– සර් ආයුබෝවන් කියල කිව්ව හැටි අදත් මතකයි
– පාසලේ කැපී පෙනෙන දරුවන් කිහිපදෙනාගෙන් එක් කෙනෙක් තමයි අනුර කුමාර
– කියන දේ කරයි කියන විශ්වායක් ජනතාව තුළ තිබ්බා. ඡන්දේ කාලෙට විතරක් හිනාවෙන මුහුණු දැකලා මිනිස්සුන්ට ඇතිවෙලයි තිබුණේ
“නුඹට මඩ ගෑ බොහෝ උන් හට
හිනාවක් හෙට මවාපන්
වහල් බව කොතරම් නිවටදැයි
ලොවට හඬ ගා කියාපන්
බිදුණු හිත් ඇති මිනිස් සිතුවිලි
නැවති නැවතී අසාපන්
පරණ හිරු ළඟ අලුත් දවසක්
රැගෙන සෙනෙහස බෙදාපන් …”
ඒ තඹුත්තේගම නගර මධ්‍යයේ එල්ලා තිබූ දැවැන්ත බැනරයක ලියා තිබූ වදන් පෙළකි.
දැඩි බාධා පීඩා මැද ආ ගමනක අවසානය මෙරට ප්‍රධාන පුරවැසියා වීම බව ඒ ගමේ කිසිවකුත් මීට වසර කිහිපයකට පෙර නම් නොසිතන්නට ඇත.
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක නම් ඔහු මෙරට විශාල විප්ලවයක් කළේ මෙරට පාරම්පරික මෙන්ම ධනවාදී ලෙස ජනතාව අතර මතවාදයන් ලෙස ගොඩ නැඟී තිබූ සියලු පක්ෂයන් අබිබවා යමින් ජනමතය ජය ගැනීමෙනි.
අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික් දෙමායිමේ පිහිටි ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ දී 1968 නොවැම්බර් මස 24 වැනිදා අනුර කුමාර දිසානායක උපත ලැබුවේ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළාගේ පවුලේ දෙවැනි දරුවා ලෙසය. කලක් අනුරාධපුරයේ, කලාවැවට යාබද පළාගල ප්‍රදේශයේ ළමා දිවියේ මුල් වසර කිහිපය ගතකොට ඇති අනුර ප්‍රකට තඹුත්තේගම, නල්ලච්චිය ගම්මැද්දට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.
අනුර මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ එකල තඹුත්තේගම ගාමිණි විද්‍යාලය නමින් හැඳින්වූ වර්තමානයේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයටය. ගාමිණී විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන අනුර කුමාර සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත් වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය. අනුර කුමාර විසින් ගාමිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලත් අවදියෙහි එහි විද්‍යා ගුරුවරයා ලෙස කටයුතු කළේ ජී.එම්. අමරසූරිය ගුරු පියාණන්ය. ඔහු මේ වන විට තඹුත්තේගම ගම්මැද්දට ගමෙහි විශ්‍රාම සුවයෙන් කල්ගෙවන්නේය. අමරසූරිය ගුරුතුමා දරුවන්ට අකුරු කියාදුන් ගාමිණි විද්‍යාලයේ දී හමුවූ සිසුවෙකු වන අනුර රටේ පළමු පුරවැසියා වීම පිළිබඳ මේ ඔහුට ඇත්තේ නිම්හිම් නැති සතුටකි.
“මට මගේ දරුවෙක් රටේ ජනාධිපති වුණා වගේ; ඔහු කතාවට මුලපිරුවේය. මට දැනෙන සතුට කියන්න වචන නැහැ. ඒතරම් සතුටක් දැනෙන්නේ. කොට කලිසම ඇඳගෙන ඇවිත් අත් දෙකම එකතු කරලා ‘සර් ආයුබෝවන්‘ කියලා කිව්ව හැටි අදත් හොඳින්ම මතකයි. දැකපු තැන ගුරු ගෞරවය රැකපු ශිෂ්‍යයෙක්. මම ඒ කාලෙ ගාමිණි විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා විදිහට සේවය කළා. අනුර කුමාර ඒ කාලේ මගෙන් විද්‍යාව ඉගෙන 1984 අවුරුද්දෙ ඉදලා. 6 පන්තියේ ඉඳලා අනුරලා තමයි ගාමිණි විද්‍යාලෙන් අවසානෙට සාමාන්‍ය පෙළ විභාගේ ලියපු ළමයි කට්ටිය වුණේ. ඒ ගොල්ලෝ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලේ මුලින්ම උසස් පෙළ පටන් ගන්න කොට හිටපු ළමයි කට්ටිය වුණෙත්. ඒ අයගෙන් දෙන්නෙක් තමයි මුලින්ම විශ්වවිද්‍යාලෙට ගියේ. එක්කෙනෙක් අනුර. ඒ කාලේ ඉඳන්ම අනුර ඉගෙන ගන්න හරිම දක්ෂයි. කොයි වෙලාවකවත් නිකං ඉන්නෙ නෑ මොනව ගැන හරි ප්‍රශ්න කරනවා. තර්ක කරනවා. ගණිත අංශයෙන් තඹුත්තේගම ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයට ගියපු පළමුවැනි දරුවා තමයි අනුර. මං උගන්වපු දරුවෙක් අද මේ ඉන්න තත්ත්වේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.”
අමරසූරිය ගුරුතුමා අනුර කුමාරගේ පාසල් ජීවිතයේ මතකයන් අවදි කළේය.
‘‘මගේ බිරිඳ ඒ කියන්නෙ රාණි හේවා විතාරණත් පාසල් ගුරුවරියක් ලෙස සේවය කළා. අපි තඹුත්තේගම ගාමිණී විද්‍යාලයට සේවය කිරීම පිණිස ආවේ 1976 වර්ෂයේදී. අනුර කුමාර දරුවාට ප්‍රාථමික ශ්‍රේණිවල සිට ම මාගේ බිරිඳ උගන්වලා තියෙනවා.
පාසලේ කැපී පෙනෙන දරුවන් කිහිපදෙනාගෙන් එක් කෙනෙක් තමයි අනුර කුමාර කියන්නෙ. එයා සාහිත්‍ය සංගමය ඇතුළු තවත් සංගම් කීපයකම වගකීම් කරට අරගෙන කටයුතු කළා. ඒ වගේම පාසලේ ක්‍රීඩා සහ පොදු කටයුතුවලදිත් උනන්දුවෙන් කටයුතු කරපු ශිෂ්‍යයෙක් අනුර කියන්නෙ. පොතේ විතරක් ඇහැගහගෙන නොහිටපු නිතරම අනෙක් අය ගැන හිතපු දරුවෙක් තමයි අද මේ රටේ මුල් පුටුවට ඇවිත් තියෙන්නෙ. එදා ඉඳලා අනුන් ගැන හිතන අනෙක් අයගේ දුක වේදනාව මේ දරුවට තේරුණා.
ඒ වගේම තමයි එයාට අයුක්තිය අසාධාරණයට වගේම බොරුවට ඔහු එරෙහි වෙනවා. මේ අද පැමිණ තිබෙන නායකත්වයේ ලක්ෂණ එදා එයා තුළ තිබුණා. පසුකාලීනව අධ්‍යාපන ධවල පත්‍රිකාවට පවා එරෙහිව ඔහු කටයුතු කළා.
ඒ වගේම තමයි 1987 වසරේදී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරපු බවත් මම දන්නවා. එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැඟීමට දායක වෙලා කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපතිධුරයත් ද හොබවපු බව මම දන්නවා. ආගම දහමට කළ යුතු ගරුත්වයත් නිසි ලෙසින් කරපු මේ දරුවා රට වෙනුවෙන් උපරිම කැපවීම් කරාවි. මගේ ඇස් දෙක පින් කරලා තිබුණා ඒ දරුවා රටේ පළමු පුරවැසියා ලෙස දකින්න.
ඉන් පසුව අපි ගොඩවැදුණේ නල්ලච්චිය ගම්මැද්දේ හි ජීවත්වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩිමහල් සොහොයුරියගේ නිෙවසට ඇය නමින් ශ්‍රියාලතා දිසානායකය. අනුර කුමාර වත්මන් ජනපතිගේ ළමා දිවිය ගත කළ නල්ලච්චිය ගම්මැද්දේ පදිංචි ඇය තම සොහොයුරාගේ ළමා කාලය අවදි කළාය.
“මල්ලී පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න හරිම දක්ෂයි. ක්‍රීඩාවන්ටත් එහෙමයි. විශේෂයෙන්ම පිහිනුම්වලට කැමැති වගේම හරිම දක්ෂයි. නල්ලච්චිය වැවට ඒ කාලේ යාළුවෝ කට්ටිය එක්ක නාන්න යනවා.
මල්ලි පොඩි කාලේ අපේ ගේ ඉස්සරහ අරලියා ගහක් තිබුණා. ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා මට මතකයි ඔය අරලිය ගහට නැඟලා පොත් පාඩම් කරනවා. මම නිතරම කියනවා අරලියා අතු හයිය නෑ කඩාගෙන වැටෙයි කියලා. ඒත් එයා එහෙම පාඩම් කරන එක අත්හැරියෙ නෑ.
ඒ වගේම එයා කෑම කන ගමන් මේසෙ උඩ තියාගෙන පොතක් හරි පත්තර කෑල්ලක් හරි කියවන එක එයාගේ පුරුද්දක් වෙලා තිබුණා. කියවීම එයාට බොහෝ දේවල් ලබා දුන්න කියලයි මට හිතෙන්නෙ.
උත්සාහයෙන් වගේම දැඩි කැපවීමෙන් තමයි අද මල්ලි ඉන්න ඔය තත්ත්වෙට ආවේ. ඒ ගැන ඉතිං කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. එයාගෙ සරල බව නම් හැමදාම තියෙනවා. ඒක රටේ මුල් පුරවැසියා වුණා කියල වෙනස් වෙන්නේ නෑ.”
අනුර කුමාර දිසානායක නම් චරිතය ගැන දන්නා තඹුත්තේගම හා අවට ගම්වල ගැමියෝ ඔහු ගැන දක්වන්නේ පුදුමාකාර ඇල්මකි. ඔවුහු ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරති.
නල්ලච්චිය ගම්මැද්දේ අබේරත්න හේරත් මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
“මේ ගම්වල මිනිස්සුන්ගේ දුක දන්නා මනුස්සයෙක් රටේ ජනාධිපති වුණා කියන එක රටේම ජයග්‍රහණයක්. ඇත්තම කිව්වොත් ගම්වල මිනිස්සුන්ට හැමදාම රැවටිලා ඇතිවෙලා තිබුණේ. වෙලක, නියරක ඇත්තටම ගියපු, වැවෙන්, ඇළෙන් නාපු, මිනිස්සුන්ට බය නැතිව කිට්ටුවෙන්න පුළුවන් අපේ මනුස්සයෙක් රටේ පළමු පුරවැසියා වෙනවා කියන එකම සොභාදහමේ ආශීර්වාදෙන් සිද්ධ වුණ දෙයක්. බොරුවට හිනාවෙන, බොරුවට අතට අත දෙන මිනිස්සු වෙනුවට අවංකව, ඇත්ත හැඟීමෙන් ඒ දේවල් කරන මනුස්සයෙක් රටේ නායකයා කරන්න දායක වීම අපේ ගමේ විදිහට සලකලා අපි ඒ යුතුකම ඉටු කළා.”
නල්ලච්චියේ ගැමියෙක් වන නිලන්ත කුමාර පැවසුවේ මෙවැනි අදහසකි.
“එක එක පක්ෂවලට පාරම්පරිකව ඡන්දේ දුන්නු පවුල්වල තරුණ පිරිස මේ පාර තනිවම තීරණයක් අරගෙන මාලිමාවට ඡන්දේ දුන්නා. ඒකට ප්‍රධානම හේතුවක් වුණේ අනුර මහත්තයා ගැන අපේ ගම්වල ජනතාවගේ තිබුණු විශ්වාසනීය හැඟීමයි. මේ රටේ මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන් වගේම වැඩක් කරන කෙනෙක් කියන හැඟීම හැමෝගෙම හොඳ විශ්වාසයක් තිබුණා. ඒ වගේම රටේ ජනතාවගේ දුක දන්න, රට ගැන හිතන ජනතාව ගැන හිතන කෙනෙක් කියලත් ගමේ අය දන්නවා. අනිත් පැත්තෙන් කියන දේ කරයි කියන විශ්වායක් ජනතාව තුළ තිබ්බා. ඡන්දේ කාලෙට විතරක් හිනාවෙන මුහුණු දැකලා මිනිස්සුන්ට ඇතිවෙලයි තිබුණේ.
ඇත්තෙන්ම අපි සතුටින් කියන්න ඕන පහුගිය මැතිවරණ අවසාන වෙලා ආධාරකරුවන් ඇතිකර ගත් කලකෝලාහල ඉවරයක් නැහැ. හොඳට හිටපු අය අමනාප වුණා. ඒ වුණත් මේ පාර ඡන්දෙන් පස්සේ අඩුම තරමින් වචන හුවමාරුවක්වත් සිද්ධ වුණේ නෑ. වෙනදට ඡන්දයක් ඉවර වෙනකොට මිනිස්සු පුදුම බයකින් ඉන්නේ. සමහරු ගෙවල්වල ඉන්නෙත් නැහැ, ඡන්දෙ දාපු ගමන් නෑදෑ ගෙවල්වලට ගියා. ඒ වුණත් මේ පාර හැමදේම වෙනස් වුණා.” නිලන්ත පැවැසුවේය.
නල්ලච්විය ගම්මැද්දේ “රෝහණ කුමාර” පැවසුවේ නුවර කලාවියෙන් රජ ගෙදරට ගිය අනුර කුමාර දිසානායක නැමැති චරිතය ජනතාවට සමීපව ඇති අයුරුය.
“සහෝදරයා කියලා කට පුරා කතා කරන්න පුළුවන් මනුස්සයෙක්; රටේ ජනාධිපති වෙලා තියෙනවා. මේ ගම්වල දුක් විඳින මිනිස්සු ගැන අවංකව බලන කෙනෙක් කවදාවත් හිටියේ නෑ. අඩුම ගානේ වගා හානි, අලින්ගෙන් වෙන හානිවත් බලන්න කෙනෙක් හිටියෙ නෑ. ඒක බොරුවක් නෙමෙයි. දේශපාලනඥයෙක් ආවනම් ඉතින් මිනිස්සු පාරට බැහැල කෑගහපු වෙලාවක විතරයි.
මේ ගම්වල ඉඳලා ගිහින් ඇමැතිකම් ගත්ත අයත්, අවසානෙදී ඡන්ද දුන් මිනිස්සුන්ව අමතක කරලා ඒ ගොල්ලෝ හම්බ කර ගත්තා. දැන් හැමදේම වෙනස් වෙයි. මට හිතෙන්නේ අපි කාටවත් විවේක ගන්න කාලයක් නෑ. දැන් තියෙන්නේ වැඩට බහින්නයි.”
අනුර කුමාර දිසානායක නම් ජනතාව ගැන හිතන පුද්ගලයා ගැන ගුරුභවතුන්ගේ නෑදෑ පිරිස සහ අසල්වාසීන්ගේ හඬ එසේ අවදි වෙද්දී ජනතාව ගැන අවධානය යොමු කරන, ජනතාවගේ අවශ්‍යතා සොයා බලන පියවර එකින් එක පෙළ ගැසෙමින් පවතින බවද පෙනෙන්නට ඇත. ඒ ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබාදීම, ගොවියන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සම්පාදනය ඇතුළු කාර්යයන් කඩිනමින් සිදුවෙමින් පවතින නිසාය. ‘අපේ පන්තියේ කෙනෙක් ජනපති වුණා. මම හිතන්නේ ඒක මේ මුළු රටේම මිනිසුන්ට හොඳ කාලයක උදාවක් ලබලා කියලයි‘. තවත් ගැමියෙක් අනුර කුමාර ජනපති ගැන කීවේය. හෙට අදට වඩා සුබවෙතැයි යන බලාපොරොත්තුවෙන් පීඩිත පන්තියේ ජනතාව මෙන්ම සියලු දෙනා බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටිනු ඇත.
විස්තර හා ඡයාරූප තඹුත්තේගම- විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප් තඹුත්තේගම - සී.එම්. ආරියපාල තලාව සමූහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති