Home » අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරණය ඉතා තීරණාත්මක ප්‍රවේශයක ද?

අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරණය ඉතා තීරණාත්මක ප්‍රවේශයක ද?

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ත්මන් ගෝලීය දේශපාලන තතු විමසන්නන් මෙන්ම ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන කොටස් ද දැඩි සුපරීක්ෂාකාරීත්වයෙන් බලා සිටින්නා වූ තීරණාත්මක ජනපතිවරණයක් ලෙස අ. එ. ජනපද ජනාධිපතිවරණය විග්‍රහ කර බැලිය හැකිය. මෙම අවුරුද්දේ නොවැම්බර් 5 වෙනි දින පැවැත්වීමට නියමිත එම ජනපතිවරණයේදී අ. එ. ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය අපේක්ෂකයින් දෙදෙනෙක් “60” වැනි ජනාධිපති පුටුවට තරග වදිති.

2020 වනතෙක් අ. එ. ජනපද ජනාධිපතිවරණ කටයුතු කළ රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ නියෝජනයෙන් තරග වදින එරට උප ජනාධිපති කමලා ඩී. හැරිස් එම දෙදෙනායි. මෙම අපේක්ෂයන් දෙදෙනා යම් යම් ආකාරවලින් ස්වකීය දේශපාලන දැක්මන් (Political Perceptions) අතින් වෙනස් ස්වරූපයක් ගනු ලබන අතර, කමලා හැරිස් මහත්මිය රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වැදුනු ඇ. එ. ජනපද ජනාධිපති ජෝ. බයිඩ්න් මහතා වෙනුවට තරග වදින තැනැත්තියයි. ස්වකීය සෞඛ්‍යමය ගැටලු සලකා ජෝ බයිඩ්න් ජනපති තරගයෙන් ඉවත් වී ඒ වෙනුවට කමලා හැරිස් මහත්මිය නම් කළ අතර, ඇයගේ භූමිකාව මේ වන විට නොපිරිහෙලා ඉටු කරන බව හොඳින්ම ප්‍රදර්ශනය වී ඇත. ඇය ගෝලීය වශයෙන් මෙන් ම සමස්ත අමෙරිකානු පුරවැසියන් අතර ද කැපී පෙනෙන චරිතයක් වී ජනතා ප්‍රසාදයට පත් වී හමාරය.

අ. එ. ජනපද දේශපාලන ව්‍යුහයේ සැකැස්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය (representative democracy) අනුගමනය කරනු ලබන එය ප්‍රාන්ත (states) 50කින් සමන්විත රාජ්‍යයකි. මෙම ජනපතිවරණය හරහා අ. එ. ජනපද ජනාධිපති හා උප ජනාධිපති තෝරා ගැනීම වක්‍ර ඡන්දයෙන් එනම්, ප්‍රාන්ත 50 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් (electoral college) සිදුවේ. අ. එ. ජනපද 23 වන සංශෝධනයට අනුව electoral ඡන්ද බහුතරය ලබාගන්නා අපේක්ෂකයා (538න් 270ක්) අ. එ. ජනපද ජනපති ලෙස තේරී පත්වන අතර, එසේ නොමැති වූ විට electoral college නියෝජිතයන් විසින් ජනපතිව තෝරා පත්කරනු ලැබේ. උප ජනපති පත්වීමේ ක්‍රියාවලියේ දී ද ඔහුට හෝ ඇයට බහුතර ඡන්ද ප්‍රතිශතය නොමැති නම් අ. එ. ජනපද සෙනෙට් සභාව උප ජනපති තෝරා පත් කරනු ලබයි. මෙම electoral college හා එහි ක්‍රියාපිළිවෙත ස්ථාපිත කරනු ලැබුවේ අ. එ. ජනපද ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ section 1, clauses 2 හා 4 හා 12 වන සංශෝධනය අනුවයි. මේ අනුව මෙවර අ. එ. ජනපද ජනපතිවරණයට උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මිය ද තරඟ වැදීම කැපී පෙනෙන කරුණකි. මේ වන විටත් ජනපති තරගය තුළ අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් කැපී පෙනෙන විවාදයක නිරත වන අතර, අ. එ. ජනපද පුරවැසියන් මෙන්ම මීට දක්වන්නේ ඉතා දැඩි උනන්දුවකි. වත්මන් ගෝලීය අර්බුදයන් විශේෂයෙන් ම මැදපෙරදිග ආතතිමය ඊශ්‍රායල් – හමාස් යුද ගැටුම, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන, නව ගෝලීය ආර්ථික බලවතුන්ගේ නැඟීම ආදී මාතෘකා මේ විවාද වල කැපී පෙනෙන මාතෘකා වී ඇත.

ඡන්දය කලින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදය

අ. එ. ජනපද ජනපතිවරණය නොවැම්බර් 5 දා ට පැවැත්වීමට නියමිත වුවද අමෙරිකානුවන් බොහෝ ප්‍රාන්තවලින් මේ වන විටත් ස්වකීය ඡන්දය ප්‍රකාශ කොට ඇත. මෙම සුවිශේෂි ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබීම නිසා බොහෝ ඡන්දදායකයින්ට ඉතා ශක්තිමත් ආකාරයෙන්, පවතින දුෂ්කරතා මඟහැර ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ ලැබෙන බව අදහසයි. යම්කිසි ආබාධයක් වූ විට, කාලමය ගැටලුවක දී, සංචාරයක් කිරීමට නියමිත දින ලැබී ඇති අවස්ථාවක තමන්ට යෝජිත දිනට ඡන්දය දැමීමට නොහැකි වීමේ අපහසුතාවය මඟහැර වටිනා ඡන්දය කලින් පාවිච්චි කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි. මෙම ක්‍රමවේදය අ. එ. ජනපද ප්‍රාන්ත අතුරින් මිනෙසොටා, දකුණු ඩෙකෝටා හා වර්ජිනියාවලට හිමි වී ඇත. සෙසු ප්‍රාන්ත සම්බන්ධයෙන් වෙනත් විධිවිධාන ක්‍රියාත්මක වේ.

උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ භූමිකාව

කමලා ඩී. හැරිස් නැතිනම් කමලා හැරිස් නාමයෙන් සුප්‍රසිද්ධව ඇති අ. එ. ජනපද උප ජනපතිනිය එරට සෙනෙට් සභාවේ සභිකාවකි. 1964 ඔක්තෝබර් 20 දා අප්‍රිකානු – අමෙරිකානු හා ආසියානු – අමෙරිකානු සම්භවයක් සහිත මාපිය දෙපලකට දාව උපත ලැබූ ඇය අ. එ. ජනපද සෙනෙට් සභාවේ ප්‍රථම අප්‍රිකානු – අමෙරිකානු සම්භවයක් ඇති තැනැත්තියයි.

2021 පටන් අ. එ. ජනපදයේ 49 වැනි උප ජනාධිපතිනිය වන ඇය සෙනෙට් සභිකාවක් ලෙසත් උප ජනාධිපතිනිය ලෙසත් ඉතා ගෞරවනීය සේවයක් අ. එ. ජනපදයට ලබාදීමට සමත්වී ඇත. කාන්තා හිංසනය පිටු දැකීම ප්‍රචණ්ඩත්වය පිළිබඳ අමෙරිකන් සමාජය තුළ ඉතා සක්‍රිය දායකත්වයක් ලබාදෙන ඇය ගෝලීය ආතතිමය අර්බුදවලට ඒ ඒ රටවල රාජ්‍ය නායකයින් මුණගැසී මානුෂීයව හා දයානුකම්පාවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යන තැනැත්තියකි.

වසර 2017 සිට 2021 වන තෙක් කනිෂ්ඨ සෙනෙට් සභිකාවක් ලෙස කැලිෆෝනියාව නියෝජනය කළ ඇය කැලිෆෝනියාවේ නීතිපති ලෙස ද කටයුතු කර ඇත. කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හිදී උපත ලැබූ ඇය නීතිවේදී තනතුරින් ඉතා ඉහළටම ගිය තැනැත්තියක් වන අතර, ඇය අ. එ. ජනපද සෙනෙට් සභිකාවක් වූ දෙවන කළු ජාතික කාන්තාව වූවාය. 2024 ජනපතිවරණයෙන් ජෝ බයිඩ්න් ඉවත් වීමෙන් පසු 2024 අගෝස්තු 6 වෙනිදා ඩිමොක්‍රටික් පක්ෂයෙන් එක් වූ ඇය කළුජාතික සම්භවයක් සහිත අමෙරිකන් පුරවැසියන්ට මහත් අභිමානයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අ. එ. ජ. ජනපතිවරණ භූමිකාව

අ. එ. ජනපදයේ 45 වැනි ජනපති ලෙස සේවය කළ ට්‍රම්ප් 2017 සිට 2021 දක්වා ස්වකීය ධූරය ඉසිලීය. 1968 දී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් මොහු මාධ්‍ය ක්ෂේත්‍රයේත් මහා පරිමාණ ව්‍යාපාර, සමාගම් හිමිකරුවෙකු ලෙසත් ප්‍රසිද්ධය. 2016 දී අ. එ. ජනපද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති මැතිවරණයට පිවිසි මොහුගේ දේශපාලන භූමිකාව විස්තර වන්නේ, ජනප්‍රිය පාංතික හා අඩු ආදායම්ලාභීන්ට ට්‍රම්ප් මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ විශාල ඉඩක් වෙන්කොට නොතිබූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් අ. එ. ජනපද දේශපාලනය තුළ හඳුන්වනු ලබන්නේ කිසිදු හමුදාමය හෝ දේශපාලනික අත්දැකීමක් කලින් නොතිබූ එහි ප්‍රථම ජනාධිපති ලෙසයි.

ජනපති ට්‍රම්ප් ස්වකීය ජනපති ධුරය හැරයන විටත් ඔහු රිපබ්ලිකන් පක්ෂය තුළ දැරූ ආධිපත්‍යය හේතුවෙන් නැවත මොහුට 2024 ජනපතිවරණ මැතිවරණයට මැයි මස දී නාමයෝජනා භාරදීමට හැකිවිය.

කමලා හැරිස් – ට්‍රම්ප් ජනපති විවාදය

කමලා හැරිස් – ට්‍රම්ප් ජනපති අපේක්ෂක විවාදය පැවැත්වූයේ අ. එ. ජනපදයේ පිලඩෙල්ෆියාවේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේදීය. ඇත්ත වශයෙන් ම ගෝලීය දේශපාලන විශේෂඥයින්, රාජ්‍යතාන්ත්‍රික පිරිස් මෙන් ම සමස්ත අමෙරිකානු වැසියන් ඉතා උනන්දුවෙන් මෙම විවාද වැඩසටහන වෙත පෙළ ගැසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. මෙම විවාදය තුළ කමලා හැරිස් පළකළ විශේෂිතම ප්‍රකාශයක් වූයේ, අ. එ. ජනපදයේ මධ්‍යම පාංතිකයන් හා වැඩ කරන ජනතාව ඔසවා තැබීම තමාගේ ප්‍රමුඛ අරමුණ බවයි. මෙම විවාදය තුළ ට්‍රම්ප් මහතා මෙන් ම කමලා හැරිස් මහත්මිය වත්මන් ගෝලීය ආතතිමය ගැටුම් හා ප්‍රවණතා පිළිබඳව ද විශේෂ කතිකාවක් පවතින අතර, අ. එ. ජනපද විදේශ ප්‍රතිපත්තිය හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයන් මැදපෙරදිග ගැටුම, රුසියන් – යුක්‍රේන අර්බුදය, චීනය සමග පවතින තරගකාරීත්වය සම්බන්ධයෙන් කුමන ආකාර පිළිවෙතක් අනුගමනය කිරීමට සැරසේ ද යන්නත් සමස්ත අමෙරිකානුවන් ඉතා විමසිල්ලෙන් බලා සිටින කරුණකි. අ. එ. ජනපද ජනාධිපතිවරණය තුළ ප්‍රාන්ත මට්ටමින් බොහෝ විට සමීක්ෂණ කටයුතු සිදුවන අතර, එහිදී දැනගැනීමට ලැබී ඇත්තේ, අ. එ. ජනපද ආර්ථික ගැටලුවලට උද්ධමනය සහ ආගමනය (immigration) සම්බන්ධයෙන් ට්‍රම්ප් වඩා හොඳින් ක්‍රියාකරයි යන්න ඇතැම් ප්‍රාන්ත ඔස්සේ ප්‍රකාශ වෙද්දී තවත් පිරිසක් පළ කර ඇති අදහසක් වන්නේ, ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම, සෞඛ්‍යය, සාමාජීය ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කමලා හැරිස් සාධනීය, යහපත් අයුරින් ක්‍රියා කරනු ලබන බවය. කෙසේ වුවද ලෝකයේ සුපිරි බලවතා ලෙස සලකනු ලබන අ. එ. ජනපදය, ස්වකීය විදේශ ප්‍රතිපත්තිය අරඹයා ලෝකයේ සෙසු රාජ්‍යයන් සමඟ උපායමාර්ගික වශයෙන් තරගයට එළඹීමේ සුවිශේෂී නම්‍යතාවක් ඇති බැවින්, එය මීලග අ. එ. ජනපද ජනපති හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රවේශයන් තරමක් දැඩි ස්වරූපයක් උසුලන අතර, අමෙරිකානු ද්විපාර්ශ්වීය වෙළඳාම තුළ හිඟයක් කිසිසේත් නොවීමටත්, “අමෙරිකන් පළමුතැන” (America First) යන සංකල්පය මත බොහෝ තීරණ ගනු ලබන සේයාවක් ද දිස්වේ. කමලා හැරිස්ගේ ප්‍රවේශය බොහෝ දුරටම මානුෂීයවාදී ප්‍රවේශයකින් හෙබි එකක් බව ද මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් ද ඇය දරන මතය වන්නේ එය ද්විපාර්ශ්වීය ගැටළුවක් ලෙස නොසලකා සමස්ත ගෝලීය ප්‍රජාවම එකට එකතු වී එයට කල්පවත්නා සාමයක් (Durable peace) ලබාදීමට ඇප කැප වී ක්‍රියා කළ යුතු බවය.

අ. එ. ජනපද ජනපතිවරණයේ වත්මන් තත්ත්වය

අ. එ. ජනපද ජනපතිවරණයට තව ඇත්තේ සති 6ක් පමණි. මේ වන විට දේශපාලන විශ්ලේෂකයින්ට අනුව සියයට පහකින් ඉදිරියෙන් සිටින්නේ කමලා හැරිස් වන අතර, ඇයගේ ප්‍රතිවාදි අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 44% ලබාගනිද්දි කමලා හැරිස් 49%ක ප්‍රතිශතයක් දැනටමත් හිමිකර ගෙන ඇත.

ඇත්ත වශයෙන් ම අ. එ. ජනපද ඡන්ද විමසුමට අනුව නව අපේක්ෂිකාව ඉතාම සැලකිය යුතු අභියෝගයක් හිටපු ජනපති ට්‍රම්ප්ට එරෙහිව ප්‍රදර්ශනය කොට ඇති බව පෙනේ. අපේක්ෂක ට්‍රම්ප් අ. එ. ජනපද ආර්ථකය සම්බන්ධ ක්‍රියාකිරීම තුළින් ඉදිරියෙන් පසුවන බව හා එහි වාසිය ඔහුට ලැබේ යැයි විශ්වාස කළ ද ඡන්ද දායකයින්ගෙන් 2/3ක් පමණ තවමත් පවසන්නේ ඔවුන්ගේ පවුලේ ආදායමට වඩා ජීවන වියදම බොහෝ සෙයින් වැඩි වී ඇති බැවින්, “ජීවන වියදම” යන්න මෙම මැතිවරණය තුළ වඩාත් බලාත්මක සාධකය වන බවයි. කමලා හැරිස්ට කළු ජාතික ඡන්ද දායකයින්ගේ වාසිය ද අත්පත් වන අතර, (18-34) වයස් කාණ්ඩයේ ඡන්ද ද, කාන්තා ඡන්ද ද, උපාධි හිමි සුදු ජාතිකයින්ගේ ඡන්ද ද ස්වාධීන පිරිසගේ ඡන්දය ද ඇයව බොහෝ ඉදිරියට ගෙන යනු ලබයි.

කෙසේ වුවද නොවැම්බර් 5 දා පැවැත්වීමට නියමිත අ. එ. ජනපද ජනාධිපතිවරණය පවතින වත්මන් ගෝලීය ආතතිමය තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තරික දේශපාලනයට මෙන් ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද යම් ආකාර හැරවුම් ලක්ෂ්‍යයක් වන බව නොඅනුමානය.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division