විදේශ ණය හිමියන්ගේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් රුපියල් කෝටි 525,000ක (ඇමරිකන් ඩොලර් මිලියන 1750ක) වාසියක් ලැබෙන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (19) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී දැනුම් දුන් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට රජය පසුගිය 19 වැනිදා එළැඹ තිබුණි. ජාත්‍යන්තර ආයෝජකයන් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කර ගන්නා ලදි.
මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතු වන අතර මෙම එකඟතා යටතේ, 11%ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3%ක වර්තමාන අගයක (Net Present Value) සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.
මෙම එකඟතා මඟින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමි වන අතර, නව කොන්දේසිවල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වල ද අමතර අඩු කිරීමක් සිදු වේ.
ශ්‍රී ලංකාව දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳ චීන සංවර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට ද එළැඹී තිබේ. චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව (OCC), චීන සංවර්ධන බැංකුව (CDB) සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සේවා සහනයක් හිමිව ඇත.