කොල්ලකෑම් සොරකම් ඇතුළු ‘සියලුම වර්ගවල’ අපරාධ සිදුකර ‘ඇතුළට’ යන මත්ලෝලී අපරාධකාර කල්ලි සාමාජිකයන් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ‘එළියට’ ඇවිත් සිදු කරන්නේ ද පෙර සිදු කරන ලද අපරාධමය. ඒ ඔවුන්ට මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීම සඳහාය.
ඇතැම් අවස්ථාවල එලෙස අධිකරණවලින් ඇපමත මුදා හැරෙන මත්ලෝලී අපරාධකරුවන් බන්ධනාගාරයෙන් එළියට පැමිණ නැවත තමන්ට සුපුරුදු ‘අපරාධ චාරිකාවේ’ නිරත වෙද්දී පොලිසිය විසින් ඔවුන් අල්ලා ගැනීම සඳහා සොයන විට ඔවුන් වෙනත් වැරදිවලින් ඇතුළට ගොස් ඇති බව හෙළිකරගත් අවස්ථා ද රැසකි. ඒ තරමටම මත්ලොලීන් සිදුකරන අපරාධවල වර්ධනයක් දක්නට ඇත්තේ මත්ලෝලීන්ගේ සංඛ්‍යාවේ ද යම් වර්ධනයක් පෙනෙන්නට ඇති නිසාය. මේ කතාවට උදාහරණයක් පසුගියදා වාර්තා වූයේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයෙනි.
මේ කතාව මුල සිටම වාර්තා වන්නේ මෙසේය.
කැලණිය සරසවියේ සේවයේ නිරත මහාචාර්යවරියකගේ වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවෙසකට ඉතා සූක්ෂමව ඇතුළු වූ සොරෙක් රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා රන් අබරණ සොරකම් කරගෙන පලාගොස් තිබිණි. ඒ පසුගිය අප්‍රේල් මාසයේ 24 වැනිදාය.
අදාළ මහාචාර්යවරියගේ නිවෙසට මේ සැකකරු ඇතුළු වී තිබුණේ නාන කාමරයෙනි. රුපියල් 41 ලක්ෂයක් පමණ වටිනා රන් අබරණ සොරකම් කරගෙන ගොස් තිබුණු අතර රන් තැල්ලක්, වළලු 06ක්, මුදු 02ක් සහ කරාබු ජෝඩු 03ක් මෙලෙස සොරකම් කරගෙන ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන ආරම්භ කරන ලදි. එම සිද්ධිය ගැන තොරතුරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ද ඒ වන විට වාර්තා වී තිබූ අතර එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාරගේ උපදෙස් මත තවත් විමර්ශන ආරම්භ විය.
බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් රංජිත් (38723) මේ සිද්ධිය ගැන සිය විශේෂ අවධානය යොමු කරන්නේ ඔය අතරදීය.
එසේ විමර්ශන ආරම්භ කළ සැරයන් රංජිත් මෙම සොරකම සිදුකරන්නට ඇතැයි සැක කරන අපරාධකරුවන් ගැන ‘තෝම්බුවක්’ ද හදාගෙන ඔවුන්ගේ නම් ගම් ඡායාරූප ද නිරීක්ෂණය කරමින් එම අපරාධකරුවන් පෙර කළ අපරාධ සහ ඔවුන්ගේ චර්යා ගැන අධ්‍යයනය කරද්දී ‘ලෝක හොරෙක්’ පිළිබඳව දැඩි සැකයක් මතුවීම නිසා ඔහු පිළිබඳව සොයා බලන්නට පියවර ගත්තේ දින කීපයක් ඇතුළතදීය.
සැරයන් (38773) රංජිත් මෙලෙස සිය සුවිශේෂි අවධානය යොමුකර සොයන පුද්ගලයා එසේ මෙසේ සොරදෙටුවෙකු නොවේ. ඔහු පෑලියගොඩ සහ මෝදර පොලිස් වසම්වල වෙළෙඳසල් 6ක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකි.
සැකකරු පිළිබඳ තොරතුරු සොයන සැරයන් (38773) රංජිත් හෙළිකර ගත්තේ එම සැකකරු පසුගිය අගෝස්තු මාසයේ 27 වැනිදා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ‘එළියට’ පැමිණ ඇති බවයි.
එම සැකකරු පිළිබඳව අවධානයෙන් පසුවූ සැරයන් (38723) රංජිත් ඔහු අත්අඩංගුවට ගන්නේ අනතුරුවය. සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී රාජගිරිය වැලිකඩ පිහිටි මහාචාර්යවරියගේ නිවෙස බිඳ එහි තිබුණ රුපියල් ලක්ෂ 41ක රන් සොරකම් කර ඇත්තේ මේ පුද්ගලයා බව හෙළි විය. ඒ බව ඔහු සැරයන් (38723) රංජිත් ඉදිරියේදි පාපොච්චාරණය කරන්නේ තමා කළ සොරකම පිළිබඳ පොලිසිය සියලු තොරතුරු මේ වනවිට සොයාගෙන ඇතැයි සිතමිනි.
මහාචාර්යවරියගේ නිවෙසින් එලෙස සොරකම් කරන ලද රන් අබරණ සොයා ගැනීම සැරයන් රංජිත් (38723) මුහුණපාන ඊළඟ අභියෝගය විය. මහාචාර්යවරියගේ නිවෙසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 41ක් වටිනා රන් අබරණ අතර තිබුණ ‘රන් තැල්ල’ මේ සැකකරු රුපියල් 8,85,000 කට විකුණා තිබුණේ හෝමාගම රන් අබරණ හලකටය. එම රන් තැල්ල සොයා ගැනීමට සැරයන් (38723) රංජිත් ඇතුළු කණ්ඩායමට හැකි විය. සෙසු රන් අබරණ සොයා සැකකරුගෙන් ප්‍රශ්න කැරිණි. සොරකම් කරන ලද රන් වළලු 4ක්, රුපියල් ලක්ෂ 1 1/2කට සැකකරු විසින් අලෙවි කර තිබුණේ වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටය. එම රන් වළලු 4 ද සොයා ගැනිණි.
මහාචාර්යවරියගේ නිවෙසින් සොරකම් කරන ලද සෙසු රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිස් නිලධාරින් හෙළිකර ගන්නේ මෙවැනි කතාවකි.
රාජගිරියේ ‘බලු කිරියා’ නමැති මේ සැකකරු මත්ලෝලියෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී සිටි අයෙකි. වයස අවුරුදු 43කි.
අරගලය පැවැති සමයේදී ‘බලුකිරියා’ ඊට සක්‍රියව දායකත්වය දුන් පුද්ගලයෙකි. උදෑසන අරගල පිටියේ සිටින බලුකිරියා දිවා කාලයේද ද එහි ගතකර රාත්‍රි කාලයේ නිවෙස් බිඳ භාණ්ඩ සොරකම් කර ඒවා විකුණා ලද මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කරන්නට හුරු පුරුදුව සිටියේය.
‘බලුකිරියාට’ කාන්තාවක මුණ ගැසෙන්නේ අරගල භූමියේදීය. ඇය සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟාගත් ‘බලුකිරියා’ ඇගේ ඇසුර සඳහා මුදල් සෙවීම පිණිස දිගටම සොරකම් කෙළේය. ‘බලුකිරියා’ සොරකම් කරන රන් අබරණ උකස් කිරීම සඳහා භාවිත කෙළේ අරගල පෙම්වතිය සතු ජාතික හැඳුනුම්පතයි.
සැකකාර ‘බලුකිරියා’ මෙරට ලියාපදිංචි අපරාධකරුවකු බවද හෙළි වන්නේ ඔය අතරතුරදීය. ඒ වැලිකඩ බොරැල්ල පොලිස් වසම්වල සිදුකරන ලද අපරාධ හේතුවෙනි.
සැකකරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාරගත කැරිණි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාරගේගේ උපදෙස් මත එහි ස්ථානාධිපති සුමිත් ජයසිංහ, ඒකක 2 ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චින්තක දසනායක ඇතුළු කණ්ඩායමක් විමර්ශනය සිදු කරති.
ඡායාරූප :- කොට්ටාව ප්‍රදීප් කුමාර
දීපාල් සමරසේකර