– වැල්ලම්පිටිය, ගොඩගම, හංවැල්ල ගෙවල් 11ක් බිඳලා රුපියල් ලක්ෂ 25ක දේපළ සොරකම් කරලා
– රුපියල් ලක්ෂ 20ක දේපළ පොලිසියෙන් සොයා ගනී
– මිදිගමින් වැල්ලම්පිටියට පැනලා
මත්ලෝලී පුද්ගලයන්ගේ එකම අරමුණ වන්නේ එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලදී ගැනීමට ප්‍රමාණවත් තරමේ මුදලක් සොයාගැනීමය. රෙදි වැලක වනා ඇති ඇඳුමක් එහෙමත් නැත්නම් නිවෙසක පිටුපස දමා ඇති පරණ පිත්තල බඩුවක් හෝ සොරකම් කර විකුණා ගැනීමට ඔවුන් පෙලඹී සිටින්නේ මත්ද්‍රව්‍ය නොමැතිව ඔවුන්ට එක මොහොතක් හෝ සිටීමට නොහැකි නිසාය.
මේ කතාවේ ‘නායකයා’ ද මත්ද්‍රව්‍යවලට බොහෝ සේ ඇබ්බැහි වූ අයෙකි. පවුලේ එකම දරුවා ලෙස හැදී වැඩුණු මොහුට සිටියේ මව පමණකි. ඔහු කවදත් ඉගෙනීමට ඇල්මක් දැක් වූ අයෙකු නොවන බව පැහැදිලිය. නිවෙසේ තිබූ අගහිඟකම් හමුවේ අධ්‍යාපනයට නැවතීමේ තිත තැබූ ඔහු හය වසරෙන් පසුව කැලෑ පනිමින් කොලුකුරුට්ටන් සමඟ රංචු ගැසුණේ නූල ගිලිහුණ සරුංගලයක් ලෙස ඉබාගාතේ සැරිසරමිනි. මේ අතර මුදල් ඉපයීමට මාර්ග සෙවූ ඔහු අසල්වැසියන්ගේ කුකුළන් සොරකම් කිරීම මෙන්ම හොරෙන් පොල් කැඩීමද සිදු කළේ සොරකමට අත්පොත් තබමින් කීයක් හෝ උපයාගැනීම සඳහාය. මේ නිසා ඔහුට ‘මිදිගම කුකුළු පාලිත’ යන නම පටබැඳීමට වැඩි කාලයක් ගත වූයේ නැත. කෙසේ වුවත් දිනෙන් දින දින ගම් ප්‍රදේශයේ සිදුවන සොරකම්වලට මොහුව සැක කිරීමට පටන් ගත් අතර, පොලිසියට කොටු වූයේ ද වරක් දෙවරක් නම් නොවේ.
මේ නිසා කවුරුත් ඔහු දෙස බැලුවේ වපර ඇසින් වන නිසා කුමක් හෝ සොරකමක් සිදු වූ විට සැකය එල්ල වූයේද කුකුළු පාලිත දෙසය.
කවුරුත් ඔහුට අකමැති මෙන්ම ඔහු ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බැවින් අසරණ මවද තනි කර දමා ඔහු කොළඹට පලා එන්නේ තවදුරටත් ගමේ සිටීම දුෂ්කර වූ බැවිනි.
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයට ආ ‘මිදිගම කුකුළු පාලිත’ නමැති 25 හැවිරිදි මේ ගැටයා මහා පරිමාණයෙන් ‘වැඩ’ පටන්ගත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ද ඔහුට දිනපතාම විශාල මුදලක් ද අවශ්‍ය බැවිනි. ඉන්පසු නිදහසේ තැන තැන සැරිසරමින් හිතේ හැටියට ගෙවල් බිඳුම් සිදු කර රන් බඩු සහ ජංගම දුරකතන ඇතුළු වටිනා දේපළ සොරකම් කිරීම මොහුගේ දින චරියාවේ අංගයක් බවට පත්වූයේ ඉබේටමය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 01 හි සැරයන් (69598) අනිල්ට මේ අතර තොරතුරක් ලැබෙන්නේ ප්‍රදේශ ගණනාවක ගෙවල් බිඳුම් සිදු කර දේපළ සොරා ගන්නා මත්ලෝලියෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ සැරිසරන බවටය.
සිය ඉහළ නිලධාරීන්ට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ඔවුන්ගේ උපදෙස් අනුව මේ මත්ලෝලියා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම ආරම්භ කළේ සැරයන් (40248) ප්‍රසන්නයි. ඔහු විසින් දිවා රෑ නොබලා සිදුකර ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස වැලිකඩ ප්‍රදේශයේදී ‘මිදිගම කුකුළු පාලිත’ අත්අඩංගුවට ගන්නේ මෙතෙක් ඔහු සිදුකළ ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ සියල්ලකගේ තොරතුරුද හෙළිදරව් කරමිනි.
වැල්ලම්පිටිය, හෝමාගම සහ හංවැල්ල යන ප්‍රදේශවල පමණක් ඔහු විසින් ගෙවල් බිඳුම් 11ක් සිදු කර රන් භාණ්ඩ, වටිනා ජංගම දුරකතන, මුදල් ඇතුළු දේපළ සොරකම් කර ඇති බව මෙහිදී අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.
වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා දේපළ සොරාගත් බවට පැමිණිල්ලක් තිබූ බව අනාවරණය වූ අතර මොහු විසින් සොරකම් කරන ලද රන් මාල, මුදු, කරාඹු වැනි දේපළ සේදවත්ත අවට සහ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ ආයතනවලට විකුණා සහ උකස් කර මුදල් ලබාගෙන ඇති බව ද අනාවරණය විය.
මේ පුද්ගලයා සොරකම්වලින් උපයාගත් එම මුදල් සියල්ලම කිසිම ලෝභකමකින් තොරව මත්ද්‍රව්‍යවලට වැය කර පසු දිනටත් එයම සිදු කරන්නේ එය ඔහුගේ එකම ආදායම් මාර්ගය වන බැවිනි. මේ අයුරින් රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න දේපළ මොහු විසින් සොරකම් කර ඇති අතර, රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළ ද පොලිසිය විසින් සොයාගන්නා ලදි. මීට අමතරව මෙම පුද්ගලයාට මිදිගම ප්‍රදේශයේ සිදූ කරන ලද සොරකම් සම්බන්ධයෙන් වරෙන්තු හතරක් නිකුත් කර ඇති බව ද අනාවරණය වී තිබේ.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ නියෝග පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ උපදෙස් මත ඒකක අංක 01හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ මෙහෙයවීමෙන්, සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න, 72338 ලලන්ත, 69598 අනිල්, 72979 චමින්ද, කොස්තාපල්වරුන් වන 84762 කුමාර, 87699 චානක, 77687 අමිල, 81680 සමීර, 19363 සේනානායක, 104675 කේසර, 14940 ජෆ්රාන් යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ-හල්තොට සමූහ