පෙම් බැඳි පුස්තකය
ඈ මට පොතකි මා හිතගත් දුටුවාම
වැඩිපුර කියවන්නෙ පිටකවරය තාම
ගේ දොර හැඩ කළා පොත ගෙයි තිබුණාම
ආදරෙ වැඩි වුණා ඒ පොත බැන්දාම
එක එක කාලවල තිබුණේ අගහිඟකම්
පිටුවෙන් පිටුව ලිය වී තිබුණේ පිළියම්
ජීවන ගමන යන විට හිත ලෙඩ වේ නම්
ලොකු වෙදකමකි පිටු අතරේ ඇවිදින කම්
හදවත කියන දේ මය පොත තුළ ඇත්තේ
ඇයගේ අත් අකුරු විතරය එහි නැත්තේ
පිටකවරය අතැර ඇතුළට මං බැස්සේ
ඇතුළත් හොඳය ඒකයි පොත අරගත්තේ
ලයනල් ගමගේ
ඌරුමුත්ත
රහසින්
ලතා මාලතී දරන්නෙ සුමුදු පෙති පහයි
වැඩිපුර ආදර හැඟුන් නොපෙන්වන හැඩයි
වෘක්ෂ මාලතී සුපිපෙයි සුවඳ පෙති හතයි
ඇති තරමට ආදර හැඟුමන් පිරී තිබෙයි
කවුරුන් හරි ළඟ ඇති ටික කියනවද
ඒවා මුමුණමින් පමණක් ඉන්නවද
විසිතුරු අකුරු අමුණා ගෙන ගොතනවද
ලියූ බසක් කටු ගා ගා ලියනවද
සඟවාගෙන සිටිය හැකි නම් ඒක බොරු
කීවද නැද්ද ලෝකෙම දන්නේ කවුරු
ඔබ ඉන්නවද ඒවා ගැන අසන තුරු
සිටිමි කනට පිඹ ගීතය ගයන තුරු
පොතුහැර ජේ.එම්.ඩී.බී. ජයසුන්දර
කෙටිය මේ ජීවිතය
කෙටිය මේ ජීවිතය
ආදරය කරන්නට
වෛරයෙන් දැපෙන්නට
කාලයක් නැති තරම්
සොහොන මා අබියසය
මරණය ද දොරකඩය
ලැබිය යුතුමය එහෙත්
බිඳක් හෝ ආදරය
එහෙත් එය කොහි වේද
ලැබේවි ද නොලැබේ ද
දිවිය වියැකී යන්න පළමුවෙන්
(අමෙරිකානු කිවිඳියක වූ
එමිලි ඩිකින්සන්ගේ කවි පෙළක් ඇසුරිනි)
පූජාපිටිය සාලිය ගුණවර්ධන
සෙනෙහසේ පැතුම
අමුණන පදවැල් රැහැයි ගීතයට රෑ තුන් යාමේ හෙමින් සැරේ
දිලිසෙන සඳකැන් සිහිලට මුහුවී හද විමනේ දොර කවුළු ඇරේ
පොපියන හැඟුමන් මොහොතින් මොහොතට ඔබ ළඟ නවතියි වරින් වරේ
සැඟවෙන ළතැවුල් දෙකොපුල් නොතෙමා මුව හසරැල්ලෙන් දෙතොල පිරේ
ඇවිදින් දුර සිට පාර සොයාගෙන සිතට හොරෙන් එබිකම් කෙරුවේ
දෙනෙතින් දෙනෙතට පැවසෙන රහසක් මට විතරක්මයි ඉඟි මැරුවේ
සුවඳින් මහනෙල් සහසක් විකසිත හිත අද්දර නිරතුරු නැහැවේ
වදනින් සුමියුරු මදු රස වෑහෙන සෙනෙහෙ ගඟේ මහිමය කියැවේ
නැතිමුත් අත්තටු පියඹා යන්නට ඔබත් එක්ක උස් අහස් කුසේ
සවිමත් දෑතින් අත නොහැරම මම ඉන්නම් මහ ගිරි කුලක් ලෙසේ
වැටුණත් සියවාරයක් බිමට යළි නැඟිටිමු හැම වාරෙකම තොසේ
තබමින් කොඳු නාරටිය කෙළින් අපි දෙපයින් සිටගමු හෙට දවසේ
මහාචාර්ය දම්මිණි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා
රුහුණ විශ්වවිද්‍යාලය
ආයාචනයක්
රෑනකිතුල් නිල්වරලස පිටට හෙළාලා
අඩසඳවන් නළලෙ කොකුම් තිලක තියාලා
දෙකනේ ලඹදෙන රන්වන් තෝඩු දමාලා
හිච්චි නගා කොයි යනවද නිතඹ සලාලා
දෙවැට දිගේ රුක් අත්තන මල් පූදිනවා
අවට සිටින මත් බඹරුන් රොනට ඇදෙනවා
අහංකාර බැල්මට නුඹ තව හැඩවෙනවා
ගමෙන් පිටත නොයන් මගේ හිත කකියනවා
දොරකඩ මී අඹ අත්තේ කොහා හඬන්නේ
දෙමලිත්තන් චිලි චිලි ගා සින්දු කියන්නේ
බලන බලන අත නුඹගේ මුහුණ පෙනෙන්නේ
මා තනි කෙරුවොතින් නුඹට පව් සිදුවන්නේ
අයි.ඩී. නන්දාවතී
අපි
පෙන්ඩින්
හීනවල
තවමත්
අපි…!
ගාමිණී දළුවත්ත
චූන් පාන්
හිමිදිරියෙම
මාවතට පිවිසි
චූන් පාන් රථය
බෙදාහරිමින්
සංගීතය
අවදි වූ මාවතේ බල්ලා
පටන්ගති උඬුබුරලන්නට
සිහි කැඳවමින්
ජනතාවට
මරණයක්
නොපෙනී
නොඇසී යන තෙක්
චූන් පාන් රථය
කලාභූෂණ විජේරත්න දාහිගමුව
සඳ දියණිය
වසත් කල නිශාවේ
හද විල කොඳ කැකුළු
පෙළින් පෙළ පිපී එන…
මිහිරිතම සත්සරය
වීණාවේ සියුම් තත්
එකින් එක පිරිමදින…
ජීවන අසපුවේ
රෝස කුසුම් පෙති
මඳින් මඳ සුවඳ දෙන…
ගිම්හානයක සිසිල දෙන
පිනිපොද වැස්ස
බිදෙන් බිඳ මහිත
ඔබයි සඳ දියණිය
පසන් නිෙවසේ පොදින්පොද
හසකැන් සලන…
නයන්ත ජනක් පුංචිහේවා
කිල්ලෝටවල හුනු
අනියමක් තුළ කොහෙද
ඇත්තේ සෙනෙහසක්
සතපවා ගන්න පොරබදන
ආශාවන් ගොන්නක් මිසක්
අනියම සාධාරණ යයි
පවසයි නම් කිසිවෙක්
ඒ කිල්ලෝටයෙන් හුනු
තිබිය හැක බිඳක්…..
ක්ලැරීන් සේවියර්
පිළිලය
නැඟී යුහුසුලුව
තුරු පත් අතරින්
හිනැහේවි නුඹ
හකින පැමිණි වග හා
හණික වැටුණු වග නොමදැන
ඉවසා මවු ගති
පෝෂණය කරයි නුඹ
යුතුකමක් සේ දයාවෙන්
බෙදා අහරද දිය ද
වැඩෙන විට නුඹ සීරුව
නවතීවි තරමකට
මවු ගසේ වැඩුම
මියෙනවිට එක් දිනක
නුඹ වැඩූ මවු ගස
හඬන්නේ ද
වැලපෙන්නේ ද
හිනැහෙන්නේ ද නුඹ
නොමදනී ලොව
සමන් හේරත්