පෙම්වතියගේ නිරුවත් රූ සමාජමාධ්‍යයට මුදා හරිනවැයි බියකර කප්පම් මුදල් අරන්
පෙම්වතිය පෙම්වතාට රු. 34,500ක් දීලා
පෙම් සබඳතා බිඳ වැටෙන අවස්ථාවලදී සමහර පෙම්වතුන් පෙම්වතියන් අතර ඇති වෙන්නේ සදාකාලික වෛරයකි. බිඳුණු සබඳතා පසුකාලයක පෙම්වතියටත් පෙම්වතාටත් සමහර අවස්ථාවලදී බරපතළ අපහසුතා ඇතිකරවයි. අන්තර්ජාලය මේ කර්තව්‍යයට ලොකු දායකත්වයක් ලබා දෙයි.
ප්‍රේම කරන කාලයේ ගත් ඡායාරූප නිදහසේ කාලය ගත කළ හැටි සහ ඊටත් වඩා එහාට ගොහින් කළ කී දෑ බොහෝ අවස්ථාවලදී පෙම්වතුන් පෙම්වතියන්ගේ ජංගම දුරකථනවල ගබඩාවී ඇත. මේවාට ‘පණ’ එන්නේ ප්‍රේම සබඳතා බිඳුණු මොහොතේ පටන්ය.
පෙම් සබඳතාවය බිඳ වැටෙන මොහොතේ පටන් ඇතැම් පෙම්වතුන් පෙම්වතියට වෛර කරති. එසේ නොකරන අයද නැත්තේම නැතත් වැඩිපුරම ඇත්තේ තමා හැර ගිය පෙම්වතියට අකුල් හෙළන අයයි. පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සන්තකයේ ඇති පෙම්වතුන් අන්තිමේදී ලෝකයාටම තමා හැරගිය පෙම්වතියගේ නිරුවත පෙන්වීමට ගත කරන්නේ විනාඩියකටත් අඩු කාලයකි.
තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරුවන අයුරු දකින ඕනෑම යුවතියකට දැනෙන්නේ අපමණ වේදනාවකි. මෙවැනි සිදුවීම් සිය දහස් ගණනක් මේ වනවිට සිදුවී හමාරය. පොලිසිය, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය මෙවැනි පැමිණිලි රැසක් මේ වනවිටත් විමර්ශන කරමින් සිටී.
තමන් කොපමණ ආදරය කළත් පෙම්වතා හෝ කිසිම අයකුට තමන්ගේ නිරුවත් ඡායාරූප ලබා නොදිය යුතු බව තරුණියන්, සිසුවියන්, යුවතියන්, තරුණ කතුන්ට පොලිසිය, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් සම්මන්ත්‍රණ, වැඩමුළු, මාධ්‍ය සාකච්ඡා පවත්වා අවධාරණය කර ඇතත් ඇතැමුන් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගැනීම නිසා අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ නිකරුණේය.
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමනවා කියා බය කර ඇගෙන් කප්පම් මුදල් හෝ සිය ලිංගික ආශාවන් සම්පූර්ණ කර ගන්නා පෙම්වතුන් ද නැත්තේම නැත. මේ කතාව ද එවැන්නකි. වාර්තා වූයේ අනුරාධපුර දිසාවේ මිහින්තලේ පොලිස් ස්ථානයෙනි.
ඇය මිහින්තලේ ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි. ඇය පෙම්වතකු ඇසුරු කරන්නේ මේ වසරේ මුල සිටය.
මේ දෙදෙනාගේ ප්‍රේම සබඳතාවයට මාස හතඅටක් ගත වන්නේ ඔය අතරතුරේදීය. සිසුවිය තම පෙම්වතාට ආදරය කෙළේ කෙදිනක හෝ ඔහු තමාගේ සැමියා වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
පාසල්වියේ හටගන්නා පෙම් සබඳතාවලට වැඩි ආයුෂ නැතැයි කතාවක් ඇත. සිසුවිය සහ පෙම්වතාගේ ‘ආදර කතාවට’ ද දින සති මාස ගණන් ගතවෙද්දී පෙම්වතාගේ කිසියම් වෙනසක් සිසුවියට නිරීක්ෂණය විය. ඇය ඒ ගැන දැඩි අවධානයෙන් සිටියාය. ඒ අතරේ සුවිශේෂ දෙයක් විය. ඒ පෙම්වතා ඇය අතහැර යාමයි. ඊට විශේෂ හේතුවක් තිබුණේ නැතත් සිසුවිය ඒ ගැන දුකෙන් කනගාටුවෙන් කල්ගෙව්වාය.
මේ අතර සිසුවිය හැර ගිය පෙම්වතා ඇයට දින කීපයකට පසු දුරකතන ඇමතුමක් දුන්නේ සිසුවිය බලාපොරොත්තු නොවූ ආකාරයටය. පෙම්වතාගේ ඇමතුම ඇගේ සිතට සහනයක් ගෙන දුන්නද ඔහු කී දෙයින් ඇය තුෂ්ණිම්භූත වන්නේ ඊළඟ මිනිත්තු කීපයේදීය.
සිසුවියට දුරකතන ඇමතුමක් දී තර්ජනය කරන හිටපු පෙම්වතා කියන්නේ සිසුවියගේ නිරුවත් ඡායාරූප ඔහු සන්තකයේ ඇති බවකි. ඉන් නොනැවතුණු ඔහු සිසුවියට පවසන්නේ තමාට මුදල් අවශ්‍ය බවකි. නොඑසේ නම් සිසුවියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට එක්කාසු කරන බව ඔහු පවසන්නේ සිසුවිය බරපතළ මානසික පීඩනයකට ලක්කරමිනි.
පෙම්වතාගේ මේ කුරිරු ක්‍රියාවෙන් කම්පනයට පත්වූ සිසුවිය තමන්ගේ ආත්මගරුත්වය බේරා ගැනීම සඳහා පෙම්වතාට මුදල් ලබාදීමට තීරණය කළාය. මේ තිරිසන් පුද්ගලයාට මුදල් ලබා නොදුනහොත් ඔහු කී ආකාරයටම තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට නොපැකිළෙන බවද ඇය දැන සිටියාය. මිහින්තලේ නගරයේ ඒ. ටී. එම්. යන්ත්‍රයකින් රුපියල් 4000ක් ගත් සිසුවිය එය පෙම්වතාට යැව්වාය. එහෙත් මේ පෙම්වතා ඉන් සෑහීකට පත්වූයේ නැත. ඔහු දිගින් දිගටම මුදල් ඉල්ලා පෙම්වතියට කරදර කෙළේ මුදල් නොදෙන්නේ නම් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන බවට තර්ජනය කරමිනි.
පෙම්වතාගේ තර්ජනයට බියවූ සිසුවිය නැවත රුපියල් 5000ක් ඔහුගේ ගිණුමට බැර කළාය. මෙලෙස අවස්ථා පහකදී මේ සිසුවිය හිටපු පෙම්වතාගේ තර්ජනයට බියෙන් ඔහුට රුපියල් 34,500ක් යවා තිබිණි.
රුපියල් 34,500ක් පෙම්වතිය බියගන්වා ලබාගත් සාහසික පෙම්වතා ඉන් සෑහීමකට පත්වූයේ නැත. ඔහු රුපියල් 30,000ක් පෙම්වතියගෙන් නැවත ඉල්ලුවේ එය ලබාගැනීමේ අරමුණෙනි. සිසුවිය ඒ වනවිට මහත් ආතතියකට පත්ව සිටියාය. ඒ තිරිසන් පෙම්වතාගේ ක්‍රියාව නිසාය. පෙම්වතාගෙන් කිසිදෙනක ගැළවීමක් තමාට නැති බව සිසුවියට ඒ වනවිට වැටහී තිබිණි. ඔහු තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තමාට කරන තර්ජනය ද කිසිදිනෙක නතර නොකරන බවද සිසුවියට වැටහී තිබිණි. අන්තිමේදී ඇය තීරණයකට එළැඹියාය. ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. තමන්ගේ මව්පියන්ට මේ ගැන තොරතුරු හෙළිකළ සිසුවිය ඉන් අනතුරුව යන්නේ මිහින්තලේ පොලිසියටය.
පොලිස් පොතේ පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ වූ අතර සිසුවිය මේ ගැන පොලිසියට පැමිණිලි කළ බව දැනගත් පෙම්වතා ප්‍රදේශය අතහැර පලා ගියේය.
සිසුවිය පෙම්වතාට ආදරයට අමතා ඇත්තේ ‘සුදු තාත්තා’ ලෙසය. ‘සුදු තාත්තා’ අල්ලා ගැනීම සඳහා මිහින්තලේ පොලිසියේ කණ්ඩායමක් මේ වන විට දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.
දීපාල් සමරසේකර