මැදිවියේ පසුවන කාන්තාවක් වන ඇය එක්දරු මවකි. සැමියා සහ දරුවා අතහැරදමා ඇය දැනට ජීවත් වන්නේ අනියම් සැමියා සමඟය. ඒ මාස අටක පමණ කාලයක සිටය. ඇයට ඔහු හමුවී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේදී ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කුලී ගමන් යාම නිසාය. මහනුවර ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනකු සහ බිරියක සිටින මෙම පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ රජයේ මුද්‍රණාලයේ කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කරන බැවින් මෙම කාන්තාව සමඟ මිතුරුවීමෙන් පසුව පදිංචිව සිටින්නේ රාජගිරිය, ඇතුල් කෝට්ටේ, උස්වත්ත මාවතේ කුලී නිවෙසකය. ඒ දැනට මාස අටක පමණ කාලයක සිට රුපියල් 17000ක කුලියටය.
“මම වැඩ කරන්නේ කොළඹ නඩුකාර නෝනා කෙනෙක්ගෙ ගෙදර. මං අපේ නෝනට කියලා ඔයාගේ පුතාට රස්සාවක් අරන් දෙන්නම්…”
මේ කාන්තාවට වාද්දුව, මැලෑගම පදිංචි යුවළක් මෙලෙස හමුවන්නේ කතරගම සිට කොළඹ බලා පැමිණි බස් රථයකට ඇය වැලිගමින් පසුගිය මැයි 31දා ගොඩ වූ අවස්ථාවේදීය. කතරගම සිට ආපසු එමින් සිටි මෙම යුවළ සමඟ හිතවත් වූ ඇය ඔවුන්ගේ සියලු තොරතුරු කතාබස් කර ගෙන තමන් කොළඹ මහේස්ත්‍රාත්වරියකගේ නිවෙසක සේවය කරන බවත් ඔවුන්ගේ දරුවාට රැකියාවක් ලබාදීමට මහේස්ත්‍රාත්වරිය මඟින් හැකි බවත් පවසා ඔවුන් සමඟම එම නිවෙසට යන්නේ අතේ කරේ බැබළුණු රන්වල දිස්නයේ තරමටම දැන හඳුනා ගැනීම ද බලවත් වූ බැවිනි. ඇය තේ කෝප්පය තොලගාමින් සාලයේ එහා මෙහා ඇවිදින අතර නිවැසි කතට පැවසුවේ තම රාජකාරිය ඉටුකර ගැනීමට ඉඩක් සාදා ගැනීම සඳහාය. තම තේ කෝප්පය සාලයේ තබා බිස්කට් ගෙන ඒමට නිවැසි කත ගෙතුළට ගිය අතර එම තේ කෝප්පයට සඟවාගෙන සිටි මත්පෙති කුඩු ටික මේ කත ඊට කළවම් කළේ සීරුවෙනි. සුළු මොහොතකින් ඇය එම නිවසින් පිටවන්නේ ගෙහිමි කතගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් මාලයක්, රන්මුදු දෙකක්, කරාබු ජෝඩුවක් තමා සතු කරගෙනය.
තවත් දිනක ඇගේ අනියම් සැමියා ඇතුල්කෝට්ටේ ගරාජයකට යන්නේ ඔහුගේ ත්‍රිරෝද රථය අලුත්වැඩියා කර ගැනීමටය. ගරාජ් හිමියාගේ කරේ පෙනුමට දිළිසුනේ රන් මාලම දෙකකි. රාක්කයක ලියා තිබූ ඔහුගේ දුරකතන අංකය සටහන් කර ගත් මෙම පුද්ගලයා අනියම් බිරිය වන මේ කතාවේ නායිකාවට එම අංකය දුන්නේ ඉතිරි කාර්ය කර ගැනීම සඳහාය. දින කිහිපයක් තිස්සේ එම නොම්මරයට ඇමතුම් ගෙන ත්‍රිරෝද රථ ගරාජ හිමියා සමඟ සබඳතාවක් ගොඩනගා ගත් ඇය ඔහුට ආරාධනා කළේ තනිවම මුණගැසීමට ඔහු පොලඹවා ගැනීමෙන් පසුවය. මේ අනුව රාජගිරිය, ඔබේසේකරපුර හෝටලයක කාමරයක් වෙන්කර ගත් යුවළ එහි යන්නේ හිතේ හැටියට සතුටු වීම සඳහාය. බීම බෝතල් දෙකක් ගෙන්වා ගැනීමට ද මේ අතර ඇය කටයුතු කළාය.
“ඉතින් සුදූ ඔයාත් වොෂ් එකක් දාගෙන එන්නකෝ” ඇය ගරාජයේ හිමිකරුට කීවාය.
ඇඟපත සෝදාගෙන පැමිණි ඇය ඔහුව නාන කාමරයට පිටත්කර බීම බෝතලයට විෂ මිශ්‍ර කුඩු මිශ්‍ර කළේ යටි සිතින් සිනාසෙන අතරය.
වෙළෙඳ සැලකට ගොස් එන බව හෝටල් කළමනාකරුට පවසා හෝටලයෙන් හදිසියේ පිටත්ව ගිය කත නැවත නොපැමිණීම නිසා සැක සිතී ඇය සිටි කාමරයට යන කළමනාකරු දකින්නේ සිහිසුන්ව සිටි ගරාජ් හිමියාය. ඔහු රෝහල්ගත කරන්නේ ඒ අනුවය. ඔහුට සියල්ල වැටහෙන විට දින කීපයක් ගතවී තිබිණ. රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා පවුම් අටක් බර රන් මාල දෙකක් සහ ජංගම දුරකතන දෙකක් ඔහුට අහිමි වූයේ අනියම් පෙමක රස විඳීමට ගොස්ය.
මොරටුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් මේ කත අනතුරුව බම්බලපිටියට යන්නේ බැංකුවට යා යුතු බව පවසමිනි. මේ ගමනට මේ ත්‍රිරෝද රථ රියැදුරාට කතා කරන්නේ ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල බැඳි රන් මාලය දුටු බැවිනි. මේ නිසා බැංකුවට ගොස් එළියට පැමිණි ඇය බොරුවට කිසිවෙකුට දුරකතනයෙන් ඇමතුවේ රියදුරුට පෙනෙන ලෙසය.
“යාළුවෙක් එනවා කිව්වා. එයා එනකන් පැය දෙක තුනක් ඉන්න වෙනවා. එතකන් අපි කොටුවෙ බීච් සයිඩ් එකට යමු” යැයි ත්‍රිරෝද රථයේ රියදුරුට කීවාය.
කෑම පැකට් එකක් සහ අයිස්ක්‍රීම් කප් දෙකක් රැගෙන ත්‍රිරෝද රථයෙන් මුහුදු තීරයට යන ඇය රැගෙන ගිය බත් මුල ලිහා ආහාරයට ගන්නේ ත්‍රිරෝද රථයේ සිටමය.
“ආ අයියේ කන්න ඔයාටත් එක්කමයි මං මේ අයිස්ක්‍රීම් ගත්තේ.” ඇය කීවාය. විපතක් සිදුවන බව නොදත් ඔහු එය ආහාරයට ගත්තේ ඇයට ස්තූති කරමිනි.
එම කුලී ගමනින් ඔහුට අහිමි වූයේ තුන්ලක්ෂ විසිදාහක් පමණ වටිනා පවුම් දෙකක් බර රන් මාලය සහ රුපියල් හත්දස් පන්සීයක මුදලය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට, වැලිකඩ පොලිසියේ පැමිණිල්ල පිළිබඳව විමර්ශන සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ අතරය.
ඒ උප පොලිස් පරීක්ෂක චින්තක දසනායකගේ මූලිකත්වයෙන් යුත් ඒකක අංක 02 කණ්ඩායමටය. සැරයන් (38723) රංජිත්ට මෙම කාන්තාව පිළිබඳ තොරතුරක් ලැබෙන්නේ විමර්ශන සිදු කරමින් යන විටය. ඒ ඇය ඇතුල්කෝට්ටේ, උස්වත්ත මාවතේ කුලී නිවසේ සිටින බවටය. ඇය අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී හඳුනා නොගත් කුඩා පෙති හතළිහක් පමණ ඇය සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය.
“මගේ කලින් මිනිහා තමයි මට මේවා පුරුදු කළේ. මං හිරේ ඉඳලා එනකොට මිනිහා වෙන ගෑනියෙක් එක්ක ඉන්නවා. ඉතින් මං එයාව අත්හැරලා මෙයා එක්ක ආවා. මෙයාට සීනි ප්‍රේෂර් තියෙනවා. ඒවට බෙහෙත් ගන්නකොට මේ පෙතිත් අපි ගන්නවා” ඇගෙන් ලැබුණේ එවන් පිළිතුරකි. පොලිසිය පවසන්නේ මෙම පෙති ලබාදීමෙන් පසු කිසිවකු ක්ලාන්ත වී හෝ නොවැටෙන බවත් අවසිහියෙන් කටයුතු කරන බවත්ය.
ඇයට අනුව නම් මේ නස්පැත්තිය සිදු වී ඇත්තේ එලෙසය. ඇයට විරුද්ධව මරදාන පොලිසිය නඩු දෙකක් සහ පෑලියගොඩ පොලිසිය මඟින් නඩුවක් පවරා ඇති අතර අධිකරණයේ දැනට විභාග වන නඩු දෙකක් පවතින බවද අනාවරණය වී තිබේ. ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගන්නේ රැකියා කරන ආයතනය තුළදීය. ඒ ත්‍රිරෝද රථය ද සමඟය. වැලිකඩින් සොරාගත් ජංගම දුරකතනය හමුවන්නේ ඔහු සතුව තිබියදීය.
මෙලෙස සොරා ගන්නා රන් බඩු ගාල්ල, කොල්ලුපිටිය, නුගේගොඩ, බොරැල්ල ආදි ප්‍රදේශවල රන් බඩු ආයතනවලට විකුණා ඇති අතර ඒවා උණු කර තිබියදී සොයා ගත්තේ ගුලි වශයෙනි. මේ අනුව පවුම් හතරහමාරක් පමණ බර රන් කැබලි තුනක්, ජංගම දුරකතන හතරක් ඇතුළු ලක්ෂ 24කට ආසන්න වටිනාකමක් ඇති දේපළ සොයා ගැනීමට පොලිසිය කටයුතු කළේය.
අහංගම පදිංචිකාරියක වන 43 හැවිරිදි සැකකාරියටත් මහනුවර පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි සැකකරුටත් සිදුවන්නේ එකටම කල්දේරම් බතේ රස විඳීමටය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක 2 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක සැරයන්වරුන් වන (38723) රංජිත්, (60161) වසන්ත, (61249) ලංකා, (73067) අනුරාධ, (21249) බණ්ඩාර, කොස්තාපල් (83774) සුධීර, කාන්තා කොස්තාපල් (90001) අනුෂා, සැරයන් රියැදුරු (21284) බණ්ඩාර යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ