කෘතිය – හතරමං හන්දියේ හිටගත් මිනිසා
කර්තෘ – උපුල් රංජිත් විතානගමගේ
විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් විතානගමගේ විසින් සිංහලට පරිවර්තනය කරන ලද හින්දී-බාඟ්ලා කෙටිකතා එකතුව නම් කර ඇත්තේ ‘හතරමං හන්දියේ හිටගත් මිනිසා’ ලෙසය. පොතේ නම රැගත් ‘හතරමං හන්දියේ හිටගත් මිනිසා’ නම් වූ අපූරු කෙටිකතාව තුළින් විශද වන්නේ සොක්‍රටීස්ගේ සවර්කාලීන, සාර්වභෞමික අවධාරණයකි. ඒ, වෙනස් කළ යුතු වන්නේ රටක පාලකයන් නොව ජනතාවයි යන්නයි.
මේ අපූරු කෙටිකතා සංග්‍රහය අපගේ අසල්වැසි භාරත දේශයේ හින්දී සහ වංග බස භාවිත කරන පොදු ජනයාගේ මානසික ඉතිහාසය සිංහල පාඨකයාට විවර කරන දුර්ලභ කවුළුවකියි පැවසීම බොහෝදුරට නිවැරදි ය. ඒ, උත්ප්‍රාස රසය මේ අයුරින් කුළුගන්වන සිංහල ප්‍රබන්ධ අපට කියවන්න ලැබෙන්නේ කලාතුරකින් වන බැවිනි. ප්‍රහසනාත්මක වුව ද මේ කෙටිකතා බොහොමයකට පසුබිම් වී ඇත්තේ ගැඹුරු හද විදාරණය; බොහෝ විට ඒවා ඛේදවාචකය. ආරම්භයේදීම ඒ ගැන අපූරු ඉඟියක් සම්පාදනය වන්නේ පරිවර්තකගේ ‘පිදුම’ පිටුවෙනි.
මනුස්සකම හඳුනන, සයිති, පෙපී, බට්ටි, මනූ, බ්‍රව්නි, කුකී සහ බූම බලු සුරතලුන්ට…
උත්ප්‍රාසාත්මක වුණ ද මේ කෙටිකතාවල කතුවරුන්, කතුවරියන්ගේ නම් හා නිර්මාණ ගාම්භීර ය. ප්‍රේම්චන්ද හා මහාශ්වේතා දේවී ද ඒ අතර වෙති. ‘හතරමං හන්දියේ හිටගත් මිනිසා’ කෙටිකතාව සෙසු කෙටිකතාවල හැඩතල හා රුවගුණ පිළිබඳ දළ නිරූපණයකි. මේ කෙටිකතාව ලියා ඇත්තේ හින්දී උපහාස සාහිත්‍යයේ කැපී පෙනෙන ලේඛකයෙකි. ඔහු නමින් ශරද් ජෝශි ය. අපගේ අසල්වැසි සමකාලීන භාරතය හා එහි වෙසෙන පුද්ගලයන්ගේ චර්යා පිළිබඳ හරස්කඩක් මෙම කෙටිකතාවට විෂය වී ඇතැයි පරිවර්තකයා පවසන මුත් එය අපේ රටට ද වලංගු ය.
සාමාන්‍යයෙන් හතරමං හන්දිවල සිටගෙන රථවාහන හසුරුවන්නේ පොලිස් භටයකු වුව ද කෙටිකතාවෙන් නිරූපිත හතරමං හන්දිය මැද නැඟී සිටින්නේ මිනිසෙකි. ඔහු කොයි අතට යන්නේ දැයි සිතාගත නොහැකිව දෙගිඩියාවෙන් පසුවෙයි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මේ කතාව කියන කථකයා ඔහුට කිහිපවරක්ම බුලත්විට සපයා තිබේ. මැතිවරණ කිහිපයකදීම ඔහුගේ ඡන්දය ගිල දමා ඇත්තේ ද ඔහුම ය.
‘මෙතන හිටගෙන ඉන්නේ කවුරු එනකං ද?’ කථකයා දේශපාලනඥයාගෙන් අසයි. දේශපාලනඥයා සිනාසී නිහඬ වෙයි.
‘කවුරු එනකං ද මෙතන බලාගෙන ඉන්නේ?’
එක්තරා කාලයකදී මේ පුද්ගලයා ‘සමාජවාදය’ එනතුරු බලා සිටිය බව කථකයාට මතක ය. ඉනික්බිතිව ඔහු දත මැදගෙන සිටියේ ‘පූර්ණ විප්ලවයක්’ අපේක්ෂා කරමිනි.
‘කොහේ යන්න ද කියල මට තේරෙන්නේ නෑ.’ ඔහු කීවේ ය.
‘මොකක් ද කිව්වේ?’ මම ඇසුවෙමි.
නැවතත් ටික වෙලාවකින් ඔහු මෙය තමාගෙන්ම අසා ගත්තා සේ ය… ‘ඉන්දිරා කොංග්‍රස් එකට යන්න ද?’
‘දැං ඔබතුමා මේ වෙනකං මොන පක්ෂෙ ද හිටියෙ?’
‘ස්වර්ණ්සිංහගේ කොංග්‍රස් එකේ නෙ හිටියෙ.’
‘හැබෑට! කවුරු හරි කියනව ඇහුණා ඔබතුමා ජනතා පක්ෂෙ හිටියයි කියල!’
‘`ආ, ඒ මාස තුනකට ඉස්සෙල්ල කතාවක් නෙ’
‘බල්ලෙකු වූ මිනිසා’ නමැති අපූරු නිර්මාණය ගැන ද මෙහිදී කෙටියෙන් හෝ යමක් කිව යුතු ය. රමා කාන්ත්ගේ මේ නිර්මාණයෙන් කියැවෙන්නේ අස්වාභාවික භයානක රෝගයකින් ආතුරව සිටි මිනිසෙක් පිළිබඳව ය. මේ මිනිසාට හදිසියේම වාගේ සෙසු මිනිසුන් පෙනී යන්නට පටන්ගන්නේ බල්ලන් ලෙස ය. මරණ භයෙන් තැතිගන්නා මිනිසා බෙහෙත් ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විට ‘ඔහේ ඇඟේ ලෙඩවලට නෙවෙයි. මොළේට බේත් ටිකක් ගත්තොත් හොඳයි’ යනුවෙන් වෛද්‍යෝපදේශයක් ලැබෙයි. එහෙත් ඒ මාරාන්තික ‘බිය’ ඔහු හැර යන්නේ ම නැත.
කලකට පෙර ඔහු දැක තිබුණේ මිනිසුන් කිහිපදෙනෙක් එකතු වී, මුගුරු පහර දී බැල්ලියක් මරා දමන අයුරු ය. ප්‍රහාරකයන් කියන්නේ ‘බැල්ලිට පිස්සු’ කියා ය. එහෙත් මියයන්නට පෙර බැල්ල එකම එක වරක් හිස ඔසවා බලන්නේ මරහඬ තළමින් සිටින තමාගේ කුඩා පැටවා දෙස ය; එහෙත්… සමාජ මතයට අනුව නම් ‘බැල්ලිට පිස්සු’ ය.
තමාට වැලඳී ඇත්තේ ජලභීතිකා රෝගය නොවන බව මිනිසාට ප්‍රත්‍යක්ෂ වන්නේ බැල්ල තමා සපා කෑවේ නැති බව හොඳින්ම දන්නා නිසා ය. ජලභීතිකා රෝගීන්ට මෙන් වතුර බීමේ අපහසුවක් ද ඔහුට නැත. එහෙත් බොහෝ අවස්ථාවලදී ඔහුට තද බියක්, අසරණ භාවයක් හැඟෙයි. ඒ වූ කලි මවට පහර දෙන අතරේ කුණුගොඩකට මුවා වී ළතෝනි නැඟූ බලුපැටවාගේ අසරණකමයි.
මේ ඛේදජනක කෙටිකතාවේ නිමාව ද අතිශයින් උත්ප්‍රාසාත්මක ය.
සිනාසෙන්නට මෙන් ම හඬන්නට ද අවකාශයක් විවර කර දෙන කෙටිකතා 10කින් සමන්විත මේ අපූරු කෘතියේ නවතම දෙවන මුද්‍රණය ප්‍රකාශයට පත්ව ඇත්තේ සේරි ප්‍රකාශනයක් ලෙස ය.
කැත්ලීන් ජයවර්ධන