ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතු පේජර් සහ වෝකි ටෝකි පණිවිඩ යන්ත්‍ර පිපිරීම තවමත් අභිරහසකි. හෙස්බුල්ලා සාමාජිකයන් පමණක් නොව ලෙබනන් රජයත් එහෙම පිටින්ම උඩුයටිකුරු කළ සිදුවීමකි. පිපිරී ගියේ නිකම්ම නොව ජීවිත 37ක්ම බිල්ලට ගනිමිනි. ලෙබනනයේ තැන්තැන්වල විසිරී සිටින හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන්ගේ කලිසම් සාක්කුවල හා අතෙහි තිබූ පේජර් පණිවිඩ යන්ත්‍ර තොගයක් හිටිහැටියේම පිපිරී යෑමෙන් ආරම්භ වූ ප්‍රහාර මාලාව නතර වූයේ දෙවැනි දිනයේදී ඔවුන් සතුව තිබූ වෝකි ටෝකී පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිපිරී යෑමෙනි.
ඉන් තුන්දහසක පමණ පිරිසකට දරුණු තුවාල සිදු විය. ඉන් දෙසියයකට අධික පිරිසකගේ තත්ත්වය තවමත් බරපතළය. ඊශ්‍රායලයේ වුවමනාවට මොසාඩ් සංවිධානය විසින් සැලසුම් කරනු ලැබූ කීවත් එය සිදු වූ ආකාරය ගැන තවමත් ඇත්තේ අනුමාන කිරීම් පමණි.
එය සිදු වී ඇත්තේ නවීන තාක්ෂණයේ භාවිතයෙනි. සැබැවින්ම විස්මය ජනක හා කුතුහලය දනවන සුළු සිදුවීමකි. මීට පෙර මෙවැනි මුහුණුවරකින් යුතු ප්‍රහාරයක් සිදුවී නැති බැවින් අමෙරිකාව,රුසියාව ඇතුළු ලොව නොම්මර එකේ බුද්ධි නිලධාරීන්ගේ නළල් තල පවා රැලි ගන් වී තිබේ. ලොව පුරා රටවල් රැසක දේශපාලන භූමිකාව ව්‍යාකූල කරවීමේ කූප්රකට ඉතිහාසයක් ඇති අමෙරිකාවේ සීඅයිඒ සංවිධානය පමණක් නොව රුසියාවේ කේජීබී සංවිධානයත් අන්දමන්ද කරවූ එකකි. අනිත් අතට ආසියාවේ පසමිතුරන් වන පාකිස්තානය හා ඉන්දියාවත් දැඩි භීතියට පත් කළ එකකි.
නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීමට හැකියාව ඇතැයි පාකිස්තානයේ අයිඑස්අයි බුද්ධි සංවිධානය හා ඉන්දියාවේ රෝ සංවිධානය පවා දැන නොසිටින්නට ඇත.
අසූව දශකයේ මුල් භාගයේදී එවකට ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදාවට සටන් වැදීමේ අරමුණින් බිහි වූ හෙස්බුල්ලා සංවිධානය මෙවැනි ප්‍රහාරයකට මුහුණ පෑවේ ගාසා යුද්ධය මුල් කරමින් ඊශ්‍රායලය සමඟ යළි ඇවිලී සිටියදී ය. ගාසා යුද මෙහෙයුම් නතර කරනතුරු පහර දෙන බව කියමින් හෙස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට දකුණු ඊශ්‍රායල දේශ සීමාවට එකදිගට දරුණු මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියදීය. මේ තත්ත්වය මත දකුණු ඊශ්‍රායල වැසියන් රට අභ්‍යන්තරයට පලා යන්නට වූ අතර, ඔවුන්ට නවාතැන් ගැනීමට හෝටල් සහ වෙනත් ස්ථාන ලබාදීමට රජයට සිදුවී තිබිණි. ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ යුද වැදී සිටි ඊශ්‍රායල හමුදාවට ඊළඟට හෙස්බුල්ලා සංවිධානයට එරෙහිවත් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සිදුවීමෙන් ඊශ්‍රායල රජය අභියෝග රැසකට මුහුණ පෑවේය. පේජර් හා වෝකි ටෝකි පණිවිඩ යන්ත්‍ර පිපිරීම මොසඩ් සංවිධානයේ මෙහෙයුමක් බවට කතාව පැතිරී ගියේ එනිසාය.
ප්‍රහාරය ගැන නිවැරැදි තොරතුරු හෙළි නොවූවත් ජාත්‍යන්තර බුද්ධි අංශ සහ හමුදා උපාය මාර්ග සම්බන්ධ ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ විවිධ අදහස් පළ කරමින් සිටිති. ඇතැමුන් කියන්නේ හෙස්බුල්ලා සංවිධානය විසින් මීට මාස ගණනාවකට පෙර ආනයනය කරනු ලැබූ පේජර් යන්ත්‍ර හා වෝකි ටෝකී යන්ත්‍ර ඔවුන් වෙත ලැබීමට පෙර අතර මඟදී අත්පත් කරගත් මොසාඩ් සංවිධානය එහි සියලු පේජර් යන්ත්‍ර හා වෝකි ටෝකි යන්ත්‍රවලට පුපුරණ ද්‍රව්‍ය සවි කරන්නට ඇති බවය. අනතුරුව ඒවා හෙස්බුල්ලා සාමාජිකයන් අතට පත්වීම සැක හැර දැන ගැනීමෙන් පසු දුරස්ථ පාලකයකින් පුපුරුවා හරින්නට ඇති බවය. තවත් සමහරු කියන්නේ අධි බලැති රේඩියෝ තරංග නිකුත් කරමින් එය සිදු කරන්නට ඇති බව ය. එහෙත් පිපිරීමට ලක්වූ පේජර් යන්ත්‍ර නිෂ්පාදනය කර ඇති තායිවානයේ ගෝල්ඩ් ඇපලෝ සමාගමත්, වෝකි ටෝකි යන්ත්‍ර නිෂ්පාදනය කර ඇති ජපාන සමාගමත් හෙළි කළ තොරතුරුවලට අනුව නම් අනුමාන දෙකටම ප්‍රමාණවත් කරුණු තිබේ.
ඒ අතරතුර නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය මේ සිදුවීම ට්‍රෝජන් අශ්වයාගේ කතාවට සමාන කරමින් ලිපියක් පළ කර තිබේ. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය නූතන යුගයේ ට්‍රෝජන් අශ්වයකු බිහි කර ඇති බවය. මේ කියන්නේ රෝම පුරාණයට අනුව ට්‍රෝජන් යුද්ධයේදී ට්‍රෝයි නුවරට ඇතුළු වීමට ග්‍රීක හමුදාව භාවිත කළ බව කියන ලී අශ්වයා ගැනය.
අවුරුදු 10ක් තිස්සේ ට්‍රෝයි නගරය වට කරමින් සිටියත්, නගරය තුළට ඇතුළුවීමට ග්‍රීක හමුදාවට ඉඩ නොලැබුණු තැන ඔවුන් ලීවලින් අශ්වයකු නිර්මාණය කර අතිදක්ෂ සෙන්පතියකු සහ සෙබළුන් පිරිසක් ඒ තුළ සඟවා තබා තමන් පසුබැස යන බව අඟවා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත්, අනතුරුව යුද්ධය ජයගත්තා යැයි සිතූ ට්‍රෝජන්වරු ග්‍රීක සෙබළුන් දමා ගිය ලී අශ්වයා නගරය තුළට රැගෙන ගිය බවත් රෝම ඉතිහාසයේ සඳහන් වේ.
එදින රාත්‍රියේ ලී අශ්වයාගේ සිරුර තුළින් පිටතට පැමිණි සෙන්පතියා සහ සෙබළුන් නගරයේ දොරටුව හැර ග්‍රීක හමුදාව ඇතුළට ගත් බවත්, පසුව ඔවුන් ට්‍රෝජන්වරු විනාශ කර යුද්ධය ජයගත් බවත් කියැවේ. ට්‍රෝජන් අශ්වයාගේ කතාවට ඊශ්‍රායලය ඈඳාගෙන ඇත්තේ එලෙසිනි.
පසුගිය 17 වැනිදා පස්වරුවේ හෙස්බුල්ලා සාමාජිකයන් සතු ජෙප්ර් යන්ත්‍ර පුපුරා යෑමට පෙර එහි ‘බීප්‘ නාදය අඛණ්ඩව ඇසෙන්නට පටන් ගෙන තිබිණි. එදින හරියටම ලෙබනන් වේලාවෙන් පස්වරු 3.30ට මේ ‘බීප්‘ නාදය ඇසෙද්දී ඔවුන් සිතන්නට ඇත්තේ එය නායකයාගෙන් ලද පණිවිඩයක් බවය. තත්පර කිහිපයක් ඇතුළත ලෙබනනය පුරා විසිරී සිටි හෙස්බුල්ලා සාමාජිකයන් සතු සියලුම පේජර් යන්ත්‍ර පිපිරී ගියේ ලෙබනනයේ ජන ජීවිතය පවා නොසන්සුන් කරමිනි. වීදිවල, කඩසාප්පුවල, මෝටර් රථ සහ යතුරුපැදිවල සිටි පේජර් යන්ත්‍ර හිමිකරුවන් ඒවා පිපිරී යෑමත් සමඟ බිම ඇද වැටිණි. ඇතැමුන් මිය ගිය අතර, තුවාල ලැබූ පිරිස විලාප තබන්නට පටන් ගැනීම නිසා ලෙබනන් ජනතාව හිස් ලූ ලූ අත දිව ගිය බවත් වාර්තා විය. හෙස්බුල්ලා සංවිධානයට අරමුදල් සපයන බවට චෝදනා ලබා සිටින ඉරානයටත් එය ගැටලුවක් වූයේ ලෙබනනයේ ඉරාන තානාපතිවරයා ද තුවාල ලැබීම නිසාය. ඔහු අත ද පේජර් යන්ත්‍රයක් තිබිණි.
පුපුරණ ද්‍රව්‍ය අවුන්ස කිහිපයක් සඟවා තිබූ බව කියන පේජර් යන්ත්‍ර පිපිරීමත් සමඟ යතුරුපැදි මත සිටි ඇතැමුන් ඉන් විසි වී යන ආකාරයත්, පේජර් යන්ත්‍ර තිබූ ඇතැමුන්ගේ දෑත් ගැලවී විසිවෙන ආකාරයත් ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කර තිබිණි.
ඊළඟ දිනයේ පස්වරුවේ වෝකි ටෝකි යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් පිපිරී ගියේ පෙර දිනයේ පේජර් යන්ත්‍ර පිපිරීමෙන් මිය ගිය ඇතැමුන්ගේ අවසන් කටයුතු සිදුකළ ස්ථානවල සිටි හෙස්බුල්ලා සාමාජිකයන් අත තිබියදී ය. මේ දෙකම අබිරහස් පිපිරුම් ය. චෝදනාව කෙළින්ම එල්ල වූයේ ඊශ්‍රායලයට සහ මොසඩ් සංවිධානයටය. ඊශ්‍රායල රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නැත. භාර ගත්තේ ද නැත. ඒ වෙනුවට ඊශ්‍රායල ආරක්ෂ ඇමැති යාව් ගැලන්ට් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ ඊශ්‍රායල හමුදාව ගාසා යුද්ධයට නව මුහුණුවරක් දුන් බවය. දකුණු ඊශ්‍රායලයේ අවතැන් වූ ජනතාවට නැවත සිය නිවාසවලට යා හැකි බවත් ඔහු සහතික කළේය. පේජර් හා වෝකි ටෝකී පිපිරීම ඊශ්‍රායලය සිදු කළ බවට පිළිගත හැකි එරට රජයේ එකම සාක්ෂිය එය පමණි.
ඊශ්‍රායලයේ තාක්ෂණ බුද්ධියේ දිග පළල දැන සිටි හෙස්බුල්ලා සංවිධානය කොහොමත් පසුවූයේ දැඩි අවධානයෙන් යුතුවය. හෙස්බුල්ලා නායක හසන් නස්රල්ලා සිතන්නට ඇත්තේ සිය සාමාජිකයන් භාවිත කරන ජංගම දුරකතන මඟින් ඔවුන් රැඳී සිටින ස්ථාන දැන ගැනීම ඊශ්‍රායලයේ සැලසුම වනු ඇති බවය. එබැවින් මීට මාස ගණනාවකට පෙර ඔහු සිය සාමාජිකයන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කළ බව කියැවේ.
‘ඔබ මගෙන් ඇහුවොත් ඊශ්‍රායල ඒජන්තයා කොහේද කියලා ? ජංගම දුරකතන තහනමට පෙර හෙස්බුල්ලා නායකයා සිය සාමාජිකයන්ගෙන් එසේ විමසා තිබේ.
‘මම ඔබට කියන්නේ ඒජන්තයා ඉන්නේ ඔබේ ජංගම දුරකතනයේ. ඔබේ බිරියගේ ජංගම දුරකතනයේ. ඔබේ දරුවන්ගේ ජංගම දුරකතනයේ. ඒ නිසා ඒවා පෙට්ටියක දාලා වහලා තියන්න.‘ තහනම පනවා ඇත්තේ ඒ අයුරිනි.
පාවිච්චි කරන්නා සිටින ස්ථානය හඳුනාගත නොහැකි පේජර් පණිවුඩ යන්ත්‍ර භාවිතය ගැන හෙස්බුල්ලා නායකයාට කාලයක සිට කැමැත්තක් තිබූ බව අමෙරිකානු බුද්ධි අංශ සොයාගෙන තිබේ. නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරන්නේ නස්රුල්ලා පේජර් ඇණවුම් කිරීමට පෙර ඊශ්‍රායලය ජාත්‍යන්තර පේජර් යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් ලෙස පෙනී සිටින ෂෙල් සමාගමක් පිහිටුවන්නට ඇති බවය. ඒවායේ කෙරෙන නිෂ්පාදනයක් හෝ ක්‍රියාකාරිත්වයක් නැත.
ෂෙල් සමාගම් යනු යම්කිසි සමාගමක හෝ පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් සැඟවීමට භාවිත කරන සමාගම් ය. ලොව වැඩිපුරම ෂෙල් සමාගම් පිහිටුවා ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනි. බැලූ බැල්මටම පෙනෙන්නේ තම සමාගම විසින් හෙස්බුල්ලා සංවිධානය වෙත නැව්ගත කරනු ලැබූ පිපිරී ගිය පේජර් යන්ත්‍ර හංගේරියාවේ පිහිටා ඇති තම සමාගමේ සැපයුම්කරුවකු විසින් ලබා දුන් ඒවා බවය.
දැනට හඳුනාගෙන ඇති පරිදි එය හංගේරියාවේ බෙල්ෆාස්ට් නුවර පිහිටා ඇතැයි කියන බීඒසී නමැති සමාගමකි. එම සමාගම තායිවාන පේජර් නිෂ්පාදන සමාගමක් ලෙස ලියාපදිංවි වී ඇත්තේ ද මීට වසර තුනකට පෙරය. ජාත්‍යන්තර බුද්ධි නිලධාරින්ගේ වාර්තාවකට අනුව එය ඊශ්‍රායලයේ සැලසුම් සඳහා පිහිටුවනු ලැබූ සමාගමකි. ඔවුන් කියන්නේ ඊශ්‍රායලය සිය මෙහෙයුම් සඳහා අවම වශයෙන් එවැනි ෂෙල් සමාගම් තුනක් පමණ ලොව විවිධ රටවල ස්ථාපිත කර ඇති බවකි. එම සමාගමට අනුයුක්තව සේවය කරන මොසාඩ් සංවිධානයේ සාමාජිකයන් ද සිටින බව කියැවේ.
සාමාන්‍ය ජනතාවට පේජර් යන්ත්‍ර නිෂ්පාදනය කළ ද, බීඒසී සමාගමේ එකම ඉලක්කය වී ඇත්තේ හෙස්බුල්ලා සංවිධානයේ ඇණවුම ය. එම පේජර් යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍රවලට වඩා වෙනස් බවත්, එම පේජර් යන්ත්‍රවල බැටරිය අසළ PENT කෙටි නාමයෙන් හඳුන්වනු ලබන පුපුරණ ද්‍රව්‍ය අවුන්ස කිහිපයක් අටවා නිෂ්පාදනය කර ඇති බවත් ජාත්‍යන්තර බුද්ධි නිලධාරින්ගේ අදහස වී තිබේ. ඒවා සුළු ප්‍රමාණයෙන් හෙස්බුල්ලා සංවිධානය වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇත්තේ 2022 වසරේ සිටය.
එහෙත් හෙස්බුල්ලා නායකයා සිය සාමාජිකයන්ට ජංගම දුරකතන තහනම් කිරීමෙන් පසු මහ පරිමාණයෙන් නැව්ගත කිරීමට නිෂ්පාදන කඩිනම් කර ඇතැයි ද පැවැසේ. වාර්තාවලට අනුව පසුගිය කාලය පුරා ලෙබනනයට ලැබුණු පේජර් යන්ත්‍ර ප්‍රමාණයේ විශාල වර්ධනයක් ද තිබූ බව වාර්තා වේ. අමෙරිකානු බුද්ධි නිලධාරින් කියන්නේ ඒවා හෙස්බුල්ලා සංවිධානයේ සියලු සාමාජිකයන් වෙත බෙදා හැර තිබූ බවකි. සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් එහි නායකයා විසින් ගනු ලැබූ ආරක්ෂක පියවර මොසාඩ් මෙහෙයුමෙන් ට්‍රෝජන් අශ්වයකු බවට පරිවර්තනය වී ඇත්තේ එලෙසිනි. අවසානයේදී ඊශ්‍රායලය තම අරමුණ කිසිදු බාධාවකින් තොරව සාර්ථක කර ගත්තේය. පසුගිය 17 වැනිදා පස්වරුවේදී පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට නියෝගය නිකුත් වී ඇත්තේ ඒ අනුවය.
පේජර් යන්ත්‍ර පිපිරීමට සැලැස්වීම සඳහා හෙස්බුල්ලා නායකයා විසින් යවනු ලැබු බවට ඇඟවෙන කෙටි පණිවිඩයක් සියලු සාමාජිකයන් සතු පේජර් යන්ත්‍රවලට යවා තිබේ. ඒවා යවා ඇත්තේ අරාබි බසිනි. ඊළඟ තත්පර කිහිපයේදී සියල්ල පුපුරා ගියේය. මෙහෙයුම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව යටතේ ක්‍රියාත්මක වන Unit 8200 නමැති ඊශ්‍රායල බුද්ධි බළකායේ සහායත් ලැබී ඇතැයි වාර්තා වේ.
ලෙබනනයේ බෙකා නිම්නයේ සරායින් නමැති ගම්මානයේ ෆාතිමා අබ්දුල්ලා නමැති දැරියක සිටියාය. එම නිවෙසේ තිබූ පේජර් යන්ත්‍රය හඬ නඟන්නට පටන් ගත්තේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය පාසලෙන් පැමිණ මොහොතකට පසුවය. ඇය වහා එය සියතට ගෙන සිය පියා වෙත දිව ගියාය. යන්ත්‍රය පිපිරී ගියේ ඒ මොහොතේදිම ය. දැරිය මිය ගියාය.
පේජර් යන්ත්‍ර පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන් සිව්දෙනකුගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ ඊළඟ දිනයේ එනම් 18 වැනිදා පස්වරුවේය. එම අවස්ථාවට දහස් ගණනක ජනතාව රැස්ව සිටි බව වාර්තා වේ. වෝකි ටෝකී යන්ත්‍ර අතැතිව හෙස්බුල්ලා සාමාජිකයෝ රැසක් ද ඒ අතර සිටියහ. ඊළඟ පිපුරුම සිදු විය. ඒ සමඟම ලෙබනනයේ ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් පැතිරී ගිය බවත්, බොහෝ අය සිය ජංගම දුරකතන පවා වීසි කර දැමූ බවත් වාර්තා වේ. බොහෝ අය ජංගම දුරකතන අතැතිව සිටි පුද්ගලයන් වෙතින් ඉවතට දිව ගියේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු දුටු පරිද්දෙනි. ලෙබනනයේ ආරක්ෂක හමුදාව ඒ වනවිටත් ක්‍රියාත්මක වී තිබිණි. ඔවුහු වීදි පුරා දිවයමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් උපදෙස් සපයන්නට පටන් ගත්හ.
‘ඔබේ ජංගම දුරකතන අක්‍රිය කරන්න…! බැටරිය ගලවා වීසි කරන්න…!
පේජර් යන්ත්‍ර පිපිරීම සම්බන්ධ තොරතුරු කෙසේ වෙතත් වෝකි ටෝකී යන්ත්‍ර පිපිරීමේ සිදුවීම නම් අතිශය විස්මිතය. වෝකි ටෝකි යන්ත්‍ර පමණක් නොව ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන, මෝටර් රථවල රේඩියෝ පද්ධති පමණක් නොව ඇතැම් නිවාස හා ගොඩනැඟිලිවල දොරටු අසළ සවි කර ඇති සීනු පවා පිපිරී ගිය බව වාර්තා වේ. එය සිදුවූයේ කෙසේ දැයි ලෙබනනයට පමණක් නොව ජාත්‍යන්තර බුද්ධි නිලධාරීන්ට ද තවම අදහසක් නැත. එම වෝකි ටෝකි නිෂ්පාදනය කර ඇත්තේ ජපාන සමාගමකි. ඔසාකා නුවර කේන්ද්‍ර කරගත් එම සමාගම සඳහන් කරන්නේ පිපිරීමට ලක්වූ වෝකි ටෝකී යන්ත්‍ර නිෂ්පාදනය අත්හිටුවා වසර 10ක් ගතවන බවය. එම වෝකි ටෝකි යන්ත්‍ර සඳහා බැටරි නිෂ්පාදනයත් අත්හිටුවා ඇතැයි ප්‍රකාශ කිරීමෙන් වෝකි ටෝකී පිපිරීම තවදුරටත් අබිරහසක් බවට පත්වී තිබේ. මොසාඩ් සංවිධානය අධි බලැති රේඩියෝ තරංග භාවිත කරමින් ඒවා පුපුරුවා හරින්නට ඇතැයි කීව ද එය තහවුරු වී නැත. මේ වන විට හෙස්බුල්ලා සංවිධානයේ සන්නිවේදන පද්ධතිය මුළුමනින්ම බිඳ වැටී ඇති අතර, ඊශ්‍රායලය ජයග්‍රහණය සමරමින් සිටී.
ෆවුස් මොහොමඩ්