මෙහි කතානායකයා අවුරුදු 10ක පිරිමි දරුවෙකි. හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ මොහු ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූවෙකි. මේ සියලු දස්කම්වලට තිත තබමින් අවසානයේ සිය මවට පහරදී තුවාල සිදු කිරීමට තරම් ඒ ළමා මනස විකෘති වූ අතර, ඊට හේතුව වූයේ ඉහත සඳහන් කළ ජංගම දුරකතනයයි. ඇඟලුම් කම්හලක රැකියාව කරන මවත්, ස්ථිර රැකියාවක් නොකරන දරුවාගේ පියාත් යම් ගැටලුවක් අරබයා එකිනෙකාගෙන් වෙන්ව ජීවත්වීම මෙම තත්ත්වය ඔහුට ඇතිවීමට යම්තාක් දුරට අනුබලයක් වන්නට ඇතුවාට සැකයක් නැත.
මවුපියන් වෙන්ව ජීවත්වීමත්, රැකියාව සහ එදිනෙදා කටයුතු හමුවේ ඔවුන් කාර්යබහුල වීමත් මත කිසිවකුගේ විශේෂ අවධානයකට පාත්‍ර නොවුණ මෙම සිසුවා තමන්ට දැනුණු පාළුව, කාංසිය මඟහරවා ගැනීමට තෝරාගත් ක්‍රමය වූයේ ස්මාට් ජංගම දුරකතනයයි. එහි විවිධාකාරයේ දුරකතන ක්‍රීඩා (ගේම්)වලට යොමුවූ ඔහුගේ ළමා මනස අවසානයේ නතර වූයේ අමුතුම ආකාරයේ ක්‍රීඩාවක් මතය. එහි ප්‍රධානතම අන්තර්ගතය වූයේ විවිධ පුද්ගලයන්ට අමානුෂික අයුරින් වධහිංසා කරමින් ඔවුන් ඒවාට මුහුණදී වේදනාවෙන් කෑගසද්දී ඉන් කුරිරු මානසික තෘප්තියක් ලැබීමයි. දිනකට පැය කිහිපයක් මෙම ක්‍රීඩාවේ නිරතවූ පාසල් සිසුවා අවසානයේ ඉන් ගැලවීමට නොහැකි වන අයුරින් ඊට ඇබ්බැහි වන අතර, පාසල අවසාන වී නිෙවසට පැමිණෙන්නේ කුමන මොහොතකදැයි සිතමින් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ නිෙවසට පැමිණි සැණින් තම ‘සිත්ගත්’ දුරකතන ක්‍රීඩාවේ යෙදීමටය. මේ ආකාරයෙන් ඊට අනුගත වන ඔහු සවස හයට ආරම්භ කරන ඔහුගේ කර්තව්‍යය පසුදා පාන්දර හතර පමණ වන තෙක් සිදු කරමින් අසීමිත ‘විකෘති වින්දනයක්’ ලබන්නේ පාසල් වැඩකටයුතු සම්පූර්ණයෙන් අමතක කර දමමිනි.
හිමිදිරි පාන්දර තෙක් අවදිව සිටීම නිසා දැනෙන නිදිබර ගතිය හේතුවෙන් උදෑසන පාසල් යාමට දැඩි අපහසුතාවයෙන් පෙළෙන මේ ළමයා කල් යත්ම පාසල් යාමද අතපසු කරමින් අධ්‍යාපන කටයුතුවලින්ද බැහැර වන්නේ තව තවත් පෙර කී ක්‍රීඩාවට ආශක්ත වෙමිනි. රාත්‍රී කාලයේ නිෙවසේ රැඳී සිටින වැඩිහිටියන් විසින් ඔහුගෙන් ජංගම දුරකතනය යම් අයුරකින් ලබාගතහොත් නිවසේ බඩුබාහිරාදිය පොළවේ ගසමින් කෑමොර දෙමින් යුද්ධ ප්‍රකාශ කරන අතර ඔහුගේ මේ කරදරයෙන් ගැලවීමට වෙනත් මඟක් නොවූ තැන අවසානයේ ඔහුට කැමති අයුරකින් දුරකතනය පරිහරණය කිරීමට ලබා දීමට නිවැසියන්ට සිදු වන්නේ සියල්ල පාසල් සිසුවාගේ වාසියටම හරවමින්ය.
කල් ගතවද්දී තමන් දෑසින් පමණක් නරඹන ක්‍රීඩා ක්‍රම තම අතින්ම අත්හදා බැලීමට ඔහුට සිතක් පහළ වන්නේ ඒවා නැරඹීමෙන් සිතට දැනෙන ආස්වාදය තාත්විකවම විඳ බැලීමට ඒ කුඩා ළමා මනස යොමු කරවමිනි. ඒ සඳහා විවිධ ක්‍රම සිතා බැලුවද ඊට පිටස්තර පුද්ගලයින් යොදා ගැනීමට ඔහුගේ නොමේරූ මනස පසුබට වන අතර, අවසානයේ ඒ සඳහා හොඳම විකල්පය වශයෙන් ඔහු තෝරාගන්නේ තමන්ට ලේ කිරි කර පෙවූ සිය ආදරණීය මවයි.
විශාල ප්‍රමාණයේ ගලක් අතට ගන්නා මෙම දරුවා ඉන් තම මවට පහර දෙන අතර, තම දෑස වන් දරුවාගේ අමානුෂික හැසිරීම හමුවේ ඔහුගේ ප්‍රහාරවලින් ගැලවීමට උත්සාහ කරන මවගේ පාදයකට අවසන ඉන් එක් පහරක් එල්ල වන්නේ පාදයෙන් රුහිරු වගුරවමිනි.
තුවාලයෙන් දැනෙන වේදනාවෙනුත්, තම ප්‍රාණය වන් දරුවා තමන්ට සිදු කළ අපරාධයෙනුත් දැඩි කායික මෙන්ම මානසික වේදනාවට පත්වන ඇය උහුලාගත නොහැකිව දුකින් කෑගසද්දී ඉන් කුරිරු ලෙස සතුටුවන සිසුවා හඬ නඟමින් සිනාසෙමින් තම සතුට ප්‍රකාශ කරන්නේ ඔහුගේ ළමා මනස කොතරම් විශාල ලෙස විකෘතිව ඇද්ද යන්න මනාවට හෙළි කරමින්ය.
තම දෑස් ඉදිරිපිටම දිනෙන් දින විනාශයේ මුඛය වෙත ඇදෙන සිය පුතු මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමට වෙනත් කිසිම විකල්පයක් නොමැති තැන අවසානයේ නිවැසියන් නීතියේ පිහිට පතමින් ඉංගිරිය පොලිසිය වෙත පැමිණෙන අතර, නීතිය ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කරමින් තම දරුවා සිදු කළ ක්‍රියාව හඬා වැලපෙමින් හෙළිදරවු කරන්නේ ස්වභාවධර්මයෙන්, ලෝ පාලන දෙවියන්ගෙන් නොලැබුණ පිහිට පොලිස් නිලධාරීන්ගෙන් හෝ ලැබේයැයි සිත තුළ පැවති අවසාන බලාපොරොත්තුවෙන් වන්නට ඇත.
කිසි දිනක අසන්නට නොලැබුණ ආකාරයේ අමුතුම මුහුණුවරක් ගත් මෙම පැමිණිල්ලට සවන් යොමන ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල්, ළමා සහ කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂක රේණුකාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ වන අතර, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණිල්ල යොමු කෙරෙන්නේ නීතියේ වැඩිදුර මඟපෙන්වීමක් අපේක්ෂාවෙනි.
එහිදී මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය සියල්ලන්ම ඉදිරියේ අදාළ සිසුවාගෙන් නඟන ප්‍රශ්නවලට සිසුවා පිළිතුරු ලබා දුන් අතර, එහිදී පාසලේ ඔහු විවිධ විෂයයන් සඳහා ලබා ගත් ලකුණු සංඛ්‍යාවන් විමසීමේදී එක් එක් විෂයයන් සඳහා තමන් ලබා ගත් බවට ඔහු ඉහළ ලකුණු සංඛ්‍යාවන් ප්‍රකාශ කරන්නේ ඊට සවන් යොමු කරමින් මෙම අපූරු ආකාරයේ පැමිණිල්ලට අවදානය යොමු කළ සියලුදෙනාටම ‘අනේ අපොයි’ යැයි කියවමිනි.
ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම දරුවා පරිවාස භාරයට යටත් කිරීමටත්, පරිවාසය මාර්ගයෙන් ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමටත් පොලිසියට උපදෙස් ලබා දෙන අතර, මෙම සියලු උත්සාහයන් ව්‍යර්ථ වුවහොත් අවසාන විකල්පය වශයෙන් ඔහු බන්ධනාගාරගත කිරීමට සිදුවනු ඇති බවට ප්‍රකාශ වෙද්දී සියල්ලන් ඉදිරියේ බිමට යොමාගත් හිසෙන් යුතුව පාසල් සිසුවා විත්ති කූඩුවෙන් බැස යන්නේ උසාවියේ රැස්ව සිටි සියලුදෙනාටම සිතන්නට යමක් ඉතිරි කරමින්ය.
කරුණු කාරණා එලෙස සිදු ෙවද්දී පොලිසියෙන් ලැබුණු කරුණු පැහැදිලි කිරීම් සහ උපදෙස්වල ප්‍රතිඵල මල්පල ගන්වමින් එතෙක් දුරස්ව සිටි මෙම දරුවාගේ මව සහ පියා යළිත් එක නිවහනකට එක්ව නොමඟ ගිය සිය ආදරණීය පුතණුවන් සුමඟට ගැනීමේ කර්තව්‍යයට අතගැසීමට තීරණය කළේ “හැමදේම වෙන්නේ හොඳටයි” යන කියමනට කදිම උදාහරණයක් පෙන්වමිනි. විසිර තිබී එලෙස යළි එක්වූ කුරුලු කූඩුවේ දෙමාපිය ආරක්ෂාව හා රැකවරණය මැද ඔවුන්ගේ නිරන්තර අවධානයට මැදිව නව ජීවිතයක් ඇරඹූ මෙම සිසුවාගේ කැපීපෙනෙන ප්‍රගතියක් දිනක් දෙකක් ගතවද්දී දක්නට ලැබෙන්නේ සියලු දෙනාගේම නොමඳ ප්‍රීතියට හේතුවක් වෙමිනි.
දිනපතා නිෙවස වෙත ගොස් දරුවාගේ ප්‍රගතිය පිළිබඳව පොලිසිය විසින් සොයාබැලීම සිදුවන අතර, පසු දිනක එලෙස නිෙවස වෙත යද්දී මෙම සිසුවා නැවත තම කැදැල්ලට එකතු වූ සිය පියාණන් සමඟ කැරම් ක්‍රීඩාවේ යෙදී සිටියේ පොලිස් නිලධාරීන්ගේ දෙනෙතට සතුටු කඳුළු කැන්දමිනි.
සැමදෙනාගේම උත්සාහය හමුවේ එලෙස නොමඟට යොමුවූ දරුවකු යළි නිසි මඟට පැමිණි බවට දක්නට ලැබුණද, මෙම කතාව කියවන සියලුදෙනාටම සිතන්නට වැදගත් යමක් ඉතිරිව ඇති බව පැවසිය යුතුමය. එනම් නූතන සමාජයේ කාර්යබහුලත්වය සහ එදිනෙදා කටයුතුවල පහසුව උදෙසා විකල්පයක් ලෙස ස්මාට් ජංගම දුරකතනය දරුවන් අතට පත්කරන මවුපියන් ඒ පිළිබඳව වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතා බැලිය යුතු බවයි.
ප්‍රියදර්ශනී කහවල -ඉංගිරිය මධ්‍යම සමූහ