Home » ත්‍රිරෝද රියෙන් හැමූ දුර්ගන්ධයෙන් හෙළි වූ බිලිඳු ඝාතනය

ත්‍රිරෝද රියෙන් හැමූ දුර්ගන්ධයෙන් හෙළි වූ බිලිඳු ඝාතනය

by sachintha
September 28, 2024 12:37 am 0 comment

අනියම් සබඳතා නිසා උපදින දරුවන් ඒ මොහොතේම ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් පිළිබඳ මෑත කාලයේ අසන්නට දකින්නට ලැබිණි. ඉතා කුරිරු ලෙස සිදු වූ එම ඝාතන සියල්ලන්ට පාහේ සිදුකර තිබුණේ එම බිලිඳුන්ගේ මවුවරු විසිනි. දරු උපත සැඟවීම එහි ප්‍රධාන අරමුණකි.

අනියම් සබඳතාවල ප්‍රතිඵල නිසා උපදින දරුවන්ගෙන් වැඩි දෙනෙකුට මෙලෙස අත්වන ඉරණම බේදජනකය. සමාජයට මුහුණ දීමට නොහැකි වීම මේ බිලිඳුන්ගේ මවුවරු මුහුණ දෙන ප්‍රධානම කාරණාවකි. එවැනි මවුවරු රැසකට අන්තිමේදී නවතින්නට සිදුවන්නේ සිර මැදිරියේය.

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ ආගරපතන පොලිස් ස්ථානයෙන් පසුගියදා වාර්තා වූ සිද්ධියද එවැන්නකි.

ආගරපතන පොලිස් වසමේ හෙන්ෆොල්ඩ් වතුයායේ එල්. පී. කොටසේ නිවසක් ඉදිරිපිට පසුගිය දිනෙක නතර කර තිබූ ත්‍රිරෝද රථයකින් හමුවූ බිලිඳු සිරුර අබිරහසක් හෙළි කළේය. අදාළ නිවස ඉදිරිපිටින් දුර්ගන්ධයක් වහනය වන්නේ අවට ප්‍රදේශවාසීන්ගේ අවධානයද ඒ සඳහා යොමු කරමිනි.

මේ ත්‍රිරෝද රථය අයිති පුද්ගලයාගේ මවද ඒ මොහොතේ නිවසේ සිටියාය. ඇයටද එම දුර්ගන්ධය දැනිණි. එහෙත් දුර්ගන්ධය හමන ස්ථානයක් එක්වරම සොයා ගැනීමට ඇයට නොහැකි විය. දුර්ගන්ධය එන්න එන්නටම වැඩි වෙද්දී එය වහනය වන්නේ නිවෙස ඉදිරිපිට නවතා ඇති ත්‍රිරෝද රථයෙන් බව ත්‍රීරෝද රථ හිමිකරුගේ මවට දැනිණි.

ඇය ඒ ගැන සොයා බැලීම සඳහා ත්‍රීරෝද රථය පරීක්ෂා කරද්දී දුටු දෙයින් කම්පාවටත් ත්‍රාසයටත් පත්වන්නේ තවත් විනාඩි කීපයක් ඇතුළතදීය. ත්‍රිරෝද රථයේ පිටුපස බිලිඳු මළසිරුරක් තිබිණි. දුර්ගන්ධය හැමුවේ එම මළසිරුරෙනි. ත්‍රීරෝද රථ හිමිකරුගේ මාතාවගේ කෑගෑසීම වතුයාය පුරා පැතිර යන්නේ තවත් සුළු මොහොතකිනි. ඇය කෑගසමින්ම අවට නිවෙස වෙත දිව ගියාය. අවට නිවැසියන් ඇගේ කෑගැසීම අසා නිවෙසින් එළියට පැමිණ ඒ ගැන විමසද්දී ත්‍රීරෝද රථයේ බිලිඳු සිරුර දැක ඒ පිළිබඳව ආගරපතන පොලිසියට දැනුම් දෙන්නේ ඒ මොහොතේමය.

ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.පී. කොටසේ නිවෙසක් ඉදිරිපිට නවතා ඇති ත්‍රිරෝද රථයක බිලිඳු මළසිරුරක් ඇති බවට තොරතුරු වතුයාය පුරා පැතිර යන්නේ ක්ෂණිකවය. ඒ ගැන ඇසූ බොහෝ පිරිසක් එහි පැමිණෙන්නේ මේ ගැන සොයා බැලීම සඳහාය.

ආගරපතන පොලිස් ස්ථානයටද මේ ගැන පැමිණිල්ලක් ලැබෙන්නේ ඒ මොහොතේමය. ආගරපතන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් වහාම අදාළ ස්ථානයට යන්නේ නිලධාරීන් කණ්ඩායමක් ද කැටුවය.

ඒ අතරේ මේ සිද්ධිය ගැන හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරද දැනුම්වත් කරන්නේ ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයාය. හැටන් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධරයන්ද එහි කැඳවිණි. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා කටයුතු සූදානම් කැරෙන්නේ ඉන් අනතුරුවය.

හෙන්ෆොල්ඩ් වතුයායට යන පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය නවත්වා තිබූ නිවෙසට සහ ත්‍රීරෝද රථය අසලට ගොස් එහි රැස්ව සිටි අය අසලින් ඉවත් කරන්නේ අපරාධ ස්ථානය සක්ෂි සාධක ආරක්ෂා කළ යුතු නිසාය.

බිලිඳු මළසිරුර තිබුණේ ත්‍රීරෝද රථයේ පිටුපස පොලිතින් බෑගයක් තුළය. හැටන් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධරයන් විසින් බිලිඳු සිරුර සොයා ගැනිණි. එය බිලිඳියකගේ මළසිරුරක් බව එහිදී හෙළි විය.

ත්‍රීරෝද රථයේ අයිතිකරු සොයා ගැනීම පොලිස් නිලධාරීන්ගේ ඊළඟ අරමුණ විය. බිලිඳු සිරුර තිබුණු ත්‍රීරෝද රථයේ අයිතිකරු වූයේ 28 හැවිරිදි අයෙකි. ඔහු එක්දරු පියෙකි. බිලිඳු සිරුර මුලින්ම දැක තිබුණේ මේ පුද්ගලයාගේ මවයි.

මේ තැනැත්තා බිලිඳු සිරුර පිළිබඳ කිසියම් දෙයක් දැන සිටිය යුතු නිසා ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම පොලිසියේ ඊළඟ සැලසුම විය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණි. බිලිඳු සිරුරක් ඔහුගේ ත්‍රීරෝද රථයේ සඟවාගෙන සිටියේ ඇයිදැයි පොලිස් නිලධාරීන් සැකකරුගෙන් විමසද්දී ඔහු මුලින්ම පවසන්නේ එම බිලිඳු සිරුර සහිත පාර්සලය පසුගියදා තමන් සමඟ ත්‍රීරෝද රථයෙන් මාවනැල්ලේ සිට ආගරපතන හෙන්ෆොල්ඩ් වතු යායට පැමිණි කතකගේ බවය. එම කන්තාව සොයා ගිය පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කරද්දී කාලයේ වැලි තලාවෙන් වැසී යාමට තිබුණු අපරාධයක සුලමුල හෙළි විය.

මේ ත්‍රීරෝද රථයේ හිමිකරු ආගරපතන හේන්ෆෝල්ඩ් වතුයායේ පදිංචිකරුවෙකි. 28 හැවිරිදි ඔහු එක්දරු පියෙකි. මේ පුද්ගලයා එම වතු යායේම පදිංචි කතක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ කලක සිටය.

මේ කාන්තාව 24 හැවිරිදිය. ඇය මාවනැල්ල ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවිකාවක ලෙස සේවය කළාය. ඇගේ නැඟණියද සේවය කළේ එම නිවෙසේය.

මේ අතර කාලයේ ඇය ගැබ් ගත්තාය. ඒ ත්‍රීරෝද රථ හිමිකරු වූ 28 හැවිරිදි පුද්ගලයා සමඟ තිබූ අඹුසැමි ඇසුර නිසාය. ඇය බිලිඳියක බිහි කරන්නේ ඔය අතරතුරදීය. ඒ මාවනැල්ලේ ඇය සේවය කළ නිවසේදීය. බිලිඳියගේ දිවි තොරවන්නේ එහිදීය. සිරුර සැඟවීම සඳහා ත්‍රීරෝද රථ හිමියාගේ උදව් ලබා ගැනිණි. බිලිඳු සිරුර ත්‍රීරෝද රථයේ දමාගෙන ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට ගෙන එන්නේ එය වළ දැමීම සඳහාය. ත්‍රීරෝද රථයෙන් බිලිඳියගේ සිරුර ගෙනැවිත් වළ දැමීමට සූදානම් කර තිබුණේ පසුදින අලුයම් කාලයේය. එහෙත් ත්‍රීරෝද රථ හිමියාගේ මවට දැනුණ දුර්ගන්ධය නිසා සියලු සැලසුම් ව්‍යර්ථ විය.

බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කැරිණි. උපන් මොහොතේම මේ බිලිඳිය ඝාතනය කර ඇත්තේ වයරයකින් ගෙල සිර කිරීමෙන් අනතුරුව බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය විය. සැකපිට අත්අඩංගුවට ගත් කත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ප්‍රතිකාර සඳහාය. ප්‍රධාන සැකකාරියගේ සොයුරියද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත ආගරපතන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, කෑගල්ල අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිවංක දෙහිමඩුගේ, කෑගල්ල ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා මාලනී මැණි‍ෙක් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දීපාල් සමරසේකර

ඡායාරූප – කෑගල්ල චමින්ද ජයලත්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division