මෙවර ජනාධිපතිවරණයේදී ආණ්ඩු මාරුවක් සිදු වූ බව කියන සරල පදය කාරණා කිහිපයක් නිසා භාවිතා කළ නොහැකිය. මෙවර ඉන් ඔබ්බට ගිය ක්‍රියාදාමයක් සහ බල හුවමාරුවක් සිදු වූයේය. වෙනස අත්දැකීම ජනතා අවශ්‍යතාව විය. ඒ සඳහා පෙරවදන සපයන ලද්දේ දිගින් දිගටම පක්ෂ දෙකක් මූලිකව මාරුවෙන් මාරුවට මේ රටේ දේශපාලන බලය අත දරාගෙන සිටීමය. නිර්මාණය වූ අර්බුද ගණනාවක් මඟින් දේශයේ අනාගතය සම්බන්ධයෙන් ගොඩනැඟුණු අවිනිශ්චිතභාවය ජනතාව වෙත සංවේදනය වීම මෙතැන්හි වැදගත් විය.
වෙනසක වුවමනාවක් කාලයෙන් කාලයට ජනතාව වෙත මතු වන්නේය. ක්‍රමයේ අර්බුදය සහ ඒ ඒ ආණ්ඩු විසින් ඇති කරන අර්බුද සඳහා ජනතාවට තිබූ එකම සරණ, තවත් ඒ පන්නයේම පක්ෂයක් බලයට පත් කර ගැනීම පමණය. හැත්තෑ හතට පෙර ශ්‍රී ලනිපය සහ එජාපය අතර යම් වෙනසක් තිබ්බේය. ඉන්පසු එම පක්ෂ දෙකම ක්‍රියාත්මක කරන ලද්දේ, එකම පන්නයේ විවෘත ආර්ථික ප්‍රතිපදාවය. මේ සියල්ලට වඩා වැදගත් වූයේ, දේශපාලන සංස්කෘතියය. වසර ගණනාවක පුරා එකම දේශපාලන සංස්කෘතියක අපගේ ජීවිත දෝලනය විය. දිගින් දිගටම එක් සංස්කෘතියක ජීවත්වීමේ අවුල පමණක් නොව, එක් එක් ආණ්ඩු ගත් තීන්දු තීරණ නිසා උදා වූ අභාග්‍යය ජනතාව දරා ගත්තේ අසීරුවෙනි.
මැතිවරණයක් ආසන්න වෙද්දී සහනාධාර යායක් වැපුරුවත් ඉන් පසු ඒවා වදන් පමණය. පැවති ආණ්ඩුවේ දේශපාලන ක්‍රමය විවේචනය කළ පිරිස, බලය අල්ලා ගත් වහා, ඒ පීල්ලේම දුවනවා මිස වෙනසක් ඇත්තේම නැත. ඔය ආකාරයට ආණ්ඩු මාරු කරමින් කාලය ගත කළ ජනතාවට මේ සඳහා දැනෙන වෙනසක් කිරීමේ වුවමනාවක් විය. විකල්පය කුමක්ද යන එම කාරණයේදී ජනතාව විපිලිසරණ විය.
මෙම ජනතා වුවමනාව සඳහා ආමන්ත්‍රණය කිරීමේ ප්‍රතිඵලය වූයේ ජාතික ජන බලවේගයෙන් මේ රටේ නව ජනාධිපතිවරයා පත්වීමය.
“අපට බලය ලබාදීමේදී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ ‘වෙනසක්’ ඇති කිරීමයි. මෙතුළින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලූවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්ත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් ප්‍රකාශ කරන ලද්දේ, ජනතා වුවමනාව තම ව්‍යාපාරය සඳහා බලය ලබා දීමේ පදනම වූ බවය.
දේශපාලන සංස්කෘතික වෙනස සඳහා නව ජනාධිපතිවරයෙක් දැන් රටට පත්ව සිටියි. එය මුළුමනින්ම වෙනසකි. එජාප හෝ ශ්‍රීලනිප යන උල්පත් දෙකෙන් තොරව බලය ලබා ගත් පළමු අවස්ථාව මෙයය. අනෙක් අතට මේ බලය ලබා ගත්තේ පළල් දේශපාලන ව්‍යාපාරයකි. එය එක් පන්තියක හෝ ජනවර්ගයක ගැලී සිටිනා වූ ප්‍රවාහයක් නොවේ. ජාතික ජන බලවේගය වාමාංශික ගතිකයක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති දේශපාලනයක් නියෝජනය කරන්නේය. එය වෙනස සඳහා මුල් වූ පළමු කාරණයය. එසේ වූවාට තට්ටු මාරු දේශපාලනය මාරු වේ යැයි සිතීම අපහසුය. එය දේශයේ දේශපාලන ඇබ්බැහිය බවට පත්ව හමාර හෙයින් එයින් මුදවා ගැනීම පහසු නැත්තේය. මේ සඳහා ජන මනස සමග දිගින් දිගටම සංවාද කිරීමේ වුවමනාව මතු වන්නේය.
මාලිමාව ලකුණ යටතේ එම සංවාදය ඇතිවන්නේය. මධ්‍යම පාන්තික ජනයා සිය ඇබ්බැහියෙන් ඇහැරෙන්නේ ඒ සමඟය. ඒකාකාරී වූ දේශපාලනය දෙගොඩතලා යන්නේ මේ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසය. අර්බුද සඳහාම ළඟ විසඳුම වෙනුවට මාලිමාව ඒ සඳහා ගොඩනඟන ලද්දේ ප්‍රතිපත්තිමය කාරණාය. උදාහරණයක් ලෙස බලශක්තිය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවූ සෑමවිටම, සාම්ප්‍රදායික ආකාරයෙන් ණයට ගැනීම මිස දේශපාලන පක්ෂ සඳහා අන් විසඳුමක් තිබුණේ නැත.
මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රකාශයක ඒ ගැන විශාල පරිමාණයේ විස්තර සඳහන් වෙතත්, බලයට ආ පසු ඒවා ක්‍රියාත්මක ස්ථානයක් සඳහා ගියේ නැත. ජාතික ජන බලවේගය මේ සඳහා සාධනීය ආකාරයේ පිළිතුරක් ගොඩනඟන ලද්දේ, කේෂ්ත්‍රයේ පළපුරුදු සහ ඒ සඳහා වියත්භාවයක් සහිත පිරිසකගේ සහභාගීත්වයෙන්, විදග්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. ඔවුන්ගේ මැතිවරණ ලියැවිල්ල රට අරබයා ගොඩනඟන ලද ප්‍රතිපත්ති මාලාවක් වූයේය. ජනතාව වෙත ළඟ ළඟ සතුට දනවන දේශපාලන කයිවාරු වෙනුවට, මේ ආකාරයට ප්‍රශ්නයේ සමස්තය අතට ගෙන ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම ‘වෙනස’ සඳහා අනගි පිටු බලයක් විය. ජනතාව සමඟ සිදු කළ පුළුල් සංවාද කලාපයක් බවට එය පත් වන්නේය. මෙතෙක් කලක් නිහඬව හුන් වියත් දන මෙන්ම, ඉවසගෙන සිටි මහජනයා ද මාලිමාව තමන් වෙත පෙන්වන දිශාව සම්බන්ධයෙන් සංවේදී වීමේ ඵලය වූයේ මේ රටේ දේශපාලන සංස්කෘතිය අලුතෙන් ලියවීමය.
ජයග්‍රහණය නායකයාගේ හෝ දේශපාලන බලවේගයකට ලඝු විය යුත්තේ නැත. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂාවක් පල දැරීම හෙයින් සිළුමිණ නව වෙනස සම්බන්ධයෙන් සුබ සිහින දකින්නේය. එය මේ රටේ පැවති තට්ටු මාරුව පමණක් නොව නිමා නොවන අර්බුද ගණනාවක් සඳහා යොදන ලද ජනතා පිළියමක් හෙයින් ජනතාව වෙනුවෙන් ඉදිරියට යව් යන ජවාධික සුබ පැතුම් ද නව රජය සඳහා සිළුමිණ පිරිනමන්නේය.