කාලය සමහරවිට 1998 හෝ 1999 විය හැකිය. මම මගේ පා පැදියෙන් විවෘත විශ්වවිද්‍යාලයට යාබද කොළඹගේ මාවත ඔස්සේ නාවල පාර දෙසට ගමන් කරමින් සිටියෙමි. කොළඹගේ මාවත නාවල පාරට වැටෙන මංසන්ධියේ විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පස කෙටි තාප්පය උඩ තරුණයෝ කිහිප දෙනකු වාඩි වී කතා කරමින් සිටියහ. එක් අයකු අනුර කුමාර දිසානායක බව මම හැඳින ගත්තෙමි.
ඊට පෙර අප දෙදෙනා එකිනෙකා මුහුණට මුහුණ අභිමුඛ වී නොතිබුණත්, අප දෙදෙනාම එකිනෙකා හඳුනාගෙන කතාවට වැටිණි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරවේ දේශපාලනය තුළට ශීඝ්‍රයෙන් අවතීර්ණ වෙමින් තිබීම එකල මගේ දේශපාලන මෙන්ම ශාස්ත්‍රීය උනන්දුව ද වඩවා තිබූ මාතෘකාවක් විය. ඒ වගේම මා එකල කටයුතු කළ එක්ස් කණ්ඩායම තුළ ද ජවිපෙ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ තහවුරු වීම පිළිබඳ සාකච්ඡාවක් පැවතුණි. මට අනුර කුමාර දිසානායක මුණ ගැසෙන්නේ මේ පසුබිම තුළය.
ඔහු ඒ අවස්ථාවේ පෙනී සිටි ආකාරය මට හොඳින් මතක තිබේ. ඔහු ඇඳ සිටියේ මන්ත්‍රීවරුන් අඳින වර්ගයේ කමීසයකි. ඒ එවකට ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ නිසාය. සමහරවිට ඔහු පළාත් සභාවේ රැස්වීමකට සහභාගී වී පැමිණියා විය හැකිය. ඒ ඇඳුමත් සමඟ බුලත් විටක් සපමින් මහපාර අයිනේ තාප්පයේ වාඩි වී සිටීම කිසියම් නොගැළපෙන එකතුවක් මෙන් පෙනෙන්නට තිබිණි. මේ නොගැළපෙන සුලු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙමින් තිබූ ආකාරයේ සංකේතයක් මෙන් යැයි කිව හැකිය. සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ තන්ත්රයට පිටතින් පැමිණ තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කරන තරුණයකු මන්ත්‍රී ඇඳුමකින් සැරසී පාර අයිනේ තාප්පයක් උඩ වාඩිවී සිටියේය. මේ තරුණයා ඊට දශක දෙකහමාරකට පසු රටේ ජනාධිපතිවරයා බවට පත්වීම අපූරු සංසිද්ධියකි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීම ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බව නිසැකය. මීට පෙර මේ තනතුරට පත් වූ රණසිංහ ප්‍රේමදාස හා මෛත්‍රීපාල සිරිසේන ද සම්ප්‍රදායික ප්‍රභූ තන්ත්රයට පිටතින් පැමිණි අය වුවද ඔවුන් ඒ තනතුරුවලට පත්වූයේ පැවැති ප්‍රභූ සංස්ථාපිතය අභියෝගයට ලක් කරමින් නොවේ. නමුත් අනුර කුමාර දිසානායකගේ පත් වීම ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු නායකත්වය දැරූ දේශපාලන ව්‍යාපාරය ලංකාවේ ස්ථාපිත දේශපාලන ප්‍රභූ තන්ත්රයට පිටතින් මතු වූ දේශපාලන ව්‍යාපාරයක් විය. එහි ක්‍රියාධරයන් මෙන්ම නායකයන් ද නිර්මාණය වූයේ මේ නිර්ප්‍රභූ සමාජ පසුබිමින්මය. මේ තත්ත්වය අපට කිසියම් ආකාරයකට පැරණි වාමාංශික දේශපාලනයේ සමාජයීය අඩංගුව සමඟ සංසන්දනය කොට සලකා බැලීමට පුළුවන.
පැරණි වාමාංශික පක්ෂ විසින් සමාජ ධුරාවලියේ පහළ සිටි ජනකොටස් හී විමුක්තිවාදී සමාජ දේශපාලන අභිලාෂ නියෝජනය කරනු ලැබූ නමුත් එම පක්ෂවල නායකත්වය පැමිණියේ ප්‍රභූ සමාජ පසුබිමකිනි. මීට වෙනස් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පැමිණියේ සමාජයේ පහළ සමාජ පන්ති පසුබිම්වලිනි. එපමණක් නොව අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත් වීම එම පක්ෂයේ අභ්‍යන්තරයේ සමාජ සංයුතියේ විවිධත්වය දෙස බලන විට ද කැපී පෙනෙන සංසිද්ධියකි. අනුර දිසානායක අයත් වූයේ 1989 අගදී ජවිපෙ සන්නද්ධ නැඟිටීම පරාජය වීම සහ එහි නායකත්ව ශ්‍රේණි කීපයක්ම රාජ්‍ය මර්දන යන්ත්‍රය විසින් ඝාතනය කිරීමෙන් පසු මතු වූ තරුණ දේශපාලන ක්‍රියාධර පරම්පරාවකටය. මේ තරුණ ක්‍රියාධර ශ්‍රේණිය සමාජයීය වශයෙන් පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකත්ව පෙළ පැමිණි සමාජ පසුබිමටත් වඩා පහළ පන්තියකින් බව කිව හැකිය. මේ අය බොහෝ දෙනෙක් 1989 මර්දනයෙන් යාන්තමින් ගැලවුණු තරුණයෝ වූහ.
අනුර කුමාර දිසානායකගේ දේශපාලන චරිතාපදානය වනාහී 1989 මර්දනයෙන් පසු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැංවීම සඳහා දරනු ලැබූ ප්රයත්නයත් සමඟ එහි ආරම්භක අවස්ථාවේ සිට කේන්ද්‍රීය ලෙස සම්බන්ධ වූ එකකි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය මෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කළේය.
ජවිපෙ ඉතිහාසයේ මෙම නව අවධිය සම්බන්ධයෙන් ශිෂ්‍ය දේශපාලනයේ තීරණාත්මක වැදගත්කම තේරුම් ගැනීමට බෙහෙවින්ම ඉවහල්වන සංසිද්ධියක් වන්නේ 1990ට පෙර යුගය හා ඊට පසු යුගය තුළ ජවිපෙ වෙත නව සාමාජිකයන් ආකර්ෂණය වීම සම්බන්ධයෙන් පැවැති වැදගත් වෙනස්කමයි.
1990 දශකයේ මුල් වර්ෂවල විශ්වවිද්‍යාල වෙත පැමිණි උපාධි අපේක්ෂකයන් තවමත් 1987-89 සන්නද්ධ නැඟිටීම අත්දැක තිබූ, සමහරවිට ඒ සමඟ යම් තරමක සම්බන්ධකම් තිබූ පිරිසක් විය. විශ්වවිද්‍යාලවලට පිටතින් සිටි තරුණ පිරිස්වලට වඩා මේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් තුළ රැඩිකල් දේශපාලනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබුණි. අනුර කුමාර දිසානායකගේ දේශපාලන චරිතාපදානයේ ආරම්භය සිදු වන්නේ ජවිපෙහී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරකම් හී මූලිකත්වයක් දැරූ ක්‍රියාධරයකු ලෙසටය. ඔහු ඉක්මනින්ම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්රමුඛ පෙළේ ක්‍රියාධරයෙක් ලෙස මතු විය.
1990 දශකයේ මුල්භාගය තුළ ජවිපෙ හී ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් බෙහෙවින් සීමිත ක්ෂේත්‍ර කීපයකට සීමා විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් ඉන් වැදගත් ක්ෂේත්රයකි. විශේෂයෙන්ම ආරක්ෂක අංශ මඟින් ජවිපෙ කටයුතු තියුණු ලෙස නිරීක්ෂණය කරමින් සිටීම නිසා ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් හී නිරත වීම දුෂ්කර විය.
එවැනි තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට ආරක්ෂිත ක්ෂේම භූමියක් විය. කෙසේ වෙතත් 1990 දශකයේ දෙවැනි භාගයේ දී තත්ත්වය සෑහෙන තරමකට වෙනස් විය. විශේෂයෙන්ම 1994දී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් වූ පොදුජන එක්සත් පෙරමුණ සමඟ ඇති කරගනු ලැබූ එකඟතාව ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධ දේශපාලනය වෙත නැවත පැමිණීමට ආරක්ෂිත පැකේජයක් සකස් කර දුන්නේය. මෙය පශ්චාත් 1989 ජවිපෙ ප්රතිසංවිධානයේ නව අදියරක ආරම්භය විය.
සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි ඇති වී තිබූ ජනතා කලකිරීම ජවිපෙ විසින් අතිශය ප්‍රතිඵලදායක ලෙස භාවිත කරනු ලැබීය. මෙහිදී ජවිපෙ සතුව පැවැති ඉතා වැදගත් සම්පතක් වූයේ නව තරුණ දේශපාලන ක්‍රියාධරයන් පෙළක් නිර්මාණය වී තිබීමය. 1990 දශකයේ දෙවැනි භාගයේ ජවිපෙ හී මැතිවරණ දේශපාලන සම්ප්‍රාප්තිය තුළ මේ තරුණ ක්‍රියාධරයන්ගේ මැදිහත් වීම වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. අනුර කුමාර දිසානායක මෙම තරුණ කණ්ඩායමේ වැදගත් සාමාජිකයකු විය. මුලින් පළාත් සභාවටද, පසුව වසර 2000දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ද ඔහු තේරී පත් විය.
21 වැනි ශතවර්ෂයේ මුල් දශකය ජවිපෙ දේශපාලනය තීරණාත්මක පරීක්ෂාවකට ලක් කෙරුණු වකවානුවක් විය. පාර්ලිමේන්තු නියෝජනය සැලකිය යුතු ලෙස වර්ධනය වීම, පොදුජන එක්සත් පෙරමුණ සමඟ එක්ව “පරිවාස ආණ්ඩුව” ලෙස නම් කෙරුණ ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටු වීම, පසුව 2004 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයක් ඇති කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රීවරු 39කගෙන් යුතු විශාල පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම මෙහිලා අතිශයින් වැදගත්ය. මේ අවධියේ තීරණාත්මක අවසානය සලකුණු කෙරුණේ 2009 වර්ෂයේදී හා 2012 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ තුළ අභ්‍යන්තර දේශපාලන පිපිරීම් දෙකක් සිදුවීම මඟිනි. මේ අභ්‍යන්තර පිපිරීම් දෙක ජනාතා විමුක්ති පෙරමුණ තුළ අනුර කුමාර දිසානායකගේ නැඟීම නිර්වචනය කළ ප්රමුඛ සිදුවීම් දෙකක් විය.
පළමු ඛණ්ඩනයේදී එවකට ජවිපෙ හී පොදුජන දේශපාලනය තුළ බෙහෙවින්ම ජනප්‍රිය තරුණ නායකයෙක් ලෙස මතු වී සිටි විමල් වීරවංශ තවත් පිරිසක් සමඟ පක්ෂයෙන් ඉවත් විය. දෙවැනි ඛණ්ඩනයේදී පක්ෂය තුළ සිටි පැරණි රැඩිකල් වාමාංශික දේශපාලන දැක්ම නියෝජනය කළ ප්‍රබල කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත් විය. පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ පෙළේ නායක කාර්යභාරයක් ඉෂ්ට කළ කුමාර් ගුණරත්නම් මේ විසම්මුතික කණ්ඩායමේ නායකත්වය හෙබවීය.
පළමු ඛණ්ඩනය මඟින් සලකුණු කෙරුණේ මේ වකවානුවේ ජවිපෙ දේශපාලනයේ මූලික සංඝඨකයක් වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී බලවේගය සමඟ පැවැති සන්ධානය බිඳී යෑමය.
දෙවැනි ඛණ්ඩනය සැලකිය හැක්කේ ජවිපෙ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ රැඩිකල් අරටුවේ බිඳී යෑමක් ලෙසටය. ජවිපෙ අභ්‍යන්තර කාඩරයේ අතිවිශාල පිරිසක් මේ විසම්මුතික කණ්ඩාම සමඟ පක්ෂයෙන් ඉවත් විය.
2014 වර්ෂයේදී අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වන්නේ මෙම තීරණාත්මක ඛණ්ඩනයන් දෙක නිසා සැලකිය යුතු ලෙස දුර්වල වී, එමෙන්ම 2010 මැතිවරණයේ දී සරත් ෆොන්සේකා සමඟ සන්ධානගත වී සිදු කරනු ලැබූ මැතිවරණ අත්හදා බැලීම ද අසාර්ථක වී පක්ෂයේ පොදු ජන පදනම මෙන්ම අභ්‍යන්තර යන්ත්‍රණය ද සැලකිය යුතු අභියෝගයකට ලක් වී තිබියදීය. මෙහිදී නිරීක්ෂණය කළ යුතු ඉතා වැදගත් සංසිද්ධියක් වන්නේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වීම මහින්ද රාජපක්ෂ පාලන තන්ත්රයේ ජනප්‍රියත්වය හීනවීමත් සමඟ සමාන්තර වීමය. ජාතික මට්ටමේ දේශපාලන නායකයෙක් ලෙස අනුර කුමාර දිසානායකගේ නැඟීමේ ආරම්භය සිදු වන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය සඳහා වූ ප්රචාරක ව්‍යාපාරය සමඟය. මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ එම ජනාධිපතිවරණයේදී තමා ඍජු ලෙස සිරිසේනට සහාය දෙන බව ප්‍රකාශ නොකළත් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජවිපෙ වේදිකාව මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්රමුඛ සාධකයක් බවට පත් විය.
එතැන් සිට 2020 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පැවැති මැතිවරණ කිහිපයම ජවිපෙට වාසිදායක ඒවා වූයේ නැත. ඒවායේ ප්‍රතිඵල ජවිපෙ අපේක්ෂා කළ මට්ටමට වඩා බෙහෙවින් පහළ මට්ටමේ ඒවා විය. කෙසේ වෙතත් මේ යුගය තුළ කැපී පෙනන ලක්ෂණය වූයේ ජාතික මට්ටමේ ප්රමුඛ දේශපාලන භූමිකාකරුවකු ලෙස අනුර කුමාර දිසානායකගේ ජනප්‍රිය දේශපාලන ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් වර්ධනය වීමය. සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ගේ යුගය ක්‍රම ක්‍රමයෙන් අහෝසි වෙමින් පැවැතියද අනුර කුමාර දිසානායකගේ මෙම නැඟීම අතිශයින් බලපෑම් සහගත එකක් වූ බව කිව හැකිය.
2022දී සිදු වූ තීරණාත්මක ජනතා නැඟිටීම තුළ ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කිරීමත් සමඟ නිර්මාණය වූ තියුණු දේශපාලන හිඩැස තුළ අනුර කුමාර දිසානායක වඩාත් ආකර්ෂණීය දේශපාලන නායකයා ලෙස මතු විය.
ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන නායකයකු ලෙස තහවුරු වීම සඳහා පොදු ජනයාගේ දේශපාලන පරිකල්පනය තුළට නායකත්ව පෞරුෂයක් ලෙසට තීව්ර ලෙස ඇතුළු වීම අවශ්‍ය වේ. මේ තත්ත්වය අපට අනුර කුමාර දිසානායකගේ දේශපාලන නැඟීම සිදුවන අවධිය තුළ ලංකාවේ පොදුජන දේශපාලන විඥානය තුළ ආධිපත්‍යය දැරූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය නිරීක්ෂණය කිරීමෙන් තේරුම්ගත හැකිය. ඇත්ත වශයෙන්ම, මේ සංදර්භය තුළ අභියෝගාත්මක වූයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය සමඟ තරග කළ හැකි දේශපාලන පෞරුෂයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ පරිවාරය නියෝජනය කරන, එමෙන්ම පොදු ජන දේශපාලන කතිකාව තුළ ‘විපක්ෂ දේශපාලනයට ගැළපුනත් රට පාලනය කිරීමට උචිත නොවේය’ වැනි ආකල්පයක් අධිපති දේශපාලන කතිකාව විසින් ස්ථාපිත කෙරී තිබෙන තත්වයක් තුළ පොදු ජනයාට ආකර්ෂණීය එවැනි නායකත්ව පෞරුෂයක් නිර්මාණය කරගැනීම පහසු එකක් වූයේ නැත. මෙහිදී ඔහුට පාර්ශ්ව තුනකින් එල්ල වූ අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය.
පළමුවැන්න, විශේෂයෙන්ම ජවිපෙ හි 1990ට පෙර ඉතිහාසය පිළිබඳ පොදු ජන මතකයට ආමන්ත්‍රණය කරමින් ජවිපෙ යනු ප්රචණ්ඩ දේශපාලන සංස්කෘතියක් දරා සිටින, යල්පැනගිය මාක්ස්වාදී දැක්මක් සහිත සංවිධානයක්ය යන විවේචනයයි. මෙම විවේචනය විශේෂයෙන්ම ලංකාවේ ප්‍රභූ සමාජයට හා ව්‍යාපාරික තන්ත්රයට ආකර්ෂණීය විය. දේශපාලන ව්‍යවහාරයේ තිබෙන භාෂාවෙන් කියනවා නම් මේ විවේචනය අන්ත දක්ෂිණාංශයෙන් පැමිණි විවේචනයක් ලෙස සලකන්නේ නම්, අන්ත වාමාංශයෙන් පැමිණි විවේචනය වූයේ මෙහි අනෙක් අන්තයයි.
ආන්තික වාමාංශිකයන් අනුර කුමාර දිසානායකට ගෙන ආ දෙවැනි විවේචනය වූයේ ඔහු වාමාංශික පරමාදර්ශ පාවා දී ඇත යන්නය.
තුන්වැනි විවේචනය පැමිණියේ සිංහල-බෞද්ධ ජාතිකවාදී පාර්ශ්වයෙනි. ඔවුන්ගේ විවේචනයෙන් කියැවුනේ අනුර කුමාර දිසානායක විසින් ජනතා විමුක්ති පෙරමුණ සිංහල-බෞද්ධයාට සතුරු දේශපාලන කණ්ඩායමක් බවට පත් කර ඇත්තේය යන්නය.
පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය දෙස බැලූ විට අනුර කුමාර දිසානායකට ජනතාව වෙත යෑමට සිදු වූයේ මේ විවේචක කේන්ද්‍ර තුනෙන්ම පැමිණි නොනවතින ප්‍රහාර මධ්‍යයේය. ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායකගේ විශාලතම ජයග්‍රහණය වන්නේ මේ විවේචන කේන්ද්‍ර තුනටම සාර්ථකව මුහුණ දෙමින් පොදු ජනයාට ආකර්ෂණීය දේශපාලන නායකත්වයක් ලෙස මතු වීමට ඔහුට හැකියාව ලැබීමය.