“හලෝ පුතේ හරි වැඩේනේ වෙලා තියෙන්නේ. අර අද වැඩට ගත්තු ගෑනු කෙනා කියන්නෙත් නැතුව ගිහිල්ලා. මං හැම තැනම හෙව්වා. කොහෙවත් නෑ…“
බිරිඳගේ පියාගෙන් මෙම ඇමතුම ලැබෙන විට ගිහාන් සිටියේ ව්‍යාපාරික ස්ථානයේ කටයුතුවල යෙදෙමිණි. වන්දනාකරුවන් විදේශගත කරවන ව්‍යාපාරයක නියැළෙන ගිහාන් පදිංචිව සිටියේ දෙහිවල, ලියනගේ පාරේ නිවෙසේය. නිවසේ වැඩ තනියම කර ගැනීමට නොහැකි නිසා ඔහු අදහස් කළේ සේවයට කාන්තාවක් සොයා ගැනීම සුදුසු බවය. මේ සඳහා පුවත්පතක දැන්වීමක් පළ කළේ වැඩිමහල් සහෝදරිය මාර්ගයෙනි. මෙම දැන්වීමට අනුව නිවෙසේ සේවය කිරීමට කැමති බව දන්වා කතා කළ කාන්තාවන්ගෙන් එක් අයකු තෝරා ගැනීමට කටයුතු කළ අතර පසුගිය දා ඇය ගෙන්වා ගත්තේ ඒ සඳහා ඇය සුදුසු බව සියල්ලන් විසින් සාකච්ඡා කර තීරණය කිරීමෙනි. ඇගේ පුද්ගලික තොරතුරු කිසිවක් නොවිමසා දුරකතන අංකය පමණක් ලබාගෙන ඇය නිවෙසේ සේවයට තෝරා ගත් අතර එවිට වෙලාව උදේ 10.00 පමණ වී තිබිණ.
ව්‍යාපාරික ගිහාන් සිය රැකියා ස්ථානයටත් බිරිය දරු දෙදෙනා රැගෙන පාසලටත් පිටත්ව ගිය අතර නිවෙසේ සිටියේ බිරියගේ වියපත් මව සහ පියා සමඟ හාපුරා කියා නිවසට ගෙන්වා ගත් මෙහෙකාර කාන්තාව පමණි. ඇයට නිවෙසේ වැඩ කටයුතු කිරීමට පවරා වැඩිහිටි යුවළ ඔවුන්ගේ පාඩුවේ පැත්තකට වී සිටි අතර මුළුතැන්ගේ දෙසින් කිසිම ‘හැල හොල්මනක්’ නොමැති බැවින් සොයා බැලීමේදී මෙහෙකාරිය නිවෙසේ නොමැති බව දැන ගත්තේ දහවල් 1.00 පමණ වන විටය. කලබල වූ පියා බෑනා වන ගිහාන්ට දුරකතනයෙන් දැනුම් දුන්නේ මෙහෙකාරිය පිළිබඳව සෑම තැනම සොයා බැලීමෙන් අනතුරුවය.
දරු දෙදෙනා රැගෙන ඒමට පාසලට ගිය බිරියට ගිහාන් විසින් මේ බව දන්වන්නේ ඉන් අනතුරුවය. කලබල වූ බිරිය නිවෙසට පැමිණ උඩුමහලේ නිදන කාමරයේ තිබූ අල්මාරිය පරීක්ෂා කර බැලුවේ තමාගේ වටිනා රන් බඩු තොගය සඟවා තිබුණේ එහි නිසාය. ඇයට දෙවියන් සිහි වූයේ එවිටය. අල්මාරියේ සඟවා තිබූ රන් බඩු කිසිවක් එහි නොවීය.
… අනේ ගිහාන් අපි දැන් මොකද කරන්නේ? අල්මාරියෙ රත්තරං බඩු නැහැ. මේ සේරම ගෑනි අතගාගෙන ගිහින්. දැන් කොහොමද අපි එයාව හොයාගන්නේ.? කාගේ කවුද කියලා මොකුත් විස්තරයක් අපි දන්නේත් නැහැනේ…යැයි දුරකතනයේ එහා කෙළවරෙන් ඇසෙන බිරියගේ හැඬුම්බර හඬට ගිහාන් සවන් දුන්නේ අව සිහියෙන් මෙන්ය. කළ හැක්කේ පොලිසියේ පිහිට පැතීම පමණි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ පිළිබඳ පැමිණිල්ල ලැබෙන්නේ ඒ අනුවය.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටි අතර සැරයන් 75769 ජයතුංගට මේ අතර තොරතුරක් ලැබෙන්නේ හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් රත්මලාන ප්‍රදේශයේ සැරි සරන බවටය. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාරිය අත්අඩංගුවට ගැණුන අතර ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් තිබී සොයා ගැනීමට හැකි විය.
වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී ඇය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිදි කාන්තාවක් බව අනාවරණය විය. ගෘහ සේවිකාවන් අවශ්‍ය බවට පුවත්පත්වල පළ කරන දැන්වීම්වලට කතාකර නිවෙස් වලට ගොස් වටිනා දේපළ සොරා ගන්නා තැනැත්තියක් බවට ඇය හඳුනාගෙන ඇත්තේ ඉන් අනතුරුවය. ඇය මේ කටයුතු සඳහා ඇමතුම් ගැනීමට භාවිතා කර ඇත්තේ පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවකගේ ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගත් සිම් කාඩ්පතක් යෙදු ජංගම දුරකතනයක් මඟින් බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මේ කත ගිහාන්ගේ නිවෙසින් රුපියල් ලක්ෂ අසූ හතරක් පමණ වටිනා රන් වළලු දෙකක්, රන් පෙන්ඩනයක්, රන් මාලය දෙකක් ඇතුළු දේපළ සොරා ගෙන ඇති අතර ඒවා පිටකොටුව, හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් බඩු අලෙවිසැල්වලට විකිණීමට කටයුතු කර ඇති බවද පොලිසිය එම බඩු සොයාගන්නා විට ඒවා උණු කර තිබූ අතර කොටසක් ඇය සන්තකයේ සඟවාගෙන තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මිරිහාන, හොරණ, කැස්බෑව, කහතුඩුව, මත්තගොඩ, මහරගම, මාලඹේ, අලුත්ගම, රත්ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක සැකකාරියට විරුද්ධව නඩු පවතින්නේ ඇගේ මෙහෙකාර සේවයේ තරම කියාපාමිනි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිසියට පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර ඇය ඊට පෙර සිදු කළ සොරකම් සම්බන්ධයෙන් වරෙන්තු ද නිකුත් කර තිබෙන බව අනාවරණය වී ඇත්තේද එහිදීය.
එදා සිටම සොරකමට පුරුදු වී ඇය සිදුකළ වැරදි හේතුවෙන් අධිකරණය මඟින් ඇයට දඬුවම් ලබා දුන්නත් ඇගේ මෙම වැරදි ක්‍රියා නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි වී තිබේ.
ඇය මෙලෙස මෙහෙකාර සේවයට පැමිණ නිවෙස්වලින් දේපළ සොරකම් කරමින් ලබා ගන්නා මුදල් එකතුකර විදේශගතවීම සඳහා විදේශගතව සිටින කාන්තාවක් මඟින් සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසි පහක මුදලක් විදේශගත කාන්තාවගේ අනුරාධපුරයේ සිටින ඥාතියකුගේ නමට තිබෙන බැංකුවක ගිණුම් ගත කර ඇති බවද අනාවරණය වී තිබේ.
මේ නිසා අධිකරණය මඟින් ඇයට විදේශ ගමන් තහනමක් පැනවීමට ද කටයුතු කර තිබේ.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, සැරයන් 75767 ජයතුංග, කොස්තාපල්වරුන් වන 26454 රණසිංහ, 97397 දෙහිගම, 96142 ජයතිස්ස, 102364 බුද්ධික, කාන්තා පොලිස් කොස්තාපල් 11329 මදුෂිකා, 12391 එමාශා, කොස්තාපල් රියැදුරු 97027 මුතුමාල යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදුකළහ.
(ගිහාන් යන නම පමණක් මනඃකල්පිතය)
විනීතා මානෙල් ගමගේ-හල්තොට සමූහ