ළමයි මල් වගේය. ඒ කියමන සොඳුරුය. ඒ කියමන කොතරම් සොඳුරු වුවත් අපේ රටේ හැම දරුවෙකුටම දරුවෙකුට මෙන් සලකනවාද, ඔවුන්ව ආදරයෙන් රැක බලා ගන්නවාද, ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙනවාද යන්න නම් කතා කළයුතු මාතෘකාවකි.
1989 නොවැම්බර් මස 20 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා ප්රඥප්තියට අනුව වයස අවුරුදු 18 අඩු සියල්ලෝ ළමයින් සේ සලකනු ලබයි. මේ කොහොම කිව්වත් මේ ලියන මොහොතේත් රටේ කොයි කොනක හෝ දරුවෙකු මානසික පීඩනයකින්, එහෙමත් නැත්නම් වැඩිහිටියෙකුගෙ කායික මානසික අතවරයකට ගොදුරු වනවා නිසැකය.
අප කතා කළ යුත්තේ දරුවන්ට සිදුවන අතවර ගැන නොව, අපේ දරුවන් මේ තාඩන පීඩනවලින් මුදාගෙන ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවාලන්නේ කෙසේ ද කියාය.
බොහෝ විට කෙනෙකුට යම් දරුවෙකු දෙස බැලූ විට ඒ දරුවා සිටින්නේ සහනයෙන් ද නැතිනම් අසහනයෙන්ද යන්න අවබෝධ කර ගත හැකිය. බොහෝ විට වැඩිහිටියන්ගේ අතකොළු බවට පත් වී කායික මානසික පීඩාවන්ට ලක්වන දරුවන් ඉන් මුදාගෙන ජීවිතයේ යායුතු පාර පෙන්වා දිය හැකිනම් එය අද දවසේදී අපි අපේ දරුවන් වෙනුවෙන් කරන මහඟු මෙහෙවරක් වනු ඇත.
දරුවා රැක බලා ගැනීමේ මුල්ම වගකීම ඇත්තේ මවට හා පියාටය. ඉන්පසුව දරුවාගේ පවුලේ අයට ඒ වගකීම පැවැරේ. සමාජයට ද දරුවා රැක ගැනීමේ වගකීම ඇත. නමුදු අද වන විට සියල්ලම මුදලට යට වී ඇති සමාජයක දරුවන් ලවාද මුදල් ඉපැයීමට ඇතැමුන් පෙලැඹී ඇත.
වසර ගණනාවක් තිස්සේ “ලෝක ළමා දිනය”ට අපි දරුවන් ගැන කතා කරන්නෙමු. දරුවන්ගේ දිනය සමරනු වස් උත්සව සංවිධානය කර වැඩිහිටියන් වැඩ කරයි. පසු දා සිට පළමුවැනිදා සැමරූ දරුවන් අමතකය. ඔවුන් කරන්නේ කුමක්දැයි කියා සොයාබැලීම ද අත්හරිනු ලබයි. නමුදු සැබෑවටම නම් විය යුත්තේ වසරේ දවස් තුන්සිය හැටපහම දරුවන් වෙනුවෙන් වෙන් විය යුතුය. එවිට මේ සමාජයේ දරුවන් සුරක්ෂිත වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපයන, සෞඛ්‍ය, මෙන්ම පෝෂණය ද හොඳින් ලැබිය යුතුය. එපමණක් නොව දරුවන් සතු කුසලතා, දැනුම, හැකියාව ආදී සියල්ලට වැඩෙන්නට අවස්ථාව දිය යුතුය. එවිට අපට මේ සමාජයෙන් යහපත් මිනිසෙකු බිහිවනු දැකිය හැකිය.
මෙවර ලෝක ළමා දින තේමාව වී ඇත්තේ ද “දරුවන් රැක ගමු – සමසේ සුරකිමු” යන්නය.
මහා උත්සව තබමින් දරුවල් වෙනුවෙන් කතා කළ පමණින් දරුවාද මේ සමාජය තුළ සුරක්ෂිත ද, ඒ ප්‍රශ්නට උත්තර සොයන අතරේම අප විසින් කළ යුත්තේ මේ සමාජයේම දරුවන්ට දරුවන් මෙන් සලකා, ඔවුන්ට නිසි තැන ලබාදීමය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමය.
ඉනෝකා සමරවික්‍රම