කාන්තා දින, ළමා දින, පෙම්වතුන්ගේ දින ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් සඳහා දින වෙන් කර සැමරීමට ලොව බලධාරීන් අවධානය යොමු කර ඇත. එහෙත් ඒ කිසිවෙකු නුදුටු ක්ෂේත්‍රයක් වන සිරකරුවන් වෙත අවධානය යොමු කර සිරකරු දිනයක් නම් කිරීම මෙයට 25 වසරකට පෙර සිදු කෙරුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙනි. අනාගතයේ යම් දිනෙක සිරකරු දිනය ලෝකයට යාමට ද ඉඩ ඇත. එසේ වුවහොත් ඒ ගෞරවය හිමි වන්නේ අපටය.
සිරකරු දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් 12 වැනි දාය. මෙහි නිර්මාතෘ වන්නේ එවකට සිරකරු සුභසාධක සංගමයේ සභාපති වූ විශ්‍රාමික අගවිනිසුරු ආනන්ද ගේරෝ මැතිතුමාය. එතුමාගේ සංකල්පය තුළින් බිහි වූ සිරකරු දිනය මේ වන විට ඉතාම ඵලදායි වෙමින් පවතී.
සිරකරුවන් යනු සමාජයෙන් කොන් කළ යුතු අපරාධකරුවන් ලෙස සමාජ පිළිගැනීමට එරෙහි විය නොහැකි බව සත්‍යය. එහෙත් ඔවුන් උසස් තලයේ රැඳවීමක් නොව යහමගට යොමු කොට සමාජ සංරක්ෂණයක් මේ සිරකරු දිනය තුළින් බලාපොරොත්තු වෙමු. දැන හෝ නොදැන වැරදි කර හෝ නොකර එහෙත් නීතියේ දැලට හසුව රඳවා සිටින මෙම අයද මනුෂ්‍යයෝය. ඔවුන් අපරාධකරුවන් ලෙස කොන්කිරීම වෙනුවට යහපත් මිනිසුන් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීමය අවශ්‍යය. ඒ සඳහා අතහිත දිය යුතුය.
සිරගත වූ තම පියා දැක ඔහු සමඟ සමීප වීමට දරුවනට අවස්ථාවක් ලැබෙන පවුල් හමුව, ආගමික වැඩසටහන් වැනි සත් ක්‍රියාවන් රාශියක් ඉටු කෙරෙන සතියක් ලෙස මෙය ක්‍රියාත්මකය. සාමාන්‍යයෙන් සිරකරුවෙකු බැලීමට පැමිණෙන ඥාතියාට විනාඩි කීපයක් ඔහු සමඟ කතාබහට අවසරය ලැබී ඇත්තේ ද යකඩ කූරු අතරිනි. එවන් තත්ත්වයක් තුළ විනාඩියක් හෝ පෙර කී ලෙස ඥාතීන් හමුවීම භාග්‍යයකි. පෙර සිදු නොවූවකි.
මෙරට බන්ධනාගාර ඉතිහාසය ආරම්භ වන්නේ 1818 වසරේදීය. ඒ ඇහැලේපොළ වලව්ව තුළම එම අදිකාරම්තුමා සමඟ කැරලිකරුවන් 53 දෙනා සිර කිරීමෙනි. ඉන් පසු පළමු විධිමත් බන්ධනාගාරය 1844 දී වැලිකඩ බන්ධනාගාරය නමින් කැම්බල් ප්ලේස්හි පිහිටුවා ඇත. 1875 මහරද, 1876 බෝගම්බරද බන්ධනාගාර පිහිටුවා ඇත. මෑතදී අගුණකොළපැලැස්ස සිරගෙයද මහ සිරගෙයක් බවට පත් කර ඇත. පසුව මෙරට බන්ධනාගාර පුළුල් ලෙස වැඩි වී ඇත්තේ රටේ අපරාධ වැඩි වන නිසා විය යුතුය. වර්තමානයේ මෙරට බන්ධනාගාර තත්ත්වයයි මෙසේය.
1. වැසූ සිරගෙවල් හෙවත් මහ සිරගෙවල් 4
2. රක්ෂිත බන්ධනාගාර 18
3. වැඩ කඳවුරු 10
4. විවෘත සිර කඳවුරු 2
5. තරුණ පුහුණු ආයතන 01
6. තරුණ පුනරුත්ථාපන ආයතන 02
7. තාවකාලික සිර කඳවුරු 23
මෙතරම් නවාතැන් අවශ්‍ය වනුයේ එතරම් විශාල පිරිසක් සිරගතවන බැවිනි. සංඛ්‍යාත්මකව බලතහොත් දිනකට 500 දෙනෙකු පමණ බන්ධනාගාරගත වෙයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන් 1/3ක් නොහොත් 30% පමණක් වැරදිකරුවන් වීමය. ඉතිරි 70% හෙවත් 2/3කම වසර ගණනාවක් රැඳවියන් ලෙස රජයේ වියදමෙන් යැපෙන්නට සිදුව ඇත. ඒ සඳහා රජයට විශාල වියදමක් දැරීමට සිදුවෙයි. ඒ මහජන මුදල්ය. රැඳවියන් වෙනුවෙන් ආහාරපාන, ආරක්ෂාව ඇතුළු සියලු අවශ්‍යතා සැපයීම රජයෙනි. සිරගත වන්නන්ගේ සංඛ්‍යා ලේඛනය මෙසේය.
මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ රැඳවියන් විශාල පිරිසක් නිකරුණේ රඳවා තබාගෙන බර පැන දරා ඇති බවය. මේ නිසාවෙන් බන්ධනාගාර තුළ තදබදය තවත් ගැටලුවකි. සමහර රැඳවියන් නිදා ගන්නේ වාර ක්‍රමයටය. සමහර බන්ධනාගාරවල අවශ්‍ය ජල පහසුකම් පවා ප්‍රමාණවත් නොවේ.
මෙම තදබදයට ප්‍රධානම හේතුව නඩු කල්යාමයි. එයට පිළියම් යොදන අතර රක්ෂිතගත කිරීම් වෙනුවට වෙනත් විසඳුමක් සෙවීම මෙන්ම සුළුකාලීන දඬුවම් සඳහා විකල්පයක් භාවිත කිරීම අවශ්‍යය. එසේ නැතහොත් සිදුවන්නේ බන්ධනාගාර සංඛ්‍යාව තව තවත් වැඩි කිරීමද, නැතහොත් ප්‍රජා සේවාව වැනි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම අසාර්ථක විය හැකි ද?
මේ වන විට සමස්ත ලෝකයම නව මං පෙත් සොයා යමින් ඇත. එවන් යුගයක අපද වෙනත් වෙනත් චින්තනයන්ට යොමු විය යුතුය. ආදි කාලයේ වරදකරුවෙකුට කළ යුතු වූයේ අත්අඩංගුවට ගෙන දඬුවම් දීමයි. එහෙත් මේ වන විට එය රැකවරණය දී පුනරුත්ථාපනය යන අර්ථයට යොමු වී ඇත. එබැවින් මෙම වරදකරුවන් වුවද වර්ගීකරණය කර යම් කිසි නව මං පෙතකට යොමු කළ යුතුය. සමාජයෙන් කොන් කිරීමේ දඬුවම ඔවුන් වැඩි දෙනෙකු ලබා ඇති බැවින් වෙනත් වෙනත් මාර්ග වෙත ඔවුන් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමයි. ඒ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙළක් දැනුම්වත් සුභසාධක සංගමය විසින් ක්‍රියාත්මක කරතක් එයට ප්‍රමාණවත් සම්පත් නැත.
විශේෂයෙන්ම ගෘහ මූලිකයා බන්ධනාගාරගත වූ විට එම පවුලේ පැවැත්ම විශාල ගැටලුවකි. එවන් අවස්ථාවන්හිදී යැපෙන්නන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා අවශ්‍යය. එමෙන්ම දීර්ඝකාලීන සහ මරණ දඬුවම් නියම වූ සිරකරුවන්ගේ පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, නිදහස්ව පිටවන සිරකරුවන්ට රැකියා ලබා දීම, සුළු දඩ මුදල් ගෙවා සිරකරු නිදහස් කිරීම වැනි සත් ක්‍රියාවන් රාශියක් අප සුභසාධක සංගමය මඟින් ක්‍රියාත්මක කරයි. මෙම සංගමයට මේ වන විට වසර 107ක් ගත වන අතර ඒ තුළින් සිදුව ඇති සේවාවන්ද ප්‍රශංසනීයයි. ඒ අතර සිරකරු දිනයක් වෙන් කිරීම විශිෂ්ටය. සංගමයේ ක්‍රියාකාරිත්වයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ලැබීම එයට රුකුලකි. ඒ වෙනුවෙන් සියලු නිලධාරීන් ඇප කැප වී ඇත. තත්ත්වය යහපත් වුවහොත් සිරගෙවල් වසා දැමීමට ද සිදුවනු ඇත.
ඉරහඳ එළිය දෙන්නේ සීමා කර ලා
මදනල හමා එන්නේ පවුරෙන් බෙද ලා
බත් පංගුව ලැබෙන්නේ හරියට කප ලා
තඹ දොයිතුවට මිනිසත්කම ඇද වැටි ලා
(සිර මැදිරියක කුරුටු ගීයක්)
ජේ. ශීලා වික්‍රමරත්න (සිරකරු සුභසාධන සංගමයේ මධ්‍යම කාරක සභික)