Home » විකුම්සිහ කතන්දර ඔබට ගෙන එන සුදත් රෝහණ

විකුම්සිහ කතන්දර ඔබට ගෙන එන සුදත් රෝහණ

by sachintha
September 21, 2024 12:15 am 0 comment

ඔහු ටෙලිනාට්‍ය වංශකථාව වෙනස් මානයකට ගෙන ගිය අපූර්වතමයෙක්. වනවදුලේ වසන්තය, බැද්දෙ ගෙදර, කළුවර ගෙදර, ගිරි කුල වැනි අපූරු නිර්මාණ හරහා මනස සියුම්ව විචිත්‍රවත් කළ රසවතෙක්. රසඳුන පත්ඉරුවක ඉඩහසර අද වෙන් වන්නේ එකී අපූරු සාහිත්‍යකරුවා වන සුදත් රෝහණයන්ටයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

මාණික්කාවතෙන් පසුව මාර්ටින් වික්‍රමසිංහගේ ජීවිතය අළලා වාර්තා වැඩසටහන් කිහිපයක් කළා. ඉන්පසු විකුම්සිහ කතන්දර ලෙසින් රූපවාහිනී තිර රචන ග්‍රන්ථ සිංහල සාහිත්‍යයට එක් කිරීමේ භාරදූර කාර්ය මම නිම කළා. එම කෘතීන් එළි දක්වන්නේ මේ මස 25 වැනිදා හවස තුනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයෙයි.

විකුම්සිහ කතන්දර කෘතීන්හි අන්තර්ගතය කිව්වොත්?

මුදියන්සේ මාමා, දිය යට පාලමක්, උපාසක අම්මා, මව යන කෙටිකතා ආශ්‍රය කරගෙන රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයක් ලෙසයි විකුම්සිහ කතන්දර එළිදකින්නේ. මෙම ටෙලි නාට්‍ය හතරම විකාශනය වුණේ ජාතික රූපවාහිනියෙයි. 1994 විකාශය වූ ඒ ටෙලිනාට්‍ය හතර වසර තිහකට පස්සෙ තිර රචනා ලෙස නුදුරේදී එළිදකිනවා.

කෘතියක් රචනා කිරීමේ කාර්යයට අත ගැසුවේ ඇයි?

වසර තිහකට පෙර මෙම ටෙලිනාට්‍ය විකාශ වූ අවධියේ සිට මේ දක්වා කාලය තුළ රූපවාහිනිය තුළ තාක්ෂණික අංශයෙන් විශාල ඉදිරියට යාමක් තිබුණත් දිනෙන් දින කලාව තුළ මම දකින්නේ ආගමනයකට වඩා අවගමනයක්. මේ මොහොත වන විට රූපවාහිනියේ හතු පිපෙන්නාසේ ඇති නිර්මාණවලින් අප දකින්නේ සමාජ ව්‍යසනයන් පමණයි. සමස්තය එසේ බාල නිර්මාණ නොවුණත් බහුතරයක් නිර්මාණ තුළ සහෘදයාට රසවත් යමක් ලැබෙන්නේ නැහැ. සෑම නිර්මාණකරුවෙකුටම ස්වයං වාරණයක් තිබිය යුතුයි. එසේ ස්වයං වාරණයක් නොමැතිව පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් මුදල් මුල් කරගෙන කුමක් හෝ යමක් විකාශනය කිරීම ජාතියේ අවාසනාවක්. එවැනි තත්ත්වයක ක්ෂේත්‍රයට සම්බන්ධ වන කලාකරුවන්ටත් සම්බන්ධ වීමට සිදුවන්නේ එම නිර්මාණවලට පමණයි. මෙවැනි වටපිටාවක් තුළ මෙම පොත එළි දැක්වීමෙන් මම බලාපොරොත්තු වන්නේ ක්ෂේත්‍රයට පිවිසෙන අංකුර නිර්මාණකරුවන්ට වගේම ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණකරුවන්ගේ දැනුම යම් පමණින් හෝ ඉහළට එසවීමයි. මෙම විෂය පථය ගැන හදාරන්නට ඇති අවස්ථා හරිම අවමයි. ඒවගේම දුලබයි. විෂය ගැන හැදෑරීමට කැමති දක්ෂයන්ව අයාලේ යන්නට නොදී ඔවුන්ව රැක ගැනීමේ චේතනාවෙනුයි මම මෙම නිර්මාණය කරන්නේ. මෙහිදී තිර රචනයක් කියන්නේ මොකද්ද? තිර රචනාවකින් නිර්මාණයක් ගොඩනගන්නේ කොහොමද? ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව කතාබහ කරනවා. තිර රචනාව ගැන හදාරන්නන්ට පමණක් නොවෙයි සාමාන්‍ය පාඨකයන්ටත් මෙය රස විඳින්න පුළුවන්. මෙම පොත් හතර තුළ කෙටිකතා හතරම අන්තර්ගත වෙනවා. ඒ වගේම තිර රචනාත් එහි අන්තර්ගතයි. තිර රචකයා කෙටිකතාව තමන්ට අවැසි ලෙස වෙනස් කරන ආකාරය, එසේ වෙනස් කිරීම් කළේ කුමන හේතු පදනම් කරගෙනද යන්න එහි අන්තර්ගතයි. විෂය ප්‍රාමාණිකයන් මෙම තිර රචනා හා කෙටිකතා සංසන්දනය කර ලියූ ලිපි වගේම QR කෝඩ් එක ස්කෑන් කර එම ටෙලි නාට්‍ය නැරඹීමට මෙහිදී අවකාශ සැලසෙනවා. එකම කෘතියක් තුළ කෙටිකතාව තිර රචනය හා එහි රූප මාධ්‍යය කියවීමට හා නැරඹීමට හැකි ලංකාවේ බිහිවූ එකම කෘතිය මෙයයි.

කලාව හැදෑරීමේ මූලයන් අහිමිවීම උසස් නිර්මාණ බිහි නොවීමට හේතුවක් කියාද ඔබ කියන්නේ?

ඉස්සර අප රූපවාහිනිය ඉස්සරහ වාඩි වුණාම විශ්වවිද්‍යාලයකට ගියා හා සමාන දැනුමක් ලබනවා. පල්ලියකට පන්සලකට කෝවිලකට ගියා වගේ එයින් අධ්‍යාත්මය දියුණු වෙනවා. එවැනි නිර්මාණ බිහි වුණේ නිර්මාණකරුවාට නිර්මාණය ගැන වගේම සහෘදයා ගැනත් යම් වගකීමක් තිබුණ නිසයි. පළිඟු මැණිකේ වැනි නිර්මාණවල විවෘත ආර්ථිකය තුළින් සමාජය උඩුයටිකුරු වන ආකාරය ගැන කතාබහ කරනවා. එහි පට් පට් සම්තින් කියන්නේ ඒ කාලේ හුදු හාස්‍යයක් පමණක් නොවෙයි. එහි යම් සමාජ අරුතක් උද්දීපනය වෙනවා. එසේ නිර්මාණකරුවන්ට යම් දැක්මක් තිබුණා. ඒ වගේම සමාජයට විය යුත්තේ කුමක්ද යන්න අදහස ඔවුන් තුළ පැවතුනා. නිර්මාණ තුළින් සමාජය ගොඩනැඟීමේ කාර්යය ඔවුන් අකුරටම ඉටු කළා. නමුත් වත්මන් මෙගා නාට්‍ය තුළ ඒ කාර්යය ඉටු නොවෙනවා පමණක් නොවෙයි, ඊර්ෂ්‍යාව ක්‍රෝධය, වෛරය මිනිසුන්ගේ සිත් තුළ ජනිත කරවනවා. මෙගා කියන්නේ දැවැන්ත, සුවිශේෂී යන අරුතයි. දැන් කාලේ පෙන්වන දීර්ඝ ටෙලිනාට්‍යවලට මෙගා නාට්‍ය කියන වචනය පාවිච්චි කරන එකත් වැරදියි. හේතුව ඒවායෙහි දැවැන්ත බවක් හා සුවිශේෂ බවක් නැහැ. වර්තමානයේ දීර්ඝ ටෙලි නාට්‍යය දැවැන්ත ව්‍යාපාරයක් පමණයි.

පොත් ලිවීම අත්හැරුණු මෙවන් යුගයක ටෙලිවිෂනයත් එක්ක හැප්පුණු ඔබ ඇයි පොතක් ලියන්න හිතුවේ?

මම මේ පොත තුළින් මුදා හරින කරුණු නොවෙනත් මාධ්‍යයකින් මුදාහැරලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න අපහසුයි. එකී කාර්යයට මාර්ටින් වික්‍රමසිංහ භාරකාරත්ව පදනම වගේම මම හා මෙම නිර්මාණවලට දායක වූ ශිල්පීන් මූල්‍යමය වශයෙන් දායක වුණා. මම හිතනවා යහපත් හා නිවැරදි දෙයකට තවමත් මිනිසුන් එක්රොක් වෙනවා කියලා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම ඉදිරියේදී සිනමා නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සාහිත්‍ය කෘතීන් දෙකක් මේ වන විට මම තෝරාගෙන තිබෙනවා. ඉන් එකක් ආශ්‍රයෙන් සිනමා කෘතියක් කිරීමයි මගේ අනාගත බලාපොරොත්තුව.

ඔබ පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරයට කළ නිර්මාණ සීමිතයි නේද?

ඇත්තටම අඩුයි. මම කෙටි චිත්‍රපටි කිහිපයක් කර තිබෙනවා. සුදු කළුවර චිත්‍රපටයෙන් පස්සේ මම චිත්‍රපටි කරන්න එතරම් හදිසි වුණේ නැහැ. මම හිතනවා දැන් මට සිනමා කෘතියකට පිවිසෙන්න හොඳම කාලෙ කියල.

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division