Home » සොරකම් කළ සාරි ගොඩෙන් හමුවූ ‘ඔත්තුවෙන්’ තිදරු මවගේ ඝාතකයා හෙළිවූ හැටි

සොරකම් කළ සාරි ගොඩෙන් හමුවූ ‘ඔත්තුවෙන්’ තිදරු මවගේ ඝාතකයා හෙළිවූ හැටි

by thanushika
September 28, 2024 12:30 am 0 comment

නාන්නේරිය ප්‍රදේශය පෙරදී පැවැතියේ කුරුණෑගල දිසාවේ ගල්ගමුව පොලිස් වසමට අයත්වය. එය මේ වන විට නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් වෙනම පොලිස් වසමකි. නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම, තම්මන්නාවැටිය ගම්මානයෙන් ශෝචනීය පුවතක් වාර්තා වූයේ පසුගියදාය.

ඒ, එම පොලිස් වසමේම තම්මන්නාවැටිය ප්‍රදේශයේ නි‍ෙවසක තනිවම විසූ කාන්තාවක අබිරහස් ලෙස ඝාතනය කර තිබූ පුවතයි. 63 හැවිරිදි එච්. එම්. සෝමාවතී නමැත්තිය එලෙස ඝාතනය කර තිබුණාය. ඇගේ ඝාතනය පිළිබඳ විමර්ශන සිදුකළ නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.අයි.බී. ජයරත්න සහ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් 33615 චන්ද්‍රතිලක ඇතුළු කණ්ඩායම සිදුකළ විමර්ශනයෙන් පසු සෝමාවතී මෑණියන්ගේ ඝාතනයේ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ බෝඩිමක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ඝාතනයෙන් දින 6කට පසුවය.

ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. එම දරුවන් තිදෙනාම නිවසින් පිටව ජීවත් වූහ. ඒ රැකියා සහ අධ්‍යාපන කටයුතු නිසාය. ඇගේ සැමියාද මීට කලකට පෙර මියගොස් සිටියේය. සෝමාවතී මාතාවට එම ශෝචනීය ඉරණම අත්වූයේ නිවසට ආසන්නව ජීවත්වූ අයකු නිසාය. හමුදාවෙන් පලා යාමෙන් පසු සොරකමකට යාමේදී සිදුවූ ආබාධයක් නිසා ආබාධිත තත්ත්වයෙන් ද පසුවූ ඉන්දික ප්‍රසන්න රණසිංහ නමැති එම හිටපු සෙබළා නිසා සෝමාවතී මාතාවට මේ ශෝචනීය ඉරණම අත්විය. ඇගේ ඝාතකයා කොටුකළ ආකාරය නාන්නේරිය පොලිසියේ පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

සෝමාවතී මාතාව දියණියන් දෙදෙනෙකු සහ පුතෙකුගේ මවකි. ඇගේ වැඩිමල් දියණිය දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව කරන්නීය. දෙවැනි දරුවා වන පුතු වරාය පොලිසියේ රැකියාව කරමින් සිටී. බාල දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන්නීය.

නිවසේ තනිව සිටි මව ගැන දරුවන් තිදෙනාම නිතර දුරකතන ඇමතුම් දෙමින් සොයා බැලුවේ මවට තිබූ ආදරය නිසාය. දිනය අගෝස්තු 27 වැනිදාය. එදින සවස් යාමයේ සෝමාවතී මාතාව ගැන සොයා බැලීමේ අරමුණින් ඔහුගේ පුත්‍රයා සුපුරුදු පරිදි මවට දුරකතන ඇමතුමක් දුන්නේ මවගේ දුක සැප විමසීමේ අරමුණිනි. අනතුරුව ඔහු දින කීපයක්ම මවට දුරකතන ඇමතුම් දුන්නද ඇය ප්‍රතිචාර නොදැක්වූවාය. එම නිසා සෝමාවතී මාතාවගේ පුත්‍රයා මව ගැන සොයා බලන ලෙසට තම මිතුරකු වන තම්මන්නාවැටිය ග්‍රාමයේ ත්‍රිරෝද රථ සංගමයේ ත්‍රිවිල් රියැදුරෙක් ඇමැතීය. ඒ පසුගිය අගෝස්තු 30 වැනිදාය.

“මචං පොඩි උදවුවක් කරපන්… මං අපේ අම්මට දැන් දවස් ගාණක් තිස්සේ කෝල් ගන්නවා… කිසිම ආන්සර් එකක් නෑ… අපේ ගෙදරට ගිහින් අම්මා ගැන බලන්න පුළුවන්ද?…“ යැයි ඔහු මිතුරාගෙන් විමසීය.

ඒ අනුව 30 වැනිදා පෙරවරුවේ එම ත්‍රිරෝද රථ රියැදුරු සෝමාවතී මෑණියන් වාසය කළ නි‍ෙවසට ගියේය. ඔහු එම නි‍ෙවසට යද්දී දුටුවේ සෝමාවතී මව පරිහරණය කරන ස්කූටි වර්ගයේ යතුරුපැදිය මිදුලේ නවතා තිබෙන ආකාරයයි. එහි යතුරද යතුරුපැදියේම තිබිණි. පසුව ඔහුට නි‍ෙවස පිහිටි භූමියට ඇතුළුවෙද්දීම දුඟඳක්ද වහනය වන බව දැනිණි. ඒ සමඟම ඔහුගේ සිතට කිසියම් චකිතයක් ගෙන දුන්නේ සෝමාවතී මාතාවට කරදරයක්වත් සිදුවී ඇද්ද යන්න සිතමිනි. ඒ සමඟම ඔහු නි‍ෙවස වටා ගොස් විපරම් කර බලද්දී දුටුවේ නි‍ෙවසේ මුළුතැන්ගෙයට ඇතුළු වන දොරක්ද විවරව ඇති ආකාරයයි. එසැණින් බියට පත්වූ ත්‍රිරෝද රථ රියැදුරු නි‍ෙවස තුළට යාමට අදිමදි කළේය. ඔහු ක්ෂණයෙන් දුරකතන ඇමතුමක් දුන්නේ නාන්නේරිය පොලිස් ස්ථානයටයි.

“සර්… මං අහවල් ගෙදර ඉන්නේ… ඒ ගෙදර හිටිය සෝමාවතී නැන්දගේ පුතා තමයි මට කිව්වේ අම්මට කෝල් කළාට ආන්සර් කරන්නේ නෑ… පොඩ්ඩක් ගෙදර ගිහින් අම්මා ගැන බලන්න කියලා. ඉතින් ඒ ගෙදර වත්තට එනකොටම ගඳක් එනවා… ගෙදර කුස්සියේ දොරකුත් ඇරලා තියෙන්නේ… මට ඇතුළට යන්න බයයි… සර්ලා ඇවිල්ලා බලනවද මොකද්ද වෙලා තියෙන්නෙ කියලා…“ යැයි එම ත්‍රිරෝද රථ රියැදුරු එලෙස නාන්නේරිය පොලිස් ස්ථානයේ නිලධරයන් දැනුම්වත් කලේය.

ඉකුත් 30 වැනිදා පෙරවරු 7.30ට පමණ නාන්නේරිය පොලිසියට ලැබුණු එම දුරකතන ඇමතුමට අනුව ක්‍රියාත්මක වෙමින් නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමක් තම්මැන්නාවැටියේ පයිරික්කුලම ප්‍රදේශයේ පිහිටි එම නිවස සොයා ගියේය. දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කී පරිදිම පොලිස් නිලධාරින්ටද එම නිවසේ ඉඩමට ඇතුළු වෙද්දීම දුර්ගනධයක් දැනෙන්නට විය. එසේම පොලිස් නිලධාරින්ද දුටුවේ යතුර බයිසිකලයේම තිබෙන යතුරුපැදියක්ද මිදුලේ නවතා තිබෙන ආකාරයයි. නිවස පිටුපස මුළුතැන්ගෙයි විවෘතව තිබූ දොරෙන් නිලධරයෝ නිවසේ මුළුතැන්ගෙය තුළට ඇතුළු වූහ.

එතුළට ගිය පොලිස් නිලධාරින්ගේ නෙත ගැටුණේ මුළුතැන්ගෙයි බිම වැටී තිබූ ලේ පැල්ලම් කීපයක් සෝදා හැරීමෙන් පසු රෙදිකඩකින් පිසදා ඇති ආකාරයයි. එසේම ලේ පැල්ලම් සහිත දොර පොල්ලක්ද අසල විය. පොලිස් නිලධරයෝ මුළුතැන්ගෙයින් නිවෙසට ඇතුළු වූහ. එහි කාමරයක් තුළින් අධික ලෙස දුර්ගන්ධය හමන ආකාරය දැනුණු පොලිස් නිලධාරින් එම කාමරයට දෙනෙත් යොමු කළේය. එසැණින් පොලිස් නිලධාරින් දුටුවේ කාමරයේ ඇඳ අසලම බිම වැටි කුණු වී අධික ලෙස දුර්ගන්ධය හමමින් තිබූ නිරුවත් මළසිරුරකි. ඒ සෝමාවතී මෑණියන්ගේ මළසිරුර බව පොලිස් නිලධාරින් හඳුනා ගන්නේ ඒ අවස්ථාවේදීමය. එම නිවසේ තිබී හමුවූ මළසිරුර පිළිබඳව නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ද දැනුම්වත් කෙරිණි. එසේම ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා ද දැනුම්වත් කිරීමට කටයුතු කළේය.

සෝමාවතීගේ ඝාතනය සිදුවී ඇත්තේ දින කීපයකට පෙර බවට සැක කෙරුණු අතර මළසිරුර පිළිබඳ විමර්ශනයට පුත්තලම කොට්ඨාසයේ නිල සුනඛයා මෙන්ම නිකවැරටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින්ද කැඳවිණි. විමර්ශන පුළුල් කරමින් සැකකරුවන් සොයා මෙහෙයුමක් ඇරැඹිණි. ඊට අමතරව ඇඟිලි සලකුණු නිලධාරින්ද විමර්ශන සඳහා එක්වීය. ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ පැමිණ මළසිරුර සහ එම ස්ථානයේ පරික්ෂාවක්ද සිදු කරන ලදි. අනතුරුව මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලට ගෙන ගොස් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ගෙන මරණයට හේතුව කුමක්ද යන්න අධිකරණය දැනුම්වත් කරන ලෙසයි.

ඇඟිලි සලකුණු නිලධාරින් එම ඝාතනයට සම්බන්ධ සැකකරුගේ යැයි සැක කළ ඇඟිලි සලකුණු කීපයක්ද සිදුකළ විමර්ශනවලින් සොයාගන්නා ලදි. වහලයේ උළු කැට දෙකක් ගලවා සැකකරු නිවෙසට ඇතුළුවූ ස්ථානය බවට සැක කළ ස්ථානයක් සොකෝ නිලධරයෝ විසින් හඳුනාගත් අතර එම ස්ථානයේ තිබී රෝම කූප කීපයක්ද සොයා ගැනිණි. ඊට අමතරව සොකෝ නිලධාරින් මළසිරුර තිබූ ස්ථානයේ ඇඳ අසල තිබී තවත් රෝම කූප කීපයක් ද සොයා ගන්නේ සියුම් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

මෙලෙස විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින්ට හැඟී ගියේ ඝාතනය දින කීපයකට පෙරදී සිදු වූවක් බවය. නාන්නේරිය පොලිස් නිලධාරින් අවට පුද්ගලයන් ගැන සෝදිසි කරන්නට විය. එහිදී සෝමාවතී මාතාව පදිංචි නිවෙසට මීටර් 500ක් පමණ දුරකින් පිහිටි නිවෙසක් පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය. එහි කෙටි කාලයක් යුද හමුදාවේ සේවයකොට මීට වසර 18කට පමණ පෙරදී හමුදාවෙන් පලාවිත් සිටි අයෙක් පදිංචිව සිටින බව පොලිසිය හඳුනාගත්තේය. ඔහු මීට පෙරද රන්මාල කැඩීමේ සොරකම් දෙකකට අවස්ථා දෙකකදීම එවකට ගල්ගමුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට ඇප මත මුදාහැර සිටි අයෙකි.

සෝමාවතී මාතාවගේ මළසිරුර හමුවූදා සිටම එම ශෝචනීය සිදුවීමට විස්සෝප වෙමින් ගමේ බොහෝ අය මළගෙදරට ආ-ගියද පොලිස් නිලධාරින්ගේ සැකයට ලක්වූ ඉන්දික ප්‍රසන්න නමැති එම පුද්ගලයා කිසිම විටෙක එහි ආ-ගිය බවක් කිසිවකු දැක තිබුණේ නැත. නාන්නේරිය පොලිස් නිලධාරින් සෝමාවතීගේ නිවෙසට මීටර් 500ක් පමණ වූ දුරකින් පිහිටි එම නිවෙස පරික්ෂා කෙළේ ඉන්දිකගේ පෙර වැරැදි ද සැලකිල්ලට ගනිමිනි. පොලිස් නිලධාරින් එම නිවෙසට යද්දී ඉන්දික නිවසේ නොසිටියේය. ඔහුගේ මව සහ ඉන්දිකගේ වයස අවුරුද්දයි මාස තුනක් වන කුඩා දරුවා පමණක් නි‍ෙවසේ සිටියේය. නිවෙස පරික්ෂාවේදී සැකකරුගේ කාමරයේ සෝදන ලද ඇඳ ඇතිරිලි දෙකක් පොලිස් නිලධාරින්ට හසු විය. එම ඇඳ ඇතිරිලි දෙක සෝදා තිබුණද එහි ලේ පැල්ලම් කීපයක් තිබිණි.

“කොහෙන්ද මේ ලේ පැල්ලම්…?“ යැයි විමසමින් පොලිස් නිලධරයෝ මවගෙන් ප්‍රශ්න කළෝය.

“සර්… පොඩි එකාට බඩඑළිය ගියා… ඒක හින්දා මං රෙදි හෝදලා දැම්මා… හැබැයි ලේ පැල්ලම් ගැනනම් මම මුකුත්ම දන්නේ නෑ…“ යැයි එම මව පොලිස් නිලධාරින් ඉදිරියේ පැවසුවාය.

පොලිස් නිලධාරින් නිවෙස වැඩිදුරටත් පරීක්ෂා කරද්දී සැකකරුගේ කාමරයේ විවිධ වර්ගයේ සාරි රැසක්ම තිබී හමු විය. එම සාරි අතරේ කාන්තාවකගේ ජාතික හැඳුනුම්පතක්ද තිබී හමු විය. පොලිස් නිලධාරින් එම ජාතික හැඳුනුම්පත ගැන නිවෙසේ සිටි මවගෙන් විමසීය.

“ඒ සර්… සෝමාවතීගේ ලොකු දුවගේ අයිඩෙන්ටි කාඩ් එකනේ…“ යැයි කියමින් ඇය එම හැඳුනුම්පත ඝාතනයට ලක්වූ සෝමාවතී මෑණියන්ගේ දියණියගේ බව පිළිගත්තාය. එහෙත් ඇය වසර දෙක තුනක සිට එම නිවෙස සමඟ සබඳතා නොපවත්වන බව පැවැසුවාය. එහෙත් ඇය ඊට පෙර කාලයේ එම නිවැසියන් සමඟ ළඟ ඇසුරක් පවත්වා තිබීම හේතුවෙන් හැඳුනුම්පත හඳුනා ගැනිණි. පොලිස් නිලධාරින්ට ඉන්දික පිළිබඳ තිබෙන සැකය සත්‍යයක් වන බව දැනිණි.

“කෝ දැන් ඔබතුමියගේ පුතා…?“ පොලිස් නිලධාරින් මවගෙන් විමසුවේය.

“පුතා කොළඹ ගියා… එයා අතුරුගිරියේ බෝඩිමක නැවතිලා වැඩ කරන්නේ…“ යැයි ඉන්දිකගේ මව පැවැසුවාය.

නාන්නේරිය පොලිසියේ නිලධාරින් ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය. නිලධාරි කණ්ඩායමක් එදින අතුරුගිරියේ අදාළ බෝඩිම සොයා පැමිණියේය. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 1 වැනිදා අතුරුගිරියේ බෝඩිමක සිටි සෝමාවතී මාතාවගේ ඝාතනයට සැකපිට සැකකරු වන ඉන්දික ප්‍රසන්න අත්අඩංගුවට ගැනිණි.

ඔහු 38 හැවිරිදි ආබාධිත අයෙකි. පොලිසිය අනාවරණය කරගත්තේ සොරකම් කිරීමට ගොස් සිදු වූ අනතුරකින් ඔහු ආබාධිත වී ඇති බවය. නාන්නේරිය පොලිසියට රැගෙන ආ සැකකරු ඉන්දිකගෙන් සෝමාවතී ඝාතනය ගැන දිගින් දිගටම ප්‍රශ්න කැරිණි.

“ඇයි තමුන් ඒ වයසක මනුස්සයව මැරුවේ…?“ යැයි පොලිස් නිලධාරින් ඉන්දිකගෙන් ප්‍රශ්න කරද්දී මුලදී කිසිවක් නොපැවසූ ඔහු පසුව හෙළි කළේ පොලිසියෙන් ගැලවීමක් නැති බව දත් හෙයිනි.

“සර්… මං අගෝස්තු 27 වැනිදා හවස සෝමාවතී නැන්දලාගේ ගෙදර ගියා… ඒ වෙලාවේ ගෙදර කවුරුත්ම හිටියේ නෑ… මං කුස්සිය පිටිපස්සේ අඹ ගහට නැග්ගා… අඹ ගහෙන් වහලයට මාරු වුණා… කුස්සියේ වහලේ උළු කැට දෙකක් අයින් කරලා ඇතුළට ගියා… ඇතුළේ ඉන්නකොට ස්කූටි බයික් එකක් එන සද්දේ ඇහුණා… ඒ ආපු කෙනා ඇවිත් කුස්සියේ දොර අරින්න හැදුවා. මං ඒ වෙලාවේම කුස්සියේ දොර මුල්ලේ හැංගුණා… මං දැක්කා ඒ සෝමාවතී නැන්දා බව… එයා පොළට ගිහින් බඩු අරගෙන ගෙට ආවේ… පොඩි වෙලාවක් ගතවුණා… නැන්දා මාව දැක්කා. ඒත් එක්කම මං නැන්දගෙන් රුපියල් 500ක් දෙන්න කියලා ඉල්ලුවා… එයා සල්ලි නෑ කියාගෙනම එළියට පැන්නා…“ යැයි පාපෝච්චාරණය කළ ඉන්දික අනතුරුව කීවේ ඉන්පසු තමන් සෝමාවතී මාතාවගේ අතකින් අල්ලා ඇද නැවත මුළුතැන්ගෙය තුළට ගෙන ගිය බවය.

“තමුන්… ඊට පස්සේ මොකද කළේ?“ පොලිස් නිලධරයෝ දැඩි ස්වරයෙන් විමසූහ.

“සර්… මට හිතුණා මේ මනුස්සයා මේක කාටහරි කිව්වොත් මං ඉවරයි කියලා… ඒකෙන් බේරෙන්න හිතුවා සර්… ඒකට තමයි මං සෝමාවතී නැන්දව ඉවරයක් කරලා දාන්න හිතුවේ…“ යැයි එම පාපතරයා සෝමාවතී මෑණියන් කෘර ලෙස ඝාතනය කළ ආකාරයද පාපෝච්චාරණය කෙළේය.

“පස්සේ සර් මම සෝමාවති නැන්දගේ මිනිය නැන්දගේ කාමරේ ඇඳට ගිහින් දැම්මා… ඇඳුම් ගලවලා දැම්මා… කරාබු දෙක ගලවාගත්තා… අල්මාරියෙ තිබුණ සාරියි තව තව වටින දේවලුයි පෝර උර තුනකට පුරවගත්තා… ටික වෙලාවක් ගේ ඇතුළේ කරකැවි කැවි හිටියා… අඳුර වැටෙනකල්… පස්සේ නැන්දගෙම බයික් එකේ තියාගෙන පෝර උර දෙකක් ගෙදර ගිහින් දැම්මා… ඒවා ගෙදර දාලා බයික් එක අරන් ඇවිත් සෝමාවතී නැන්දල ගෙදර ආයෙත් ආවා… බයික් එක නතර කරපු තැනම නතර කළා… ආයිත් ගියා කාමරේට… ඒ වෙලාවේ මං දැක්කා ඇඳට දාපු නැන්දව බිමට වැටිලා ඉන්නවා… ඊට පස්සේ ඉතිරි පෝර උරෙත් කර තියාගෙන ගෙදර ගියා… ඕක තමයි වුණේ සර්…“ යැයි සැකකාර ඉන්දික එලෙස පාපෝච්චාරණය කළේය.

එම ඝාතනයෙන් පසු ඉකුත් 27 වැනිදා දින රාත්‍රිය ඔහු සිය නිවසේ ගත කළේය. අනතුරුව සෝමාවතී මාතාව ඝාතනය කරන විට තමන් හැඳ සිටි කළු පැහැති ෂර්ටය සහ කලිසමේ ලේ තැවරී තිබූ හෙයින් ඒවා පුලුස්සා දැමුවේය.

“අනිත් ලේ ගෑවිච්ච රෙදි අතින් හෝදලා දැම්මා සර්… 28 වැනිදා දවසේම මම ගෙදර හිටියේ…“ යැයි සැකකරු පැවැසීය. අනතුරුව ඉන්දික 29 වැනිදා අලුයමම ගල්ගමුවට පැමිණ සෝමාවතී මාතාවගෙන් ගලවාගත් කරාබු ජෝඩුව උකස්හලකට උකස්කොට රුපියල් විසිහයදහසක මුදලක් ලබාගෙන තිබිණි.

“ඒ සල්ලිත් අරන් සර් මම එහෙමම කොළඹ බස් එකක නැඟලා කොළඹ ගියා…එතැනින් අතුරුගිරියේ බෝඩිමට ඇවිත් බයේ හිටියේ සර්…“ යැයි සැකකරු පැවැසීය.

සැකකාර ඉන්දික ප්‍රසන්න විවාහ දෙකක් කරගත් අයෙකි. දෙවැනි බිරිය විදෙස්ගතව සිටින්නීය. දෙදෙනාට දාව උපන් බිලිඳා බලාකියා ගන්නේ ඉන්දිකගේ මව විසිනි. ඉන්දික ප්‍රසන්න අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාරගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි ජීවක රාජපක්ෂගේ අධීක්ෂණයෙන් නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.අයි.බී. ජයරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 33615 චන්ද්‍රතිලක, සැරයන්වරුන් වන රත්නායක (36176), කුමාර (66396), තෙන්නකෝන් (5396), සෝමරත්න (51023) කාන්තා සැරයන් නිලන්ති (2866), කොස්තාපල් දිසානායක (77547), කොස්තාපල්වරියන් වන අයේෂා (9889), මධුෂිකා (10314) සහ පොලිස් රියැදුරු (74067) සැරයන් අසංක යන නිලධරයෝ විමර්ශනවලට එක්වූහ.

ඡායාරූප – පොල්පිතිගම නන්දන කැලේගම

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division