දඹ රන් පිළිමයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ගේ තැත වැරදී ගම්වාසීන් විසින් ඔවුන් අල්ලා ගස් බැඳ පොලිසියට භාරදීමට කටයුතු කිරීමේ පුවතක් පසුගියදා වාර්තා වූයේ පුත්තලම දිසාවේ කරුවලගස්වැව පොලිස් ස්ථානයෙනි.
මේ සිදුවීම වූයේ ඉකුත් 17 වෙනි දින පුර පසළොස්වක පොහෝ දින උදාවීමට ඔන්න මෙන්න තිබියදීය. සිද්ධිය වූයේ කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේය.
පුත්තලම සාලියවැව පොලිස් වසමට අයත් පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම මංසන්දියේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි දුටුවන්ගේ නෙත් පිනවන මනස්කාන්ත පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි.
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක තම්මැන්නාවැටියේ ධර්ම කීර්ති ශ්‍රී රතන ජෝති නාහිමියන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිය. 78 වන වියේ පසුවන උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ වසන්නේ දශක කීපයක සිටය. වෙහෙරගල රජමහා විහාරස්ථානය පිරිවෙන් විහාරස්ථානයක් නිසා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා කීප නමක් එහි වැඩවසන්නාහ.
16 වෙනි දින රාත්‍රියේ පසුදා උදාවන බිනර පොහෝ දිනට වත්පිළිවෙත් සිදු කිරීමට අවැසි දෑ සම්පාදනය අවසන් කළ විහාරස්ථානයේ දායකයින් පිරිසක් ඉන් පිටත්වූහ. වෙලාව රාත්‍රී 11.45ට පමණය. දීර්ඝ වේලාවක් විහාරස්ථානය ආසන්නයේ සැක නොසිතන අන්දමින් වෑන් රථයකින් පැමිණ රැඳී සිටි රියදුරු ඇතුළු කොල්ලකරුවන් තිදෙනෙකු දෑස් යොමා සිටියේ මේ අය පිටවයනතුරුය. රියදුරු වෑන් රථයේ රැඳී සිටියේය.
කොල්ලකරුවන් තිදෙනකු විහාරස්ථානයට ඇතුළු වූහ. මොවුන්ගේ ඉලක්කය වන්නේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති මිල කළ නොහැකි දඹරන් පිළිමය සොරා ගැනීමයි. මෙහි ආරක්ෂාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙක් යොදවා ඇති අතර ඉන් දෙදෙනා බැගින් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ සේවා මුර දෙකක් යටතේ සේවයේ යෙදී සිටී. එදින රාත්‍රී කාලයේ සේවයේ යෙදී සිටින සිවිල් ආරක්ෂක නියාමකයින් දෙදෙනා වරින්වර විවෙික ගනිමින් සේවා මාරු වෙමින් සේවයේ නිරතවූහ.
එම අවස්ථාවේ එක් අයෙක් විවේක ගනිමින් සිටින අතර අනෙක් අය ගිනි අවිය ද අත දරා ධාතු මන්දිරය ආසන්නයේ සේවයේ යෙදී සිටියේය. ඔහුට නොදැනෙන සේ විහාරස්ථානයේ පිටුපසට වන ලැහැබේ සැඟව සිටි කොල්ලකරුවෝ හීන්සීරුවේ ධාතු මන්දරය ආසන්නයට පැමිණියහ. තිදෙනාම එකවරම ආරක්ෂක නියාමකයා වෙත කඩා පැන්නේ තත්පර කීපයක් ඇතුළතදීය.
එම අවස්ථාවේ කොල්ලකරුවෝ සිවිල් ආරක්ෂකගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළහ. කොල්ලකරුවන් හැඩි දැඩිය. තිදෙනෙක් සමඟ තමන්ට ගැලවීමක් නොමැති බව දැන දැනත් ඔහු ගිනි අවිය උදුරා ගැනීමට නොදී කොල්ලකරුවන් තිදෙනා සමඟ පොර බඳිමින් ඔවුන්ගේ ග්රහණයෙන් මිදීමට උත්සාහයක නිරත විය. විනාඩි කීපයක් පොර බැඳීමත් සමඟ එක් කොල්ලකරුවෙක් ඔහුගේ ගිනි අවිය උදුරාගෙන ආරක්ෂකයාට පහර දුන්නේය. ඒ සමඟම සිවිල් ආරක්ෂක නියාමකයා මහ හඬින් කෑගැසුවේය. එම කෑගැසීමෙන් අවදි වූ විහාරස්ථානයේ රැඳී සිටි ස්වාමීන්වහන්සේලා සහ අනෙක් ආරක්ෂක නියාමකයා, අවට සිටින ගම්වැසියන් කඩිනමින් එම ස්ථානයට පැමිණෙන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.
‘වැඩ වැරදී’ ඇති බව වටහා ගන්නා කොල්ලකරුවන් තිදෙනා පලායාමට කටයුතු කරන්නේ ඒ මොහොතේමය. පැමිණි පිරිස හඹා ගොස් එක් කොල්ලකරුවෙකු අල්ලා ගන්නේ විනාඩි ගණනක් ඇතුළතදීය. ග්‍රහණයට හසු වූ කොල්ලකරුවාට පහරදී ගසක බැඳීමට ගම්වාසීන් කටයුතු කළහ. ගම්වැසියන් පලාගිය සෙසු කොල්ලකරුවන් දෙදෙනා පසුපස හඹායාමට කටයුතු කළද ඔවුන් සොයා ගැනීමට නොහැකි විය. මේ අතරතුර ඔවුන් පැමිණි වෑන් රථය ද පලා ගොස් තිබුණි.
අනතුරුව පලා ගිය කොල්ලකරුවන් සොයා 17 වෙනි දින අලුයම ගම්වාසීන් සාලියවැව පොලිස් නිලධාරීන් සමඟ එක්වී මෙහෙයුමක් ආරම්භ කිරීමට කටයුතු කළේය.
මෙසේ ඔවුන් සොයා ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුම අතරතුරදී නිවසක සැඟවී සිට උදෑසන ඉන් පිටත්ව යාමට සූදානම් වූ තවත් කොල්ලකරුවෙකු ගම්වාසින් අල්ලා ගස් බැඳ පොලිසියට භාර දීමට කටයුතු කරන ලදි. මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ දඹරන් පිළිමය කොල්ලකෑමට හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් වෑන් රථයෙන් පැමිණ ඇති බවයි. ඔවුන් රත්නපුර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද හෙළිවිය.
මෙලෙස මීට පෙර වෙහෙරගල රජමහා විහාරස්ථානයෙ තැන්පත් කර ඇති දඹරන් පිළිම පැහැර ගැනීමට කොල්ලකරුවන් අවස්ථා කිහිපයක් උත්සාහ කර ඇති බවද හෙළිවිය.
මෙසේ අවස්ථා දෙකකදී රන් පිළිමය කොල්ලකරුවන් රැගෙන ගියද විවිධ හේතූන් මත පිළිමය යළි සොයා ගැනීමට හැකි වී ඇත්තේ හාස්කමක් නිසාවෙන් බව පවතින විශ්වාසයයි.
1997 වර්ෂයේ මැයි මස 21 වැනි දින දහවල් පොලිස් වෙසින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් නිධානයකින් ගත් පිළිමයක් බව කියමින් පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේ නොමඟ යවමින් ලියවිල්ලක් ඉදිරිපත් කර එය රැගෙන යාමට කටයුතු කර ඇති අතර පසුව ඔවුන් සම්බන්ධව සැක සිතී වාහනයේ අංකය සටහන් කරගෙන පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු සැකකරුවන් සමඟ රන්පිළිමය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
ඉන් අනතුරුව 2002 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වෙනි දින රාත්‍රී කාලයේ කොල්ලකරුවන් පිරිසක් පැමිණ මෙම දඹරන් පිළිමය රැගෙන යාමට කටයුතු කර ඇති අතර පසුව කළ විමර්ශනවලදී අනුරාධපුර නාච්චදූව වැව අසල දමා ගොස් තිබියදී දඹරන් පිළිමය සොයා ගෙන තිබේ.
මෙම දඹරන් පිළිමය අවස්ථා ගණනාවක මෙසේ කොල්ලකෑමට උත්සාහ කළද ඒ සියල්ල ව්‍යර්ථ වී ගියේ පවතින හාස්කම් නිසාත් නිරන්තරයෙන් වත්පිළිවෙත් කර මෙය ආරක්ෂා කරන නිසා බව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති තම්මැන්නාවැටියේ ධර්ම කිර්ති ශ්‍රී රතන ජෝති නාහිමියෝ පවසති. මෙසේ කීප අවස්ථාවක දඹරන් පිළිමය පැහැර ගැනීමට තැත් කිරීම හේතුවෙන් එම කාල වකවානුවේ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේගේ ඉල්ලීම පරිදි පොලිස් ආරක්ෂාව සපයා දී තිබූ අතර මෑත කාලයේ පොලිස් ආරක්ෂාව ඉවත් කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇත.
පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාරගේ උපදෙස් මත ආණමඩුව සහකාර පොලිස් අධිකාරී සමන් ප්‍රියන්තගේ මෙහෙය වීමෙන් සාලියවැව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර සේනානායක අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මිහිර විජේසේකර - මාරවිල සමූහ