Home » ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්
විදේශීය බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය නිමා කිරීම

ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්

ලෝ ප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආර්ථික විශ්ලේෂකයෝ පවසති

by Mahesh Lakehouse
September 21, 2024 12:40 am 0 comment
ෆවුස් මොහොමඩ්

අමෙරිකානු ඩොලර් බිලියන 12.6ක (රුපියල් කෝටි 378000 ක්) බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශීය බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමට විශාල ශක්තියක් වනු ඇතැයි ලෝ ප්‍රකට ‘බ්ලූම්බර්ග්’ ආර්ථික විශ්ලේෂණ මාධ්‍ය ආයතනය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය අත්කර ගෙන ඇත්තේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී බවත්, දෙපාර්ශ්වය අතර තුන්වැනි වටයේ සාකච්ඡා අවසන් වීමෙන් පසු බැඳුම්කරවල නාමික ප්‍රමාණයෙන් 27%ක කප්පාදුවක් ඇතුළු කොන්දේසි සම්බන්ධව ශ්‍රී ලංකා රජය සහ විදේශීය බැඳුම්කර හිමියන් මේ එකඟතාවට පැමිණි බවත් ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවියේ සඳහන් වෙයි.

බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබූ අතර, වසර 2022දී පළමුවරට විදේශ ණය පැහැර හැරීමේ තත්ත්වයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ද පහළ වැටී තිබූ බවත්, විදේශීය බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ විධිමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තුන්වැනි වටයේ සාකච්ඡාවෙන් ලද සාර්ථකත්වය තුළින් බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

චීන සංවර්ධන බැංකුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික එකඟතාවක් ද සාර්ථකව අවසන් කර සිටින ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ විධිමත් තහවුරු කිරිමක් අපේක්ෂාවෙන් පසුවන බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඉදිරිපෙළ අපේක්ෂකයන් දෙදෙනකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් කොන්දේසි සංශෝධනය කිරිමට අවධානය යොමු කර ඇති බැවින් එහි අවසන් එකඟතාව සම්බන්ධව සැකයක් මතු වී ඇතැයි ද, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට ද බලපානු ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division