Home » අමාවකදී දමා යන හැටි ලියයි අවසන් කතාවේ

අමාවකදී දමා යන හැටි ලියයි අවසන් කතාවේ

by sachintha
September 21, 2024 12:11 am 0 comment

අනාරාධිත සරාගික සඳ

දොවා සඳකැන් හිතුමතේ

නොතිත් ආශා හැඟුම් අවුළයි

බිඳියි සීමා ප්‍රේමයේ

මහා හිරුගෙන් එළිය ලබමින්

වලා පෙළකට මුවාවේ

අඳුරු අහසක සුව විඳින හැටි

අදියි සරදම් සිනාවේ

මහා පොළොවට කඩා දමමින්

අහිංසක තරු මුළාවේ

අමාවකදී දමා යන හැටි

ලියයි අවසන් කතාවේ

පද රචනය – දිලනි කස්තුරිආරච්චි

තනුව, සංගීතය හා

ගායනය – කපිල අපරැක්ක

 

දෙනෝ දාහක් මැද්දෙත් හුදකලා වෙච්ච මිනිස්සු කොතෙක් නම් අපට හමුවෙලා තියෙනව ද? ආදරය ඇතිකමින් වගේම ආදරය නැතිකමින් විඳින විඳවන මිනිස්සු ඒ අතර බොහොමයි. සුන්දර පවුල් ජීවිත ගතකරන අය අතරේ නොහොඳ නෝක්කාඩුකම් එක්ක ජීවත් වෙන ගැහැනු – පිරිමිත් අපට හමුවෙනවා, හමුවෙලා තියෙනවා. ඒ අතරම අයිතිවාසිකම් නැති වුණත් සෙනෙහෙ සිතින් මියෙනතුරු එකට ජීවත් වුණ, ජීවත් වන මිනිස්සුත් ඉන්නවා. ආදරයෙන් බැඳුණු හිත් හරි සුන්දරයි. එහෙම පවුල් ජීවිත අතරට අහම්බෙන් ආව තුන්වැන්නෙක් නිසා වැනසුණ ජීවිත ද නැතුවාම නොවෙයි. ඒ කොහොම වුණත් හිත් ආදරයෙන් බැඳෙන්න මහා ලොකු වේලාවක් යන්නේ ද නැත.

ආදරයට ආදරය කරන, හරි ආදරයෙන් ළඟින් ඉන්න සුන්දර හිත් මේ මිහිමත ඕනෑතරම් ඇත. ඒ හිතක් සමඟ ආදරයෙන් බැඳෙනවට වඩා ඒ හිතක් එක්ක ඇතිවන යාළුකම හරි අපූරුයි. යාළුකමට ළඟින් ඉන්න ජීවිතේ හැම ප්‍රශ්නයකින්ම ළඟින් ඉන්න යාළුවෙකුගෙන් ආදර බැඳීමකට ඇරයුමක් ලැබුණොත් ඒක ගැන නම් දෙවරක් තුන් වරක්වත් හිතන්න වෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම බැඳීමක් ගැනයි. මේ බැඳීම ගැන, ලැබුණ ආදර ඇරයුම ගැන ඊට ලැබුණ ප්‍රතිචාර ගැන එකින් එක උත්තර නොකිව්වට ගීත රචිකාව ඒ අත්දැකීම ඇසුරු කරගෙන ලියන්නේ,

“අනාරාධිත සරාගික සඳ

දොවා සඳකැන් හිතුමතේ

නොතිත් ආශා හැඟුම් අවුළයි

බිඳියි සීමා ප්‍රේමයේ…“ කියලා.

ජනප්‍රිය ගායන ශිල්පි කපිල අපරැක්ක විසින් තනු නිර්මාණය කර ඔහු විසින්ම ගයන මේ ගීතය ලියන්නේ ගීපද රචිකා දිලනි කස්තුරිආරච්චි.

ගීතය පිළිබඳ මුලින්ම අප සමඟ කතා කළේ සංගීතවේදි කපිල අපරැක්ක ය.

“මට මේ පද පෙළ හමුවුණේ දිලනි කස්තුරිආරච්චිගේ පිටුවෙන්. ඒ පද පෙළ දුටුව ගමන් මගේ හිත ඊට ඇදී ගියා. එහි අපූරු වචනත් ඒ වචනවල තිබුණ අරුත වගේම එහි රිද්මයක් ඇති බවකුත් මට දැනුණා. ඒ පද පෙලේ ප්‍රේමය ගැන හැඟීම්බර අදහසක් තිබුණේ. භාවාත්මකව පද පෙළ, දැනෙන බවක් මට හැඟුණා. ප්‍රේමයේ විප්‍රයෝගය දැනෙන විදිහට ඒ පද ලියැවිලා තිබුණා. පද පෙළ ගැන මගෙ හිතේ තිබුණ කැමැත්ත නිසාම ඇගෙන් විමසීමක් කළා ඒ පද පෙළ ඉල්ලලා. ඇය මට බොහෝම කැමැත්තෙන් එය ලබා දුන්නා. ඒ විදිහට තමයි මගේ අතට මේ ගීතය ලැබුණේ.

කපිලගේ සංවේදී හඬින් ගැයෙන මේ ගීතය ගැන පද පෙළෙහි රචිකාව පවසන්නේ මෙහෙම අදහසක්. ඇය මින් පෙර ද අපූරු ගීත ගණනක් ලියා තිබේ.

“ මම මේ වනවිට ගීත හතළිහක් පමණ ලියා තියෙනවා. මම මුලින්ම මේක ලිව්වේ ගීතයක් ලියන අදහසින් නෙමෙයි. මගේ පේජ් එකේ මම මේක කවි පෙළක් විදිහට ලිව්වේ. මම එහෙම ලියපු ඇතැම් පද පෙළවල් ගායන ශිල්පීන් ගායනා කරලා තියෙනවා. මේ ගීතය සඳහා පාදක වෙන්නේ මගේ ‍ෙයහෙළියකගේ අත්දැකීමක්. ඇය විවාහකයි. ඇයට ඇගේ සැමියා හරි ආදරෙයි. ඔවුන් දෙදෙනා බොහෝම හොඳ ජීවිතයක් ගතකරනවා. එහෙම ඉන්න අතර තමයි ඔවුන්ගේ ජීවිතයට තුන්වැන්නෙක් එන්නේ. ඒ ඇගේ හොඳම යහළුවෙක්. ඔහු ඇගෙන් අවසර පතනවා ප්‍රේමයක් පටන් ගන්නට. එහෙත් ඇය කැමැති නැහැ ඔහුගේ ප්‍රේමය භාර ගන්නට. ප්‍රේමය භාර ගන්නට කැමැති නැතිවා වගේම ඇය ඔහුගෙන් ඈත් වෙන්නත් කැමැති නැහැ. ඒ ඇගේ යහළුකමට ඇය කැමැති නිසා. තම සැමියාට තියෙන ආදරය, සෙනෙහස, බැඳීම නිසයි ඇයට ඔහුගේ ප්‍රේමය පිළිගන්නට බැරි. ඇයට බයයි ඇගේ කැඳැල්ල තුළ ප්‍රශ්න ඇතිවෙයි කියලා ඔහුගේ ආදරයට ඉඩක් දුන්නොත්. ඒ වගේම ඔහුව ප්‍රතික්ෂේප කරන්නත් ඇය කැමැති නැහැ. මෙන්න මේ ගැටුම අතරේ තමයි මගෙ යෙහෙළිය හිටියේ. දවසක් ඇය මට මේ කතාව කියනවා. කලක් ගිහිල්ලා මගේ අතින් පද පෙළක් හැටියට මෙය ලියැවෙනවා.

“අනාරාධිත සරාගික සඳ

දොවා සඳකැන් හිතුමතේ

නොතිත් ආශා හැඟුම් අවුළයි

බිඳියි සීමා ප්‍රේමයේ….“ආදි වශයෙන් ලියැවුණ පද පෙළ මම පිටුවේ දානවා. ඒ දාපුම දවසේ තමයි කපිල සොයුරා කතා කරලා මගෙන් ගීතයකට ඒ පද පෙළ ඉල්ලා ගන්නේ. ඔහුම ඒ සඳහා තනු නිර්මාණය කරනවා. කපිලගේ තනු නිර්මාණය වගේම ඔහුගේ කටහඬත් මගේ පද පෙළට හරි අපූරුවට ගැළපෙනවා. මේ ගීතය මගෙ අතින් ලියැවුණ සාර්ථක පද පෙළක් කියන විශ්වාසය මට තියෙනවා ඊට ලැබෙන ප්‍රතිචාර සමඟ බලන විට.“

අපේ ගීත රචනා ක්ෂේත්‍රයට අලුතින්ම එක්වූ පද රචිකාවියක වන දිලනි කස්තුරිආරච්චි ගී පද රචනය මෙන්ම ගීත ගායනය සහ තනු නිර්මාණය ද කරන්නීය.

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division