කෑගල්ල, ගලිගමුව, කොබ්බෑවල පදිංචි ප්‍රදේශයේ දකුණු ඇස අහිමි ඉතා අසරණ 70 හැවිරිදි සිව්දරු මවක් ඉකුත් 29 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ ත්‍රීරෝද රථකරුවෙක් තමන්ට මුදල් වංචා කළා යැයි පවසා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
සිව්දරු මවගේ ‘අඳෝනාව’ ඇසූ පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී සිද්ධියට අදාළ 40 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු ගලිගමුවේදී ඉකුත් 29 වැනිදා සවස අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුගෙන් පොලිසිය දිගින් දිගටම සිදු කරන ලද ප්‍රශ්න කිරීම් මත ඊට සම්බන්ධවී සිටි කෑගල්ල දිඹුල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට හැකි විය. සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ මත හෙළි වූයේ වයෝවෘද්ධ කාන්තාවගේ නිවස පිටුපස පිහිටා ඇති ගල් ගුහාවක තිබී නිධානයක් ගොඩගත් පුද්ගලයන් දෙනවා යැයි කියා තිබූ ‘පංගු මුදල’ ආපසු නොදීමක් සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැමිණිල්ල සිදු කර ඇති බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබුණි. විමර්ශන කටයුතු වෙනත් අතකට හැරවීමට පසුව පොලිසියට සිදු විය. මේ කතාව ඉන් අනතුරුව හෙළි වූයේ මේ අයුරිනි.
කෑගල්ල, ගලිගමුව, කොබ්බෑවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පුද්ගලයෙක් සහ 70 හැවිරිදි කාන්තාවක් නිවසක පදිංචිව සිටිති. මෙම යුවළට ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙක් සිටිය ද ඔවුන් මව්පියන්ට නොසලකති. වයෝවෘද්ධ පුද්ගලයා අසල රබර් ඉඩමක කිරි කපා උපයාගන්නා සොච්චම් මුදලින් සහ රජයේ ආධාර යටතේ ලැබෙන මුදලින් බිරිය සමඟ ජීවත් වෙයි. මෙම යුවළගේ යම් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලකට යාමට ගලිගමුව, බල්ලපාන ප්‍රදේශයේ ත්‍රිරෝද රථකරුවෙක් කාලයක සිට දැන හඳුනාගෙන ඔහු සමඟ ගමන්බිමන් ගොස් ඇත.
දිනක් 78 හැවිරිදි පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් රෝහලකට ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටි අතරවාරයේදී රියැදුරාට කියා ඇත්තේ තම නිවස පිටුපස පිහිටි ගල් ගුහාවේ නිධානයක් ඇති බවයි. එම නිධානය ගොඩගෙන තමන්ටත් පිනක් දහමක් කර ගැනීමටත් ඉන්න තියෙන ටික කාලයේ මොනවාහරි කා බී ජීවත් වීමටත් තමන්ගේ අරමුණ බව මේ යුවළ ත්‍රිරෝද රියැදුරාට කියා ඇත. පසුව ත්‍රිරෝද රථකරු තමන්ට හිතවත් දිඹුල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුටත් කුලියාපිටිය ප්‍රදේශයේ කට්ටඩියෙකු ඇතුළු පස්දෙනෙකුට මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන්වූහ. පසුව ත්‍රිරෝද රථකරු සමඟ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු මස දිනක වයෝවෘද්ධ යුවළ පදිංචිව සිටින නිවසට පැමිණ ඇත්තේ මේ ගැන සොයා බැලීමටය.
ත්‍රිරෝද රථකරු සමඟ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ගෙහිමි යුවළ නිවසට පිටුපස තියෙනවා යැයි කියන ගල් ගුහාවේ නිධානය ගොඩ ගැනීමට එහිදී වයෝවෘද්ධ යුවළ සමඟ සැලසුම් කර ගත්හ.
“නිධානයක් තිබුණොත් අන්කල්ටයි ඇන්ටිට භාගයක් දෙනවා. එතකොට පිනක් දහමක් කර ගන්න පුළුවන්. හොඳට කාලාබිලා ඉන්න ටිකේ හොඳට ඉන්න පුළුවන්“යැයි පුද්ගලයෙක් වයෝවෘද්ධ යුවළ හමුවේ පවසා ඇත.
ඉකුත් අගෝස්තු 17 වැනිදා ත්‍රිරෝද රථකරු සමඟ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිධානය ගැනීමේ අරමුණින් නිවසට ගොස් තිබේ. දින ගණනාවක් වයෝවෘද්ධ යුවළට ඉස්තරම් කෑමබීමවලින් සංග්‍රහ කෙරිණ. පසුව 19 වැනිදා වයෝවෘද්ධ යුවළ සමඟ නිධානය ගැනීමේ අරමුණින් ගල් ගුහාවේ පුද පූජා පැවැත්වූහ. මධ්‍යම රාත්‍රියේ තද සීතල ගතිය හේතුවෙන් වයෝවෘද්ධ යුවළ නිවසට ගොස් නින්දට වැටුණි. දින දෙකක් ගුහාවේ වළ හැරීමෙන් පසුව 21 වැනිදාට එළිය වෙන්න ආසන්නයේදී ‘රන් තැටියක් ලැබුණා‘ යැයි පවසා පස්දෙනාගෙන් එක් පුද්ගලයෙක් වයෝවෘද්ධ යුවළ සිටි නිවස ඇතුළට රැගෙන ගොස් පෙන්වා ඇත. ‘රන් තැටිය අලෙවි කර දින තුන හතරකින් පංගුවක් ගෙනත් දෙන්නම්‘ යැයි පවසා පිරිස නිධානය ගැනීමට රැගෙන ආවා යැයි කියන ආම්පන්න සමඟ පාන්දරින්ම ආපසු පිටව ගොස් තිබේ.
දින ගණනාවක් ගත විය. කිසිම කෙනෙකු ‘පංගුව’ රැගෙන පැමිණියේ නැත. බැරිම තැන ඇසක් ද අහිමි වයෝවෘද්ධ කාන්තාව ඉකුත් 29 වැනිදා ත්‍රිරෝද රථ රියැදුරුට විරුද්ධව කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණි. පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පස්දෙනාගෙන් යුත් කණ්ඩායමේ ත්‍රිරෝද රථකරු හා ඊට සම්බන්ධ දිඹුල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් පළමුව අත්අඩංගුවට ගෙන කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
කුලියාපිටිය ප්‍රදේශයේ සිට ‘රන් තැටිය’ ගොඩ ගැනීමට පැමිණ ඇතැයි කියන කට්ටඬියා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය. රන් තැටිය ද මෙතෙක් පොලිසිය සොයාගෙන නොමැත.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශගේ උපදෙස් මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්තගේ අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂකවරුන් වන ලාල් ප්‍රියන්ත, ජයසිංහ, පොලිස් කොස්තාපල් කළුආරච්චි (61999) කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ස්ථානීය විමර්ශන කටයුතු සිදු කරන ලදි.
චමින්ද ජයලත් – කෑගල්ල විශේෂ