– මුලින්ම චීන වෙළඳ නාමය සහිත Fonton වර්ගයේ මගී ප්‍රවාහන වෑන් රථ, ඩබල් කැබ් හා Great Wall Motors (GWM) වර්ගයේ වාහන
– මුල්ම වෑන් රථය මසක් තුළ වෙළෙඳ පොළට
– දිනකට වාහන 6ක් එකලස් වෙයි
– වසරකට සිසුන් 400 කට නොමිලේ මෝටර් රථ තාක්ෂණය හැදෑරීමට පුහුණු පාසලක්
– ආනයනය කරන වියදමට වඩා ඉතා අඩු මිලකට අනර්ඝ තත්ත්වයේ නවතම වාහනයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙයි
ගෙවුණු කාලයේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලික නතර විය . මේ නිසා ඊට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට නව පණක් ලැබුණු අතර, පසුගියදා එහි දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටියේදි වාහන එකලස් කිරීමේ දකුණු ආසියාවේ දැවැන්ත වෙළෙඳ පොළ නිර්මාණය විය. මෙරට වාහන එකලස් කිරීමේ දැවැන්තයා වූ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ( Western Automobile Assembly Private Limited – WAA) මේ නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව පසුගිය 17 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
මේ අතිනවීන කර්මාන්ත ශාලාව තිරසාර වර්ධනය, දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ කරමින්, අපගේ දේශීය ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමට ඉවහල් වන්නකි. ආයෝජන මණ්ඩලයේ ( BOI )අනුමැතිය ලත් ව්‍යාපෘතියක් වන මෙය ජාත්‍යන්තර මෝටර් රථ විශේෂඥයින්ගේ උපදෙස් මත නිර්මාණය කරන ලද්දකි. ජර්මනිය, ජපානය සහ කොරියාවේ නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත වන අතර ඉහළම ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ ක්‍රියාත්මක වන වාහන එකලස් කිරීමේ ආයතනයකි. බහු-වෙළඳ නාම හැසිර විය හැකි නම්‍යශීලී පද්ධතියක් මත එහි කාර්යක්ෂමතාව ගොඩ නැඟී ඇත. දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින්, කර්මාන්ත ශාලාව කලාපයේ ප්‍රමුඛතම මෝටර් රථ එකලස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.
මෙම කර්මාන්ත ශාලාව පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වන්නේ 2015 වසරේදීය. මෙතෙක් ලංකාවේ නොවූ විරූ අයුරින් මහ පරිමාණයෙන් මෝටර් රථ එකලස් කිරීමට අවශ්‍ය සියලූම කොටස් ගෙන්වා ගනිමින් ලංකාවේ re-assemble හෙවත් නැවත එකලස් කිරීම සඳහා වූ මහ පරිමාණ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ය. මේ කාර්යය ඉදිරියට ගෙන යාම සඳහා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම්ගත එකඟතාවයකට පැමිණෙන්නේ ඉන් අනතුරුවය. ඒ මෝටර් රථ, අමතර කොටස් හෙවත් Semi-Knocked Down kits( SKD ) ගෙන්වා ගනිමින් ලංකාවේ වාහන එකලස් කිරීමේ කටයුත්තේ ආරම්භයට ප්‍රවේශයක් සපයමිනි.
කුලියාපිටිය නගරාසන්නයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් වූ ඉඩම ආයෝජන මණ්ඩලය හරහා දිගු කාලීන බදු පදනම යටතේ ලබා ගන්නේ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ය. වර්ගඵලය වර්ග අඩි 50,000කින් යුතු කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් ආරම්භ වන්නේ 2017 වසරේදී ය. එම ආරම්භයත් සමඟ වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් ගෝලීය කර්මාන්ත ශාලා අවශ්‍යතා සපුරාලන පුහුණු පාසලකට ද අඩිතාලම සැපයන්නේ දැයේ දරුදැරියන්ට මේ කර්මාන්ත සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීමේ සත්කාර්යකටද එක් වෙමිනි. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමේදී මෙහි පාලනාධිකාරියෙන් කළ ප්‍රධානම ඉල්ලීමක් වූයේ නවක සිසු දරුදැරියන් සඳහා පුහුණු පාසලක් මේ ආයතනයෙන් ආරම්භ කරන ලෙසය. මෙම ඉල්ලීමට සවන් දෙමින් ඊට අඩිතාලම සපයමින් වසරකට සිසුන් 400කට Automobile technology හෙවත් මෝටර් රථ තාක්ෂණය සම්බන්ධ දැනුමින් පොහොසත් කරවීමට ඔවුහු කටයුතු කළහ.මෙහිදී පුහුණුව ලබන දරුදැරියන්ට දෙවසරක වූ ඒ පාඨමාලාව සියල්ල නොමිලයේ සැපැයීම විශේෂිත කරුණකි. NVQ විවිධ මට්ටම්වල සිසුන්ට මේ සඳහා අවස්ථාව ඇති අතර, කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීමට ප්‍රථමයෙන් ආරම්භ වන්නේ සිසුන් සඳහා වූ මේ පුහුණු ගොඩනැඟිල්ලය. කර්මාන්ත ශාලාව සක්‍රීය වීමත් සමඟ මෙම පුහුණු පාසැලේ කටයුතු ද ආරම්භ වීමට නියමිතය.
වෙස්ටර්න් ඔටෝ මෝබයිල් එසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් ( Western Automobile Assembly Private Limited ) නමින් කුලියාපිටියේ ආරම්භ වූ කර්මාන්ත ශාලාවේ වාහන එකලස් කිරීමේ කටයුතු පේළි හෙවත් Assemble lines 4ක් යටතේ සිදුවෙයි. ඒ වාහනවල කොටස් වෙන වෙනම එකලස් කිරීම සඳහා ය. මෙම පේළිවල කාර්, කැබ් රථ, හයිඑස් වැනි මගී ප්‍රවාහන වැන් රථ ආදි සියලු වර්ගයේ වාහන එකලස් කිරීමට හැකිවන ආකාරයට ලොව අතිනවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත වී ඇත. දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි.
Western Automobile Assembly Private Limited නමින් වූ මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන්නකි. ශ්‍රී ලංකාවේ විවිධ අය විසින් වාහන එකලස් කිරීම සිදුකළ ද ප්‍රථමවරට මහ පරිමාණයෙන් හා විධිමත් ආකාරයේ ලොව අති නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වාහන එකලස් කිරීම් සිදුවූයේ නැත. ඉන්දියාව ඉන්දුනීසියාව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවල මෙවැනි කර්මාන්ත ශාලා තිබුණද ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක වන දකුණු ආසියාතික කලාපයේ වාහන එකලස් කිරීමේ විශාලතම කර්මාන්ත ශාලාව මෙය වෙයි.
වාහන එකලස් කිරීමට ආරම්භයක් සපයමින් මේ වන විට එකලස් කිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ Fonton වර්ගයේ මගී ප්‍රවාහන වෑන් රථ හා ඩබල් කැබ් රථ ය. ඒ සඳහා මේ වන විට එකලස් කිරීමේ කොටස් චීනයේ සිට ගෙනැවිත් ඇත . Great Wall Motors ( GWM) වර්ගයේ වාහනද පළමු පියවරේදී එකලස් කිරීමට නියමිතය. මෙම වර්ගයේ ඩබල් කැබ් රථ හා SUV ( Sports Utility Vehicles )වර්ගයේ වාහනද එකලස් මෙහි වෙයි. මෙම කර්මාන්ත ශාලාව යටතේ මුලින්ම එකලස් වන්නේ වර්ග 4ක වාහනය. අනතුරුව තවත් වර්ග දෙකක පමණ අමතර කොටස් ඉදිරියේ දී චීනය හරහා ලංකාවට ගෙන්වීමට නියමිතය. කුඩා කාර් වර්ග ද දැරිය හැකි මිලකට එකලස් කිරීම ඉදිරියේදී සිදුවෙයි.
චීනයේ වෙළෙඳ නාමය සහිත Fonton හා GWM යන වර්ග දෙකට අවශ්‍ය එකලස් කිරීමේ කොටස් ගෙන එන්නේ චීනයෙනි. මෙම වාහන චීනයේ නිෂ්පාදිත ජනප්‍රිය වර්ගයන් ය. මේ කර්මාන්ත ශාලාව හරහා එකලස් කිරීමේ වාහන ඉදිරියේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර මිල ගණන් ආනයනය කරන වාහනවලට සාපේක්ෂව බෙහෙවින් අඩුවෙන බව එම පාලනාධිකාරිය සඳහන් කරයි. වාහන වර්ග අනුව මිල ගණන් වෙනස් වුවද ආනයනය කරන වාහනවල තත්ත්වයට සමානව අනර්ඝ තත්ත්වයෙන් අලුත්ම එකලස් කිරීමේ වාහන මෙහි නිෂ්පාදනය වීම සුවිශේෂ කරුණකි.
ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය
සුභාෂිණි ජයරත්න