකු පෙනී සිටියහ. මේ ගැටලුව ඔවුන් සියල්ලෝටම බලපාති. සුළු ලාභය තකා වැඩිහිටියන් විසින් සිදු කරන අමන ක්‍රියා හේතුවෙන් මේ නොදරුවෝ මුහුණ දෙන්නේ දැඩි පීඩාවකටය. ‘ මාර සැහැල්ලුවක් දැනෙනවා’ , ‘ සුළඟේ පාවෙනවා වගේ දැනනවා’ දරුවෝ විභාගය අවසන් වූ පසු මාධ්‍යයට කීවේ ඒ ආකාරයටය. ඒ තරම්ම ශිෂ්‍යත්ව විභාගය මේ පුංචි මනසට බරක් වී හමාරය. අපිට නැවතත් විභාගය ලියන්න වෙයිද කියා දැන් ඒ පුංචි හිත් තවත් බරකින් පීඩා විඳිති. අනෙක් පසින් අපේ විභාග සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි. ඒ විශ්වාසය බිඳවැටීමට මේ සුළු සිදුවීම් පවා ප්‍රමාණවත්ය.

මීට වගකිව යුත්තෝ කවරහුද? ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම මෙන්ම විභාග රහස්‍යභාවය බිඳවැටීම සම්බන්ධයෙන් වූ මෙවැනි අකටයුතු සිදු කරන සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය.

සුභාෂිණි ජයරත්න, අමිල මලෙවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division