කඳුකරය කී පමණින් අපේ දෑස් අතර මැවෙන්නේ බැලූ බැලූ අත හරිත පැහැගත් භූමිය වටකර ගත් කඳු වළල්ලකි. මීදුම් සේල පොරවා ගත් කඳු වැටි පිස හමා එන්නේ ගත පමණක් නොව සිත ද සලිත කරවන සීතලකි. කුඩා පඳුරු මත සැඟවී කිචිබිචි ගානා නම නොදන්නා කුඩා සියොතුන්ගේ මුනුමුනුවත් කඳු ගැට මතින් පහළට ඇද හැලෙන දිය ඇලි අප නොදන්නා බසින් ගයන ගීතවත් හඬත් හදවත චමත්කාරයකින් පුරවනු නිසැකය. ඔබ සිටින්නේ කඳුකරයේ ඉහළම ස්ථානයක නම් අතින් ඇල්ලිය හැකි තරම් පහතින් නිදහසේ එහෙ මෙහෙ සක්මන් කරන වලාකුළු ඔබේ සිත ද වලාකුළක් තරමට සැහැල්ලු කරනු ඇත. කුඩා පඳුරු මත පිපුණු වන මල් මිටක් කඩාගෙන මීදුමේ නැහැවෙමින් ගීතයක් මුමුනමින් තණ බිම් මත දිව යන්නට සිතුණ ද අරුමයක් නැත. සුන්දරත්වයේ සළු පැලඳගත් සොබාදහම කිසිදු භේදයක් නොසලකා මිනිසාටත් සතාසිවුපාවුන්ටත් තිළිණ කරන අමිල දායාදය ඒ සතුට, සැහැල්ලුවම මිස අන් කවරක්ද? එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ කඳුකරයේ සුන්දරත්වයත් ජෛව විවිධත්වයත් ඉතා ශීඝ්‍ර ලෙස වළපල්ලට යමින් තිබෙන බව ඔබ දන්නවාද? ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය පිළිබඳ වසර 24ක කාලයක් තිස්සේ කළ පර්යේෂණයක් ඇසුරෙන් පරිසරවේදී රාජික ගමගේ අපට අනාවරණය කළේ එවැනි අනතුරු ඇඟවීමකි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ අතීත භාවිතාව පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කරමින් ඔහු මෙසේ පැවසීය.
“කඳුකර තෙත් කලාපයේ ඉහළම කොටස, විශේෂයෙන් මීටර් 1200ට ඉහළ කොටස වන සමනල අඩවිය, ජල පෝෂකයක් ලෙස ඉතාම වැදගත් බවත් ජල සංරක්ෂණය සහ පහළ කඳුකර ප්‍රදේශවල සුරක්ෂිතතාව වෙනුවෙන් එය ආරක්ෂා කිරීමේ වැදගත්කමත් එදා රජවරු හොඳින් දැනගෙන සිටියා. එදා එම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර ලැබුණේ රජුගේ අවසරය මත ඉතා සීමිත පිරිසකට පමණයි. බොහෝ විට මැණික් ගැරීම සඳහා මහවැලි ගඟෙන් ඉහළට, ඒ කියන්නේ කොත්මලෙන් ඉහළ ප්‍රදේශවලට පැමිණ තිබෙන බව හෙළි වෙනවා. තලවකැලේ ප්‍රදේශයෙන් උඩ තියෙන ආගරපතන, ආගර කන්ද, දියගම (වර්තමානයේ ඩයගම ලෙස හඳුන්වන) එසේ මැණික් ගැරූ ප්‍රදේශ. මධ්‍යම කඳුකරයේ එදා ජනාවාස තිබූ බවට සාධක තිබුණත් ඒවා ස්ථිර ජනාවාස නෙවෙයි. මේ භූමියේ ගංගා මිටියාවත් දෙකක් තිබෙනවා. තෙත් කලාපයට අයත් කැලණි ගං මිටියාවත සම්පූර්ණයෙන් කැලෑව ලෙසත් මහවැලි ගං මිටියාවත තෘණ භූමි හා කැලෑ ලෙසත් තිබී ඇති බව ඒ ආශ්‍රිත ග්‍රාම නාමවලින් පැහැදිලි වනවා.
පතන, දිඹුල පතන, බෝගහ පතන, ආගර පතන වැනි ඒවා ඊට උදාහරණ. එයින් තරමක් ඉහළට යද්දි බොගවන්තලාව, බෝපත්තලාව ප්‍රදේශයේ තෘණ භූමි ලක්ෂණ තිබිලා තිබෙනවා. කඳුකරයේ ඉහළම ප්‍රදේශයේ වලාකුළු වනාන්තර ආශ්‍රිත තණ බිම් පිහිටා තිබෙනවා. තෙත් පතන් බිම් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේදී එළිය ලෙස හඳුන්වන මහඑළිය, හාවාඑළිය, සීතාඑළිය, නුවරඑළිය ආදී ප්‍රදේශ තණ භූමි බහුල ප්‍රදේශ ලෙස පැවත තිබෙනවා. මෙය තමයි අතීත භූ දර්ශනය ලෙස අපට ගත හැකි චිත්‍රය. එහි ඉහළම කොටසේ ඒ කියන්නේ නුවරඑළිය, හෝටන්තැන්න, පිදුරුතලාගල කඳුවැටිය ආශ්‍රිතව ඇති වලාකුළු වනාන්තර අපට ඉතාම වැදගත් පරිසර පද්ධතිය ලෙස හැඳින්විය හැකියි.”
මෙම වලාකුළු වනාන්තරවල බොහෝ විට තද වර්ෂාව සහ තද සුළං ඇති බැවින් ඒවාට ඔරොත්තු දෙන ලෙස ශාක සහ සතුන් අනුවර්තනය වී ඇත. උරගයන්, පක්ෂීන් සහ මැඩියන් විශේෂ රැසක් මෙන්ම මධ්‍යම කඳුකරයේ පමණක් ව්‍යාප්ත පළාත් පුෂ්පය ලෙස හැඳින්වෙන මහා රත්මල් ශාකය ඇතුළු උඩවැඩියා වර්ග, එකිනෙකට වෙනස් ශාක විශේෂ සහ පාසි විශේෂ ගණනාවක් මෙම පරිසර පද්ධතියේදී දැකගත හැකිය. ඒ අතරින් බොහෝ සත්ත්ව සහ ශාක වර්ග මෙරටට අවේණිකය. වලාකුළු වනාන්තරවලට ප්‍රසිද්ධ හෝර්ටන් තැන්නේ කිරිගල් පොත්ත, තොටුපොළ කන්ද, පිදුරුතලාගල, කිකිළියාමාන, හග්ගල යන ස්ථානවල එම සතුන් සහ ශාක දැකිය හැකිය.
“වලාකුළු වනාන්තරවල ව්‍යුහය සහ ඒවායේ තිබෙන පෙදපාසි නිසා හුළඟ එක්ක එන මීදුමේ තියෙන තෙතමනය උරාගෙන ඒවා පොළොවට දෙන්න පුළුවන්. ඒ නිසා වලාකුළු වනාන්තර පද්ධතිය සක්‍රිය නම් නියඟකදි වුණත් පහළ නිම්නයට ජලයෙන් අඩුවක් වෙන්නෙ නැහැ. අතීත රජවරු ඒ බව දැනගෙන සිටි නිසා ඒ පරිසර පද්ධතිය විශේෂයෙන් රැක ගත්තා. පතන් භූමි සහ තෘණ භූමි පොළොවට ජලය උරා ගන්නා ස්පොන්ජ් විදිහට කටයුතු කළ නිසා පහළ නිම්නවල වගේම මහවැලි ගඟෙත් ජල සුරක්ෂිතාව රැකුණා.”
එහෙත් ඔවුන් එසේ රැකගත් පරිසර පද්ධතියට කණකොකා හඬන්නට පටන් ගත්තේ යුරෝපීය ආක්‍රමණයෙන් පසුවය. යුරෝපීයයන් මුලින්ම භූමියට අත ගසන්නේ කෝපි වගාව වෙනුවෙනි. රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශ වීමෙන් පසු වගා කළ සිංකෝනා වගාව එතරම්ම සාර්ථක නොවීම නිසා යුරෝපීයන් ඉන්පසු නැඹුරු වන්නේ තේ වගාවටය.
“ලංකාවේ මධ්‍යම කඳුකරය මුලින්ම එළි කළේ තේ වගාවට නෙවෙයි කෝපි වගාවටයි. කෝපි වගාව විනාශ වුණාට පස්සෙයි තේ වගාවට ඒ බිම් යොදා ගත්තෙ. 1844 –1880 කාලයේ රාජකීය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ආචාර්ය ත්වයිට්ස්, අඩි 5000ට ඉහළ ප්‍රදේශ වගා කිරීමට නුසුදුසු බව ප්‍රකාශ කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉහළ කඳුකර වනාන්තර හෙළි කිරීම නතර කළා. ඒ නිසා අඩි පන්දහසට වඩා ඉහළ කඳුකර ප්‍රදේශවල කැලෑ යම් පමණකට සංරක්ෂණය වුණා. අපේ රට නිදහස ලබන තෙක්ම ඒ නීතිය ඒ විදිහටම තිබුණා. නමුත් යුරෝපීයයන් තේ වගාව නඩත්තු කළේ තනි භෝගයක් විදිහටයි. ඔවුන් ජීවත් වූ වතු බංගලා වටේට ඔවුන්ගේ රටවලින් ගෙනාව ශාක වගා කරමින් ඔවුන්ගේ රටේ භූ දර්ශනය අපේ රටේ පවත්වාගෙන ගියා. සෑහෙන කාලයක් ඒවා ඒ ආකාරයට තිබුණත් නිදහසින් පසු 1960 වර්ෂයේ ඒ වතු රජයට පවරා ගැනුණා. මෑත කාලය වන විට කඳුකරයේ පරිසර පද්ධතිය විනාශ වීමට හේතු කිහිපයක්ම බලපාන බව නිරීක්ෂණය වී තිබෙනවා.”
පරිසරවේදී රාජික ගමගේ පැවසුවේ කැලෑ කැපීම, හෙළි කිරීම වැනි මානව ක්‍රියාකාරකම් කඳුකරයේ පරිසර පද්ධතිය විනාශ වීමට බලපාන ප්‍රධාන හේතුව බවය. දෙවැනි හේතුව මධ්‍යම කඳුකරය ආක්‍රමණය කළ ආක්රමණික ශාක සහ මිනිසාගේ මැදිහත් වීම මත සිටවූ විවිධ ශාක ය.
“යුරෝපීයයන් ඔවුන්ගේ ගෙවතු ආශ්‍රිතව වගා කිරීමට ගෙනා ශාක, ආහාර අවශ්‍යතා මත ගෙනා ශාක සහ වෙනත් විවිධ හේතු නිසා ගෙනා ශාක ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් ස්වාභාවික පරිසරයට නිදහස් වීමෙන් පසු දරුණු ආක්‍රමණිකයන් ලෙස කඳුකරය පුරා ව්‍යාප්ත වුණා. හෝර්ටන් තැන්න, ශ්‍රී පාද රක්ෂිතය සහ නුවරඑළිය මෙම තර්ජනයට දැඩිව මුහුණ දී සිටින අතර, මේ වන විට යුරෝපයෙන් යුරැක්ස්, ඇඹුල් බට, මිහිඳුම් මල් වැනි ආක්රමණික ශාක වර්ග 25ක් පමණ මධ්‍යම කඳුකරය තුළ ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා. මෑත කාලයේ යෝධ මාන හෙවත් ගිනි තෘණ (Panicum maximm) ශාකය පට්ටිපොළ දක්වාම පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම තවත් වැල් තණකොළ වර්ගයක් වන Panicum trichocladum මේ වන විට ගිනි තෘණ ශාකයත් අබිබවමින් ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයටත් ව්‍යාප්ත වී තිබෙනවා. මේ ආක්රමණික ශාක නිසා කඳුකර පරිසර පද්ධතියේ ආවේණික ශාක සහ සතුන් ඉක්මනින් වඳවීමේ තර්ජනයකට මුහුණ දී සිටිනවා. ඊට හේතුව ආක්රමණික ශාකවලට දේශීය ශාක යටපත් කරගැනීමට ඇති වේගවත් හැකියාවයි. ඒ නිසා දේශීය ශාක නිරන්තරයෙන්ම ආක්රමණික ශාකවලට පරාද වී යටපත් වනවා.
උදාහරණයක් ලෙස ගිනි තෘණ ශාකය සැලකුවහොත් එහි ඇති ඉතා ඉහළ බීජ ව්‍යාප්තිය නිසා වී කුරුල්ලන්, මීයන් වැනි සතුන්ගේ ගහනය ඉහළ යනවා. ඒ සමඟ ගිනි තණ පඳුරු තුළ මීයන් වැනි සතුන් වාසස්ථාන ගොඩනඟා ගැනීමෙන් වී වගාව සඳහා දැඩි බලපෑමක් ඇතිවනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා බිම් සැකසීම හා වල් මර්දනය වැනි කටයුතුවලටත් ගිනි ශාක බාධාවක්. සමනලයන්ගේ සිරිපා සංක්‍රමණය තිබෙන්නේ ලංකාවේ මධ්‍ය කඳුකරය හරහා වුවත් සමනලයන්ගේ වාසස්ථානය වන විවෘත වනාන්තර, ලඳු කැලෑ ප්‍රදේශ, වැව් පිටි හා මාර්ග දෙපස ඇති එළිමහන් ප්‍රදේශ බොහොමයක් මේ වන විට ගිනි තෘණ ශාකය විසින් ආක්‍රමණය කර අවසන්. එම ප්‍රදේශවල තිබුණු ශාක විවිධත්වය අඩු වීම සමනල ගහනයේ අඩු වීමටත් දැඩිව බලපා තිබෙනවා.”
ඊට අමතරව ඉවක් බවක් නැතිව පරිසර පද්ධතිය තුළ වනාන්තර ඇති කිරීම ද කඳුකරයේ විනාශයට හේතු වී ඇති බව පරිසරවේදී රාජික ගමගේ පෙන්වා දෙයි.
“ශාක වැවීම විද්‍යාත්මකව කළ යුතු දෙයක්. මගේ පෞද්ගලික මතය පරිසර පද්ධතියක් ඇතුළත කැලෑ හැදීම නොකළ යුත්තක්. මෑත කාලයේදී පරිසර පද්ධති තුළ කැලෑ නිර්මාණය කිරීමට විවිධ ප්රවණතා ඇති වුණා. එයින් සිදුවූ පරිසර හානිය විශාලයි. ඊට හේතුව අපි හිටුවන ශාකය ඒ පරිසරයට ගැළපෙන්නෙ නැහැ. පහුගිය වසර විස්ස තුළම අවිධිමත්ව වගා කළ ශාක නිසා පරිසර පද්ධති විනාශ වුණා. යුකැලිප්ටස් වගාව ඊට එක් උදාහරණයක්.
කඳුකරයේ මුලින්ම තිබුණේ පතන් බිම්. ඒ නිසා සුළඟ හමාගෙන යන්නේ පොළොව මට්ටමින්. නමුත් කඳුකරයේ යුකැලිප්ටස් වගාව වැඩි වෙන්න වෙන්න සුළඟ හමන වේගය හා ගමන් කරන උස වෙනස් වුණා. උස ශාක හුළං බාධකයක් විදිහට කටයුතු කරන නිසා ඒ ශාක වගාව හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒ ශාක නිසා කඳුකරයේ තිබුණු වලාකුළු වනාන්තර විනාශ වෙනවා. වලාකුළු වනාන්නර වැඩි හරියක් යැපෙන්නෙ සුළඟින් සහ මීදුමෙන්. වලාකුළු වනාන්තර විනාශ වීම පහළ නිම්නවල ජල අවශ්‍යතාවලටත් බලපෑවා. අපේ රට පරිසර පද්ධති රැසකින් හැදුණු එකක්. ඒ නිසා වැවිය යුත්තේ ඒ ඒ පරිසර පද්ධතියට හොඳින්ම ගැළපෙන ශාක පමණයි. දේශීය ශාක වර්ධනය වෙන්නේ ක්‍රමානුකූලව නිසා ක්ෂණික ප්‍රතිඵල පෙන්විය හැකි ගස් කඳුකරයේ නැහැ. ඒ වගේම ආක්රමණික ශාකවල යටි රෝපණයක් නැහැ. දේශීය ශාක කියලා අපි බොහෝ විට මධ්‍යම කඳුකරයේ සිටුවන්නේ වියළි කලාපයට සහ අතරමැදි කලාපවලට ගැළපෙන මී, කුඹුක් වගේ ශාක. ඒ වගේම පිටරටින් ගෙනා පයිනස්, සයිප්‍රස් වැනි ශාකවලින් වෙන්නේ පරිසර පද්ධතිය උඩු යටිකුරු වීමයි.”
අනතුරුව හෙතෙම පැහැදිලි කළේ මෑතකාලීනව කඳුකරයේ ඇති වගුරු බිම් ගොඩ කිරීම, එළවළු වගාවන් සඳහා යොදා ගැනීම, උණ ගස් වැනි ශාක සිටුවීම නිසා වර්ෂා කාලයේදී වතුර ගබඩා කර තැබීමේ අවස්ථාව අහිමි වන බවයි. මේ සියලු ගැටලුවලට හේතුව කඳුකර පරිසර පද්ධතියේ ජෛව විද්‍යාත්මක වටිනාකම නිසි ලෙස හඳුනා ගෙන නොමැති වීම බව පරිසරවේදී රාජික ගමගේ අවධාරණය කළේය.
“ඒ ගැන නිසි අවබෝධයක් නැතිව ශාක වගා කිරීම කඳුකරයේ දේශීය ශාක සහ සත්ත්ව ප්‍රජාවට විශාල තර්ජනයක්. ඒ සමඟම ඇතැම් විලෝපික ප්‍රජාව කෙටිකාලීනව වැඩි වෙලා එකපාරට යළිත් අඩු වෙලා ඔවුන් වඳ වෙලාම යන්නත් පුළුවන්. සමහර සතුන්ගේ ඝනත්වය වැඩි වෙලා එක මට්ටමකදී එය නැවත පහළ බැස කාලයක් ගත වුණාට පසුවයි පරිසර සමතුලිත භාවය කියන තත්ත්වයට එන්නෙ. මේ තත්ත්වය මනාව වටහා ගැනීමට අපට තිබෙන බාධාවක් වන්නේ එක් එක් පරිසර පද්ධති පිළිබඳ අතීත දත්ත නොමැති වීම. අතීත අත්දැකීම් අනුව දැන් එතැන තිබෙන්නේ වනාන්තරයක් ද, තණ භූමියක් ද කියන්න අපි දන්නෙ නැහැ. කඳුකරයේ තිබෙන ප්‍රධානම ගැටලුව ආක්රමණික ශාක නිසා වේගයෙන් වෙනස් වුණ පරිසර පද්ධතිය යළි යථා තත්ත්වයට ගැනීමට කටයුතු නොකිරීමයි.”
ඊට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් ගැන ද ඔහු මෙසේ පැවසීය.
“ඒ අතර භයානකම කරුණ කඳුකරයේ වැඩි වශයෙන් ජීවත් වන දමිළ ප්‍රජාවට කඳුකරය ගැන තිබෙන පාරිසරික දැනුම ඉතාම අඩු වීම. මුල් කාලයේ මෙරටට ගෙන්වා ගත්තේ ඉන්දියාවේ වියළි කලාපයේ ජීවත් වූ ජන කණ්ඩායම් නිසා ඔවුන්ට මෙහේ පරිසරය ගැන දැනුමක් නැහැ. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන් දන්න වියළි කලාපයේ සාම්ප්‍රදායික පාරම්පරික ක්‍රම අනුව වීම කඳුකරයේ ජෛව විවිධත්වයට බරපතළ තර්ජනයක්. ඒ වගේම කඳුකරයේ ජීවත් වන තවත් පාර්ශ්වයක් වන පහතරටින් එහි සංක්‍රමණය වූ ප්‍රජාවටත් කඳුකරය ගැන නිසි පාරිසරික අවබෝධයක් නැහැ. එදා මෙදාතුර ඔවුන්ට ඒ පරිසර දැනුම ලබා දීලත් නැහැ. එම නිසා කඳුකර පරිසර පද්ධතිය විනාශ කරන, එහි ජෛව විවිධත්වයට හානි කරන මිනිසා විසින්ම සිදු කරන ලද වෙනස්කම් නතර කර පරිසරය යළි යථා තත්ත්වයට පත් කිරීමෙන් පමණයි මෙම විනාශය වැළැක්විය හැක්කේ.”
පරිසරවේදී රාජික ගමගේ පැවසුවේ වසර 24ක් තිස්සේ ඔහු විසින් කරන ලද පර්යේෂණයෙන් අනාවරණය කරගත් කරුණුය.
“විශේෂයෙන් වසර 2009න් පසුව කඳුකරයේ සිදු කරන ලද මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ වෙනස්වීම් මේ විනාශයට හේතුවයි. පරිසර පද්ධතිය වෙනස් කිරීම නිසා ඇතිවූ වෙනස්කම් රැකීමෙන් සිදු වන්නේ එය තවත් විනාශයට යෑමයි. එම නිසා කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා කළ යුත්තේ මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වූ ස්වාභාවික පරිසර පද්ධතිය යළි යථා තත්ත්වයට ගෙන ඒමයි. එවිට අනවශ්‍ය දේවල් බැහැර වෙලා පරිසරය යළි යථා තත්ත්වයට පත්වනවා. එසේ නැතිව වෙනස තවදුරටත් පවත්වාගෙන යෑම නොවන බව අවධාරණය කළ යුතුව තිබෙනවා.”
ඒ අනාවරණය කඩිනමින් පරිසරය පිළිබඳ තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ ඇස ගැටිය යුතුය. එසේ නොවන්නට අහිමි වන්නේ සිසිල් සුළඟ, මීදුම, නැවුම් වාතය, පිරිසිදු දිය උල්පත්, දේශීය ශාක සහ සතුන් සහිත මනහර භූ දර්ශනවලින් පිරි කඳුකරයේ සුන්දරත්වය විඳින්නට අනාගත පරපුරට ඇති අයිතියයි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්