Home » ගෙදර වැඩට ගත් කතට අල්මාරියෙන් පහළ වූ නිධානය

ගෙදර වැඩට ගත් කතට අල්මාරියෙන් පහළ වූ නිධානය

by thanushika
September 28, 2024 12:30 am 0 comment

ඇය වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ සුවිසල් නිවෙසක හුදකලාවම වෙසෙන 65 හැවිරිදි කාන්තාවකි. ඇවිදගෙන ගමනක් බිමනක් පවා හරි හැටි යාමට ඒමට නොහැකි තරමක අසනීප තත්ත්වයෙන් පසුවෙන ඇය ඉඳහිට තමාට අවශ්‍ය දැ රැගෙන ඒම සඳහා ත්‍රිවිල් රථයකින් නගරය වෙත යාමට පුරුදුව සිටියාය.⁣

ඒ ආසන්නයේම නිවෙසක වෙසෙන 43 හැවිරිදි වයසේ පසුවන කාන්තාවක් නිතර නිතර මෙම නි‍ෙවසට යාමට ඒමට පුරුදුව සිට ඇති අතර ගෙහිමි කාන්තාවගේ දුක සැප සොයා බැලුවේ වෙනත් අදහසක් සිතා තබාගෙනය.

මෙලෙස වසරක පමණ කාලයක් හිතවත් ඇසුරක් පැවැත්වීම නිසාම ගෙහිමි කාන්තාව තම නි‍ෙවසේ සේවිකාවක ලෙස මාසික වැටුපක් ගෙවා ඇය පත්කර ගත්තාය. සේවිකාව ලවා නි‍ෙවසට අවශ්‍ය කළමනා ඇය ගෙන්වා ගත්තාය. බැංකුවෙන් මුදල් ගනුදෙනුවක් කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ඇය සේවිකාවත් සමඟින් බැංකුවට යාමට පුරුදුව සිටියාය.

මේ වන විට සේවිකාව සේවයට පැමිණ වසරක පමණ කාලයක් ගතව තිබුණි. දිනක් ගෙහිමි කාන්තාව සේවිකාව ද සමඟින් ත්‍රීවීල් රථයක නැඟී වැල්ලම්පිටිය නගරය වෙත ගියේ මුදල් ගනුදෙනුවක් කර ගැනිම සඳහාය. ATM යන්ත්‍රයක් ඇති ස්ථානයක් වෙත ගොස් රථය නතර කොට තමාට ඇවිද යාමට අපහසු බැවින් සේවිකාවට කාඩ්පත දී රහස්‍ය අංකය ද පවසා රුපියල් පන්දාහක් රැගෙන එන ලෙස පැවසුවාය.

ඒ අනුව මුදල් ලබාගත් සේවිකාව වහාමුදලත් කාඩ්පතත් කාන්තාව වෙත ගෙනැවිත් දී තිබේ. මේ අවස්ථාව වන විට රුපියල් ලක්ෂ 14ක මුදලක් කාන්තාවගේ ගිණුමේ ඉතිරිව තිබිණි. මෙසේ මාස කීපයකින් කාලය ගෙවි යන විට දිනක් තම අල්මාරිය අස් පස් කරමින් සිටින අතරේ එහි ආරක්ෂාවට සඟවා තිබු රත්රන් බඩු ටික නොමැති බව දුටුවාය. රුපියල් ලක්ෂ 54ක පමණ වටිනාකමින් යුත් එම රන්බඩු සියල්ල අතුරුදන්ව ඇති බව ඇය තේරුම් ගත්තාය.

ඇය තම ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදි ඊට ලැබී තිබූ කෙටි පණිවිඩ කිහිපයක් ද කවුරුන් විසින් හෝ මකා දමා ඇති බවට සැකයක් පහළ වී තිබුණි.

එදිනම ඇය සේවිකාව මඟහැර තනියම බැංකුව වෙත ගොස් ගිණුමේ ඇති මුදල පිළිබඳව විමසුවාය. එහිදී ඇයට දැන ගත හැකි වූයේ එම ගිණුමේ තිබු මුදල් කවුරුන් විසින් හෝ වරින්වර කාඩ්පත උපයෝගී කරගනිමින් ලබා ගෙන ඇති බවය.

මුදල් ආපසු ගත්විට තමාගේ ජංගම දුරකතනයට බැංකුවෙන් ලැබෙන කෙටි පණිවිඩ සියල්ල ද මකා දමා ඇති බව දැන ගත්තාය. කාඩ්පතේ රහස්‍ය අංකය දන්නේ තමා හැරුණු කොට සේවිකාව පමණක් බැවින් ඇය පිළිබඳව සැක පහළ කළ කාන්තාව වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ මේ ගැන පැමිණිල්ලක් කළාය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් විමර්ශන සිදු කොට සැකකාර සේවිකාව අත්අඩංගුවට ගන්නේ පැය කීපයකට පසුවය.

ඒ නි‍ෙවසේ තිබූ රන්භාණ්ඩ ඇය විසින් සොරා ගෙන තිබූ බව හෙළිවන්නේ එහිදීය. ඉන් කොටසක් දෙමටගොඩ ප්‍රදේශයේ උකස් බඩු වෙළෙඳසැළකට රුපියල් ලක්ෂ 27කට උකස් කර තිබු අතර පවුම් 9ක වළලු 4ක් එක් ලක්ෂ තිස් දහසකට තවත් ආයතනයකට උකස් කර තිබියදී සොයා ගැනිණි. රන් භාණ්ඩ සියල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර මෙම සේවිකාව විසින් රහස්‍ය අංකය භාවිත කරමින් ගෙහිමි කාන්තාවගේ කාඩ්පතින් වරින්වර එහි තිබු රුපියල් ලක්ෂ 14 ක මුදල ලබාගෙන ඇති අතර අන්තිම වතාවට එහි තිබූ රුපියල් දෙදාහක මුදලද ලබා ගෙන ගිණුම අන්තිම සතේටම හින්දවා තිබුණාය.

සොරාගන්නා ලද මුදල් මෙතෙක් හමුවී නොමැත. සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම කාන්තාව මීට ඉහත ද මෙලෙස නිවෙස්වල සේවය කරමින් මෙවැනි වංචා සිදු කර ඇති බව අනාවරණය වී තිබෙන බවය. ඇය කිහිප දෙනකුගෙන්ම ණයට මුදල් ගෙන එම මුදල් වංචා කර ඇති බවද හෙළි විය.

වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරගෙන යයි.

මුල්ලේරියාව සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division