ඉකුත් රජය විසින් සම්මත කරන ලද “2024 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනතෙහි ඇතුළත් රෙගුලාසි යටතේ මෙරට රාජ්‍ය නිලධාරියකු ප්‍රථම වරට ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, අධිකරණ නියෝගයක් අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනාවට ලක්වී සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ය.
මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් නව ඊ වීසා ක්‍රමය වෙනුවට පෙර පැවති වීසා ලබා දීමේ ක්‍රමය අනුගමනය කරන ලෙස ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් “2024 අධිකරණයට අපහාස කිරීමේ පනතේ” 9(7)(අ) වගන්තිය ප්‍රකාරව නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
මෙරටට පැමිණෙන විදේශිකයන් හට නව ඊ වීසා නිකුත් කිරීම ආරම්භ කරන ලද්දේ ඉකුත් අප්‍රේල් මස 14 වැනිදාය. එම සේවා සැපයීම විදේශීය සමාගම් දෙකට ලබා දීමට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබාගෙන තිබිණි. වීසා ලබා දීමේ සේවාව එතෙක් සිදු කළ මොබිටෙල් ආයතනයෙන් එය ඉවත් කර එම නව විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශීය සමාගම් දෙකකට ලබා දීම මඟින් රජයට විශාල ආදායමක් අහිමි වන බවට පැමිණිලි කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඇතුළු පාර්ශ්ව හතක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූයේ ඉන් අනතුරුවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, අදාළ විදේශීය සමාගම් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි. මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉලෙක්ට්‍රොනික වීසා සැපයීමේ ක්‍රියාවලිය වී. එස්. එෆ්. පෞද්ගලික සමාගමට ලබා දීමේ කටයුතුවලදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බව කියා සිටියේය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු වෙනත් පාර්ශ්ව අතට පත් වීමේ අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම සේවාවන් සපයා ගැනීම සඳහා රජය විසින් තෝරාගෙන තිබෙන බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් විදේශීය සමාගම් ව්‍යාජ ඒවා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතිඥ රවුෆ් හකීම් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවලියක් බවත් මෙය ක්‍රියාත්මක වුවහොත් රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පාඩුවක් සිදු වන බවත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිය පෙත්සම මඟින් සඳහන් කළේ බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාව ඉන් ගොඩ ඒමට උත්සාහ දරමින් සිටින අවස්ථාවකදී රාජ්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන බවය. එසේ තිබියදීත් තරගකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම විදේශීය සමාගම් තෝරාගැනීම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් ද ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළහ. ඒ අනුව විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් එහිදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. අදාළ සමාගම් සමඟ 2023 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල අදාළ ගිවිසුම මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පැවති තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එහිදී නියෝග කළේය.
එසේ වුවද අදාළ අධිකරණ නියෝගය අනුව ආගමන විගමන පාලකවරයා කටයුතු කර නොමැති බවට පැමිණිලි කරමින් මොබිටෙල් ආයතනය විසින් ගොනුකර තිබූ මෝසමක් අනුව ඉකුත් සැප්තැම්බර් මස 13 වැනිදා අදාළ පෙත්සම් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. එහිදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන සඳහන් කළේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් එම අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මෝසමක් ආගමන හා විගමන පාලකවරයා ඉදිරිපත් කර ඇති බවද ඇය සඳහන් කළාය. ජාතික ආර්ථිකය හා සම්බන්ධ කරුණක් වන මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීමට ආගමන විගමන පාලකවරයාට නොහැකි බවට විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන එහිදී සඳහන් කළේය. මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු කිරීම ආගමන හා විගමන පාලකවරයාගේ වගකීම බවය.
පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් එහිදී සඳහන් කළේ මෙම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු කිරීමට මොබිටෙල් ආයතනය සූදානම් යැයි ලිඛිතව දැනුම් දී තිබුණද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුකූලව කටයුතු කර නොමැති බවය. කලින් පැවැති ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මොබිටෙල් ආයතනය එකඟතාව පළ කළ ද ආගමන හා විගමන පාලකවරයා ඊට අනුමැතිය දී නැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් වගඋත්තරකරු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නියෝගය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇති බවත් සංචාරකයන් මෙරටට පැමිණීම අධෛර්යමත් කිරීමට එය හේතු වී ඇති බව ද පෙන්වා දුන්නේය. විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ නිසා බිලියන 3.8 ක් අයුතු ලෙස උපයාගෙන ඇති බවත් මෙවැනි අයුතු ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට දැඩි කැලලක් සිදුවන බවත් සඳහන් කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ආගමන හා විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළද ඔහු විදේශගත වී සිටින බව පසුව අනාවරණය විය. ඒ වෙනුවට වැඩබලන ආගමන හා විගමන පාලකවරිය සහ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් යන අය එදින පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් එහිදී සාක්ෂි ලබා දුන්නේය. මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමා දැනුවත්ව සිටියද එය ක්‍රියාත්මක කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාගෙන් උපදෙස් නොලැබුණු බැවින් කලින් පැවැති ආකාරයට විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට නොහැකි වූ බව ඔහු පැවැසීය. එම සාක්ෂි විමසීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාට එරෙහිව පියවර ගැනීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කරමින් නොතිසි නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
මෙම පෙත්සම් ඉකුත් 25 වැනිදා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආගමන හා විගමන පාලකවරයා අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටි අතර, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් විවෘත අධිකරණයේදී කියවා දෙන ලදි. එම චෝදනාවලට තමා නිවැරදිකරු බවට විත්තිකරු සඳහන් කළේය. එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අධිකරණ ශාලාව තුළට කැඳවූ විනිසුරු මඬුල්ල නඩුව අවසන් වන තෙක් විත්තිකාර ආගමන හා විගමන පාලකවරයා බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබා ගන්නා ලෙස නියෝග කළේය. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆායිස් මුස්තාපා සහ ෆයිසා මුස්තාපා මාකාර් සඳහන් කළේ රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා ආගමන හා විගමන පාලකවරයා විදේශගතව සිටි බැවින් නියෝගය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් ඇතිවූ බැවින් ඒ පිළිබඳ කරුණු දක්වමින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ බවය.
එහෙත් අදාළ නියෝගය අනුව කටයුතු කිරීම සඳහා මාසයක කාලයක් ප්‍රමාණවත් බව මීට පෙර එම වීසා නිකුත් කිරීමේ සේවාව ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කළ මොබිටෙල් ආයතනය විසින් දැනුම් දී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි එහිදී පෙන්වා දුන්නේය. මෙම අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබූයේ මෙරට ඉහළම අධිකරණය විසින් වන බව මතක තබා ගත යුතු බවත් ඒ එම නියෝග නොසලකා හැරීමට කිසිවකුට නොහැකි බවත් විනිසුරුවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
පෙත්සම්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් එහිදී පැවැසුවේ අදාළ නියෝගය පැය 24කදී ක්‍රියාත්මක කළ හැකි බවට මොබිටෙල් ආයතනය ලිඛිත දැනුම් දීමක් කර ඇති නමුත් ඒ ලිපිය පිළිබඳ කරුණු වසන් කරමින් අදාළ නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බවට වන මෝසමක් ඊට පසුදින ආගමන හා විගමන පාලකවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. 2024 අංක දරන අධිකරණයට අපහාස කිරීමේ පනතේ 9 වැනි වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කරන තෙක් අදාළ චෝදනා එල්ල වන විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කළ හැකි බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය. මෙරට ඉහළම අධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දු නොසලකා හැර කටයුතු කිරීම කිසිසේත් සුළු කොට තැකිය යුතු නැති බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කළේ අදාළ නියෝගය පැය හතළිස් අටකදී ක්‍රියාත්මක කළ හැකි බවය. අනතුරුව ඇය සඳහන් කළේ ඒ සඳහා මාසයක කාලයක් ප්‍රමාණවත් බවය. අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විත්තිකරුගේ ස්ථාවරය වරින් වර වෙනස් වීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු විය.
මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති බව එහිදී පෙන්වා දුන් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන එම කාලය තුළම විත්තිකාර ආගමන හා විගමන පාලකවරයා කුමක් සිදු කළේ දැයි ප්‍රශ්න කළේය. එහිදී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ විත්තිකරු අදාළ අතුරු නියෝගය අනුව කටයුතු කිරීමට නොහැකි බවට මෝසමක් මඟින් දැනුම් දී නව විද්‍යුත් වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා සහභාගි වී ඇති බවය. ඒ අනුව අදාළ අධිකරණය නියෝගය අනුව කටයුතු කිරීමට ඔහු කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව පෙනී යන බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ බව සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය පාලකවරයාගේ සාක්ෂිවලින් තහවුරු වන බවද සඳහන් කළේය. මෙහිදී පෙත්සම්කාර නීතිඥ රවුෆ් හකීම් සඳහන් කළේ නව වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස උනන්දු වී ඇති විත්තිකරු අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවය.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් අධිකරණ ශාලාවේ ඉදිරියට කැඳවූ විනිසුරු මඬුල්ල අදාළ අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය. පෙත්සම් ලබන වසරේ ජනවාරි 22 වැනිදා නැවත කැඳවීමට නියම කළේය.
මෙම පෙත්සම් විභාගයෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි බොහෝ පිරිස් ප්‍රකාශ කළේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත හෝ වෙනත් බලපෑම් මත අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන්ට කදිම පාඩමක් වනු ඇති බවය. මෙම සිද්ධිය මඟින් අවධානයට ගත යුතු කරුණක් වන්නේ අධිකරණ නියෝග අනුව කටයුතු නොකිරීම හෝ වෙනත් ආකාරයකින් අධිකරණයට අපහාස වන ආකාරයේ කටයුතු කිරීම ඉතා බරපතළ කරුණක් බවය. ඒ, නව පනත අනුව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ඉදිරිපත් වූ අවස්ථාවක අදාළ විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත්වීමට ඇති හැකියාව නිසාය. සුවිශේෂී කරුණු මත ඇප ලබා දීම නොකරන අවස්ථාවකදී නඩු විභාගය අවසන් වීමට කොපමණ කාලයක් ගත වුවද ඒ කාලය පුරා බන්ධනාගාරගතවී සිටීමට අදාළ විත්තිකරුට සිදු වේ. අදාළ චෝදනාවලට යම් විත්තිකරුවකු නිවැරදිකරුවකු වුවද ඒ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවන්නේ බන්ධනාගාරගතව සිටිමින් බව ද සිහි තබා ගත යුතුය. මේ සියලු කරුණුවලින් අවධාරණය වන්නේ සියලුම රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු පුරවැසියන් නීතිගරුකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවය.
වීසා යළිත් පැරැණි ක්‍රමයට
අධිකරණ තීන්දුව අනුව පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට විදේශිකයින්ට වීසා ලබා දීමට කටයුතු යෙදීමට මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පියවර ගත්තේය.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉතා පහසුවෙන් වීසා අයදුම් කිරීමට විදේශිකයින් අවස්ථාව සැලසෙන අතර අයදුම් කර පැය 24ක් තුළදී වීසා ලබා දීම සිදු කෙරේ. වීසා නිකුත් කිරීම VFS ආයතනයට ලබා දීම මඟින් සිදු වූ අක්රමිකතාව පිළිබඳ වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබේ. සිදු වී ඇති අක්රමිකතාවට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතය.
නෙල්කා මැදගෙදර